හිජාබය පැළඳ නොසිටින කාන්තාවන් සොයා කැමරා සවි කරයි
හිජාබය පැළඳ නොසිටින කාන්තාවන් හඳුනා ගැනීම සඳහා ප්‍රසිද්ධ ස්ථානවල කැමරා සවි කිරීමට ඉරාන පොලිසිය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ ස්ථාන වලදී හිස ආවරණය නොකර සිටින කාන්තාවන් හට අනතුරු ඇඟවීමේ කෙටි පණිවිඩ යවන බව ද පොලිසිය සඳහන් කරනවා.
එරට පොලිසිය සඳහන් කරන්නේ, මෙම ක්‍රියා මාර්ග හිජාබ් නීතියට එරෙහි විරෝධතා වැළක්වීමට උපකාර වන බවයි.
හිජාබ් නීතිය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් කුර්දි ජාතික තරුණ කාන්තාවක් වන Mahsa Amini පොලිස් අත්අඩංගුවේ දී මිය යාමත් සමග පසුගිය වසරේ ඉරානයේ විරෝධතා ඇති වුණා.
මාෂා අමිනීගේ මරණයෙන් පසු, අත්අඩංගුවට ගැනීමේ අවදානම නොතකා ඉරානයේ ප්‍රධාන නගරවල කාන්තාවන් විසින් හිජාබය ඉවතලන සංඛ්‍යාව වැඩිව තිබුණා.
ඉරාන පිරිමියෙකු විසින් හිස ආවරණය නොවූ කාන්තාවන් දෙදෙනෙකුට යෝගට් විසි කරන වීඩියෝවක් අන්තර්ජාලය හරහා පුළුල් ලෙස ප්‍රචාරය වීම මෙම විරෝධතාවයන්ගේ ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වුණා.
අදාළ සිදුවීමෙන් පසුව කාන්තාවන් දෙදෙනා හිජාබ් නීතිය යටතේ අත්අඩංගුවට ගනු ලැබූ අතර එම පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
1979 ඉස්ලාමීය විප්ලවයේ සිට ආගමික නීතිය පිළිබඳ දැඩි අර්ථකථනයක් ස්ථාපිත කිරීමෙන් පසු කාන්තාවන්ට තම හිසකෙස් හිජාබයකින් ආවරණය කිරීම අනිවාර්ය කරමින් නීති සම්පාදනය වී තිබෙනවා.
ඒ අනුව අදාළ නීතිය උල්ලංඝනය කරන කාන්තාවන් හට දඩ ගෙවීමට හෝ අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණා.