පණ දෙන්න කලින් ටිකක් ඇණ වෙලා බලන්න
මට ඇති ලොකුම ප්‍රශ්නය ඔහු හිතාගන්නට බැරිතරම් හොඳ වීමය. මට එය අදහාගත නොහැක. මේ මාගේ පළමු ආදරය වූ අතර මා අතින් ඔහුට වැරදි අඩුපාඩු සිදු වූ බව මම දැන සිටියෙමි.
ඔහුට මුලින් කැමති වී ආයෙමත් අකමැති යැයි කියන්නට සිතුනේ ඇයි දැයි මම නොදනිමි. එය වරදක් බව මම දනිමි. නමුත් මට ඔහුට කැමති වී දවස් දෙකක් ගිය තැන ඔහු සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නට බැහැ කියා සිතුනි. ඒ ඔහුගේ වරදක් නිසා නොවේ. මට දැනුණු අවිනිශ්චිතතාවක් නිසාය. ආදරයක් සොයාගන්නට ඉක්මන් වූවාද, මව්පියන්ට නොදන්වා ඔහුට කැමැත්ත දීම වැරදිද වාගේ විවිධාකාර සිතුවිලි මගේ මනස අවුල් කර දැම්මේය. ඉතින් මම ඔහුට ආයෙමත් බැහැ කියා කීවේ ඔහු කෝපවන බව දැන දැනමය.
“එහෙනම් හා කිව්වේ මොකටද ගෑනියේ? තමුසේ මට බලාපොරොත්තු දීලා දැන් බැහැ කියනවාද?” වාගේ දරුණු පිළිතුරක් සහ බැණවැදීමක් මා බලාපොරොත්තු වෙමින් සිටියෙමි.
එහෙත් ඔහු කළේ නිහඬව මා දෙස බලා මඳ සිනහවක් පෑමය.
මා වික්ෂිප්ත වූයෙමි.
“මම දන්නවා ඔයා මේ හැමදේටම අලුත් කියලා. ඔයාට ඔහොම ඔයා ගත්තු තීරණය ගැන සැක සංකා ඇතිවෙන එක සාධාරණයි.” ඔහු නිවී සැනසිල්ලේ කියද්දී මා කටත් ඇරගෙන ඔහු දෙස බලා සිටියෙමි.
ඔහු ඊළඟට ඔහුගේ දකුණතින් මාගේ හිස යන්තමට අතගෑවේ මගේ හදවත ගැහෙන වේගය වැඩි කරලමිනි.
“කලබල වෙන්න එපා. නිවීහැනහිල්ලේ කල්පනා කරන්නකෝ. කරන්න ඕනේ දේ ඔයාටම තේරෙයි.” ඔහු කිවේ මා ගල් වී සිටිද්දීය.
මාගේ නෙතට කඳුළු උනාගෙන ආවේ ඒ පරිණත හැසිරීම ළඟය.
“ඒත්… ඒත්… මට හිතෙන්නේ මම ඔයාට ගැළපෙන්නේ නැද්ද කොහෙද. මේ… මේ ඔයා ඔහොම සන්සුන්ව ඉන්නේ කොහොමද මට තේරෙන්නේ නැහැ. සමාවෙන්න.” මා කීවේ ගොත ගැසෙමිනි.
එවර ආයෙමත් ඔහු සිනහවකින් මුව සරසා ගත්තේය.
“මට කලබල වෙන්න තරම් දෙයක් මෙතන නැහැ. ඔයා පොඩ්ඩක් කලබල වෙලා. ඔය කලබල ගතිය අඩුවෙලා මා ගැන විශ්වාසය ඇති වුණාම හැමදේම හරියයි. අනිත් එක ඔයා මට කියපු විස්තර අනුව ඔයාට මගේ ආදරේ ලැබෙන එක ප්‍රයෝජනවත් වෙයි. මොකද ඔයාගේ හිතේ ඉන්නවා කිව්වේ ඔයා ගැන හොයලා බලන, කේන්ති නොගන්නා කෙනෙක්. ඉතින් මම දන්නවා මම ඒ වගේ කෙනෙක් කියලා.” ඔහු ආයෙමත් නිවී සැනසිල්ලේ කියා දැමූ අතර මගේ හදවත ආයෙමත් ගැහෙන වේගය වැඩි කළේය.
ඔහු ඉතා හොඳ අයෙකු බව මට ආයේ ආයෙමත් වැටහිණි. ඉතින් පසුවදා වනවිට මම ඔහු සමඟ ජීවිත කාලයම සිටින්නට තීරණය කළෙමි. ඒ මා පිස්සුවෙන් වාගේ ඔහු හැරයන්නට දඟලද්දී ඔහු අර තරම් සන්සුන්ව ඉවසීම නිසාය. ඒ තරම් කාරුණිකව වදන් හැසිර වූ නිසාය.
