ස්වයං රැකියා

අපි බම්බු ගහමු!

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්නධරණීහැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා

බම්බු ගහපිය.

වාක්‍ය කියෝපු හැටියේ ටිකක් කලබල වුණා නේද? කලබල වෙන්න කාරි නැහැ. අසූ තුන් හාරදාහට විතර කේන්ති ගියාපු වෙලාවට කාගේ කාගෙත් කටින් පනින වචනයක් නොවෑ ඕක.

හැම එකටම බම්බු කතා කියන්න කටවල් ඉස්සර කරගත්තට මොකදෑ ගොඩක් උදවිය ඔය කියමන පිටිපස්සේ තියෙන කතාව දන්නේ නැහැ.

දැන් වගේ නෙමේ ඉස්සර අපේ මිනිස්සුන්ට ගවයින් එක්කලා ලොකු සම්බන්ධතාවයක් තිබුණා. කරත්තේ බඳින්න, කිරි, ගොම ගන්න, කුඹුරු පාගන්ට ඔය හෑම වැඩේටම හිටියේ ගව සම්පත. ඔහොම ඉන්දැද්දි ඉතින් ගවයින්ට බඩේ අජීර්ණ කාරිය එහෙමත් හැදෙනවලු. එතකොට ගැමියෝ උණ ගහකින් පුරුකක් කපලා ඒක ගවයගේ උගුරට බස්සලා අජීර්ණ ගුලි පොවනවලු. ඒ කාලේ උදවිය බම්බු ගහනවා කිව්වේ ඕකට. බම්බු ගහන්නේ වඩි තුනලු. සතා සුවලු. ඉතින් ඒ කාලේ කවුරුහරි මෝඩ වැඩක් කරාපුවහම ඒ පුද්ගලයාව ගවයට සමාන කරන්න “මූට බම්බු ගහපිය” කියලා කියනවලු.

ඔය වගක් නොදැන වුණත් දැන් කාලෙත් ඔය බම්බු ගහන කතාව හරියට පාවිච්චි කරනවා. “ලෝකෙට බම්බු ගහගන්න කියලා ජීවිතේ විඳින්න” කියලා ෆේස්බුක් එකේ එහෙමත් ශෙයා වෙනවා. ඒත් ඉතින් ලෝකෙට බම්බු ගහගන්න කියලා ජීවිතේ විඳින්නේ කොහොමද මේ තියෙන ආර්ථිකේ එක්ක කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.

ඒකටත් විසඳුමක් තියෙනවා. ආර්ථිකේටත් බම්බු ගහගන්න කියලා ජීවිතේ විඳින්න තරමට පෝසත් වෙන්නනම් බම්බු හිටවන්න. ඒ කොහොමද කියලයි දැන් අපි කියලා දෙන්නේ.

ගෘහස්ථ ශාකයක් විදියට ලෝකේ වැඩිපුරම අලෙවි වෙන ශාකයක් තමයි ලකී බැම්බෝ නැත්තම් සැන්ඩ්‍රියානා කියන්නේ. අපේ රටෙත් මේ වාසනාවන්ත උණ ගස්වලට තියෙන ඉල්ලුමේ අඩුවක් නැහැ.

මීට අවුරුදු 6000කට කලින් පුරාතණ චීන ජාතිකයෝ සූර්ය කිරණ සහ සුළං සමබර කරගෙන වාසනාව උදාකරගන්න පුළුවන් ෆෙන්ශුයි කියලා ක්‍රමවේදයක් හොයාගත්තා. ඉතින් චීන ජාතිකයෝ කියන විදියට ලකී බැම්බෝ කියන්නේ ෆෙන්ශුයිවල සංකේතයක්.

ගෙදරක නැත්තම් ව්‍යාපාරික තැනක ලකී බැම්බෝ පැළයක් තියාපුවහම එතැනට ධනය, වාසනාව ආකර්ෂණ වෙලා කිරියි පැණියි උතුරනවලු.

ලකී බැම්බෝ ගහ වාස්තු විද්‍යාවට අයත් එකක් කියලයි ඉන්දියානුවෝ නම් කියන්නේ. රාමායණයට අනුව සීතා දේවිට ඇඟිලි හයක් තිබුණලු. පස්සේ මෙයින් එක ඇඟිල්ලක් කැපිලා. සීතා දේවී ඒ ඇඟිල්ල අරන් පොළවේ වැළලුවහම එතැනින් ලකී බැම්බෝ පැළයක් මතුවුණාලු. ක්‍රිෂ්ණා දෙවියන්ගේ බටනලාව හදලා තියෙන්නෙත් මේ උණ වර්ගයෙන් කියලයි ඉන්දියානුවෝ කියන්නේ. ඔය කතා කොහොම වෙතත් මේ ශාකයේ ලොකු ශක්තියක් තියෙනවා කියලා දැන් යුරෝපීයයන් පවා විශ්වාස කරනවා.

