Latest News

කාන්තාවන්ගේ අයිතීන් සුරකින්න ශ්‍රී ලංකාවට ලැබුන අවස්ථාව

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට තේරී පත්ව තිබෙනවා.

ඒ අනුව නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ සාමාජිකයින් විසින් 2024 සිට 2028 දක්වා සිව් අවුරුදු ධුර කාලයක් සඳහා ශ්‍රී ලංකාව එම කොමිසමට තෝරාපත් කරගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.

කාන්තාවන්ගේ අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ දිගුකාලීන සම්ප්‍රදාය, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ වෙනස්කම් කිරීම් තුරන් කිරීම සඳහා වන කැපවීම පිළිබඳ අවධානය යොමුකරමින් ශ්‍රි ලංකාව ඒ සදහා තෝරා පත් කරගෙන තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කලේ, බංග්ලාදේශය, බෙල්ජියම, බොලීවියාව, කොලොම්බියාව, රුමේනියාව සහ නෙදර්ලන්තය මෙවර එම කොමිසම සදහා තේරී පත් වූ සෙසු රටවල් වන බවයි.

1946 දී පිහිටුවන ලද මෙම කාන්තා කොමිසම සාමාජික රටවල් 45 කින් සමන්විත වන අතර එය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පමණක් කැප වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අන්තර් රාජ්‍ය ආයතනය ද වනවා.