දැන් අපගේ ප්‍රේමයට මාස තුනකි. දැන් මට ඇති ලොකුම ප්‍රශ්නය ඔහු මේ තරම් හොඳ ඇයි කියාය. හරියටම වෙලාවට සුබ උදෑසනක් පතන්නට, සුබ රාත්‍රියක් පතන්නට ඔහුට මතක් වේ.
“මගේ හොඳ කෙල්ල.”
“පරිස්සමින් ගෙදර යන්න.”
“ඔෆිස් එකේ වැඩ පරිස්සමින් කරන්න.” වාගේ කෙටි පණිවිඩ එවන්නේය.
ඔහුගේ මේ හොඳ ඇත්තටමද? මට සිතාගත නොහැක.
ඉතින් මම එය සොයාගන්නට ක්‍රමයක් කල්පනා කළෙමි. දින කීපයකට පසුව මට අපූරු කල්පනාවක් සිහියට ආවේය.
මම එකදිගට කවි ලීවෙමි.
ඉන් අනතුරුව ඒවා ඔහුට යැවුවෙමි. යවන සෑම කෙටි පණිවිඩයක් සමඟම හදවත් සලකුණු යවන්නට පටන්ගත්තෙමි.
හදවත් සමඟ කැරකෙන, මල් විසිවෙන gif සොය සොයා ඔහුට යැව්වෙමි.
දවස් කීපයක් යද්දී ටික ටික ඔහු වෙනස් විය. ඔහුගෙන් එන කෙටි පණිවිඩ අඩු විය. උදයට සුබ පතන වෙලාව ප්‍රමාදය. රාත්‍රියට සුබ පතන්නට ඔහුට බැරි වන්නේ ඉබේම ඇඳ මත නින්ද යන නිසා බවට ඔහු නිදහසට කරුණු කියන්නට පටන්ගත්තේය.
ඔහොම නිදහසට කරුණු කී දවසක මම හොඳටම සිනාසුණෙමි. සිනාසී අවසන මෙසේ කීවෙමි.
“මම අර කවි ලියලා එව්වේ, හාර්ට් ඉමෝජි, gif එව්වේ මම ඔයාට පිස්සු වැටිලා කියලා පෙන්නන්න ඕනේ වුණ නිසා. මට ඕනේ වුණා එතකොට ඔයා මට පෙන්නන ඔය ආදරේ කරුණාව වෙනස් වෙනවද බලන්න. මම ඇත්තටම ඔයා පෙන්නපු ගතිගුණවලට වහ වැටෙන්න කලින් මම ඒ විදියට බොරුවට පෙන්නලා බැලුවා. ඔයා වෙනස් වේවිද කියලා බලන්න.” මම කියද්දී ඔහුගේ දෙනෙත් උඩ යැවිණි.
“මොනවා…”
“හ්ම්… ඔයාගෙ ආදරේට ඇත්තටම පිස්සු වැටෙන්න කලින් මේ දේ දැනගත්තු එක කොච්චර හොඳද? මම ගොඩක් ආදරේ කළාට පස්සේ ඔයා ඔහොම ගණන් උස්සන්න ගියා නම් මට කොච්චර දුක හිතෙයිද?” මා ඇසුවේ හිස් අවකාශයෙනි. ඒ සුසුමක්ද සමඟය.
ඔහු බොහෝ වෙලාවක් නිහඬව කල්පනා කළේය.
“එතකොට ඔයා මට ආදරේ නැද්ද? ඒ කියන්නේ දැන් මම ඉස්සර තරම් ඔයාට අවධානය නොදුන්නු නිසා ඔයා මේ සම්බන්ධය නවත්තන්න හිතනවාද?” ඔහු අවසන ඇසුවේය.
“නැහැ. ඔයාව අත් ඇරලා ඔයාට වඩා හොඳ කෙනෙක් හොයාගෙන යන්න හදනවා නෙවේ. කාගේත් අඩුපාඩු තියෙනවා. කාගේත් හොඳ ගුණ තියෙනවා. අවධානය දෙන එක, හොයලා බලන එක අඩු කළාට ඔයා කවදාවත් මගේ හිත රිදෙන වචනයක්වත් කියලා නැහැ මේ වනතුරු. ඒ නිසා සම්බන්ධය නවත්තන්න අදහසක් නම් මට නැහැ. මම තේරුම්ගත්තේ මොනවා වුණත්, කාට වුණත් අසීමිතව බැඳෙන්න හොඳ නැති බව.” මම කියද්දී ඔහු මහා බර සුසුමක් හෙළුවේය.
සමාධි ඩයස්