ගියපු වෙලාවක නිකමට බලන්න අපේ රටේ ලොකු ලොකු ශොපින් මෝල්වල පවා මේ ලකී බැම්බෝ බර ගණන්වලට විකුණනවා. මොකද ගෙවතු අලංකරණයට විතරක් නෙමෙයි ව්‍යාපාරික ස්ථාන අලංකාර කරන්නත් බහුතරයක් දෙනා ලකී බැම්බෝ මිලදී ගන්නවානේ. නෑ හිතවතුන්ට තෑගි දෙන්නත් පංකාදු නිසා මේව්වට හොඳ ඉල්ලුමක් හදාගන්න අමාරු නැහැ.

හරි, කතා නවත්තලා වැඩේ පටන්ගමු. ලකී බැම්බෝ කියන්නේ හරි හයිය ගහක්. කොච්චර නැමුවත් ගහ කැඩෙන්නේ නැහැ. ශාකය නම්‍යශීලී නිසා අපිට අවශ්‍ය විදියට ලස්සන නිර්මාණ කරගන්න පුළුවන්.ලකී බැම්බෝ ශාකයේ එක එක කුල තියෙනවා. ගෙවල්වල නිර්මාණ විදියට තියන්න ගොඩක්ම යොදාගන්නේ ඩ්‍රෙසීනා සැන්ඩ්‍රියානා කුලේ ශාක. පැළ තවාන්වලින් වගා කළ ශාක දඬු මිලදී ගන්න. ඒවා පෝච්චිවල වගා කරලා අතු ලබාගන්න පුළුවන්. මේ ශාකයට වැඩිපුර ජලය, පොහොර යොදන්න අවශ්‍ය නැහැ. එව්වා නොදැම්මත් ගස සාරවත්ව හැදෙනවා. හැබැයි වැඩිය අව්වේ තියන්න නම් එපා.

එහෙම හිටවගන්න බම්බු ශාකවලින් දිග, මහත අඩු නම්‍යශීලී ඍජු අතු ටිකක් තෝරගන්න. වැඩේට තෝරගත්ත අතුවල පත්‍ර කඳ වටේ සර්පිලාකාරව තියෙන්න ඕනේ. ලප, පිළිස්සුම් පැල්ලම් නැති ශාක අතු තෝරගන්න එකත් වැදගත්. උණ අතුවලට අමතරව මේ දේවල් ටිකත් සපයාගන්න.

ලකී බැම්බෝ හිටවන්න ඒකට ගැළපෙන සෙරමික් නැත්නම් මැටි පෝච්චියක්, වගා මාධ්‍ය විදියට සාරවත් පස් ටිකක්. හවායන් ටේප්, ගෝනි නූල්, කම්බි රාමු, මැක්‍රම් වළලු හෝ මැක්‍රම් සැකිලි, කතුරක්, දිලීර නාශකයක් අවශ්‍ය වෙනවා.

 

ගෙතූ නිර්මාණ සැකසීමට

 

පියවර 1

නිර්මාණයට ගන්න අතුවල අග්‍රස්ථයේ තියෙන පත්‍ර විතරක් ඉතිරි කරලා අනෙක්වා සම්පූර්ණයෙන්ම අයින් කරන්න.

 

පියවර 2

අතු කොටස් සැකිල්ලට කම්බි රාමුවලට නැත්නම් මැක්‍රම් වළලුවලට තියලා අවශ්‍ය හැඩය එන විදියට ටේප්වලින් ගැටගහන්න. අන්තිමට හදාගත්තු බම්බු නිර්මාණය විනාඩි 5ක් විතර දිලීර නාශකයක බස්සවලා තියලා භාවිතා කරන බඳුනේ වගා මාධ්‍ය පුරවලා ශාකය හිටවලා සෙවනකින් තියන්න.

 

සර්පිලාකාර නිර්මාණවලට

ලකී බැම්බු අත්තක් පෝච්චියක හිටවන්න. කාඩ්බෝඩ් පෙට්ටියක පැත්තක සිදුරක් හදලා සතියකට වතාවක් මේ පෙට්ටිය ටිකක් කරකවන්න. එතකොට පෙට්ටියේ සිදුරෙන් ලැබෙන ආලෝකයට කඳ හැරෙන නිසා සර්පිලාකාර අතු ලබාගන්න පුළුවන්.

 

සාමාන්‍ය මෙහෙම හදාගන්න ලකී බැම්බු ගස් රුපියල් 600 ඉඳලා මිල කරන්න පුළුවන්. අවශ්‍ය නම් 0714766819 අංකයෙන් වැඩිපුර විස්තර අහගන්නත් පුළුවන්.

සීතා පොන්නම්පෙරුම

ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි