ඒ වෙලාවේ හැමෝගෙම හදගැස්ම එකයි ඒත් නම කිව්ව ගමන් මගේ හදවත වැඩිපුර ගැහෙන්න ගත්තා
එක්දාස් නවසිය හැට ගණන්වල ‘දවස’ පත්තරේ වැඩ කරපු ඩී.බී.ධනපාල මහත්තයා ‘දවස අවුරුදු සුන්දරී’ කියලා අලුත් තරඟයක් සංවිධානය කළාලු. අපේ රටේ පළමු අවුරුදු කුමරිය තේරීමේ තරඟය විදියට හැඳින්වෙන්නේ ඒ තරඟය. කාලෙත් එක්ක මේ තරඟය ගමින් ගමට ගිහින් අවුරුදු කුමාරි තේරීම සිංහල අවුරුද්දට නැතිවම බැරි අංගයක් වුණා. එදාට ඉතින් අවුරුදු කුමරිය විදියට අභිසෙස් ලබන්නේ ගමේ රටේ ඉන්න හැඩකාරම කෙල්ල.
‘මිණිමුතු මල් මාල දමා
බක් මාසේ
නිල්ල මැදින්
එබී බලනවා
අවුරුදු කුමරි
වසන්ත සමයේ
රූප ශ්‍රියාවී’
අවුරුදු සමයම සුන්දර කරන රූප ශ්‍රියාවිය අවුරුදු කුමරිය කියලයි ජැක්සන් ඇන්තනී මහත්මයයි කුමාරි මුණසිංහ මහත්මියයි ගායනා කරන ඔය බක්මහේ ගීයෙන් කියැවෙන්නේ.
වසන්ත සමය හැඩකරන එහෙම රූපශ්රියාවියක් එක්කයි අපිත් දැන් කතා කරන්නේ හදන්නේ. ඇය 2023 වර්ෂයේ දෙරණ අවුරුදු කුමරිය. තරඟකාරියන් දහස් ගණනක් අතරින් බක්මහේ කිරුළ පැළඳූ මේ සොඳුරු හැඩකාරියගේ නම තමයි උරේෂා සෙව්වන්දි.
ඇත්තටම උරේෂා බොහොම හැඩකාර තරුණියක්. අවුරුදු කුමරියක් තෝරද්දි සලකලා බලන ඡවි, කේෂ, වයං, දන්ත, මාංස කියන පංච කල්‍යාණය අඩුවක් නැතිව ඇයට තියෙනවා. කොටින්ම කිව්වොත් උරේෂට තියෙන්නේ දෙපාරක් නෙමෙයි කීපපාරක් හැරිලා බලන්න හිතෙන සුන්දර රූපයක්.
“මම හෝමාගම. වයස විසිපහයි. අවුරුදු කුමරිය තරඟයකට අයැදුම් කරන්න ඕනේ කියලා හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. පෞද්ගලික වැඩත් එක්ක ඒ වෙනුවෙන් කැපවෙන්න ලොකු වෙලාවක් තිබුණේ නැහැ. හැබැයි මේ පාර නම් මම කොහොම හරි කාලය හොයාගෙන තරඟයට අයැදුම් කළා.”
අපේ රටේ ගොඩක් මාධ්‍ය ආයතනවලින් අවුරුදු කුමරිය තරඟ පවත්වනවනේ. ඉතින් ‘දෙරණ’ නාලිකාවම ඇගේ ගමන වෙනුවෙන් තෝරගන්න හේතුවක් තිබුණද කියලා අපි ඇයගෙන් ඇහුවා.
“ඇත්තටම ඔව්. දෙරණ නාලිකාව හරහා බිහිවෙන තරු නැත්තම් අවුරුදු කුමර කුමරියෝ ඒ ජයග්රහණයෙන් විතරක් නවතින්නේ නැහැ. දෙරණෙන් ලැබෙන සහාය එක්ක ඒ ගොඩක් අය ක්ෂේත්රය තුළ ස්ථාවර වෙනවා. දෙරණ නාලිකාවේ අවුරුදු කුමරිය තරඟයට අයැදුම් කළේ ඒකයි. අනික ඇතුළේ කට්ටිය ගොඩක් සුහදශීලී කියලත් මට දැනගන්න ලැබුණා. ඒ කතාව ඇත්ත කියලා තරඟයට ගියාපුවහම මටම තේරුණා.”
අවුරුදු කුමරිය තරඟයේ අවසාන වටයට තේරුණු කුමරියන් දොළොස්දෙනාම අතීශය සුන්දරයි. ඉතින් ඒ අය අතරින් පළමුවැනියා වෙන්න පුළුවන් වෙයි කියලා නම් උරේෂාට හිතුණේ නැතිලු.
“අවසාන ගෑනු ළමයි දොළොස්දෙනාම ලස්සනයි. ඉතින් එතැන ලොකු තරඟයක් තිබුණා. ඕනම කෙනෙක් තරඟයකට ඉදිරිපත් වෙන්නේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන්. අවුරුදු කුමරිය තරඟයේ ජයග්‍රහණයක් ලැබෙයි කියන විශ්වාසය තිබුණත් පළමුවැනි තැන ලැබෙයි කියලා නම් හිතුවේ නැහැ.”
*ඉතින් නොහිතුව විදියට උරේෂා අවුරුදු කුමරිය විදියට අභිසෙස් ලැබුවා කියද්දි කොහොමද දැනුණේ?
“එවෙලේ ස්ටේජ් එකේ හිටපු හැමෝටම තිබුණේ එකම හදගැස්මක්. හැමෝගෙම හිත් හයියෙන් ගැහුණා. මගෙත් එහෙමයි. ජයග්‍රාහිකාව විදියට මගේ නම කිව්වහම ඒ ගැස්ම තවත් වැඩිවුණා සතුටට. ඒ දැනුණු සතුට කියාගන්න වචන නැහැ.”
අවුරුදු කුමරිය වෙන්න පංචකල්‍යාණය විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ සලකා බලන අනෙකුත් සාධක හදාගන්න ඈ කළ කැපකිරීම් ගැන උරේෂා කිව්වේ මෙහෙම.
“ඇවිදින, කතාබහ කරන විදිය ඔය හැම එකක්ම මුල ඉඳලම පුහුණු වෙන්න වුණා. අපි හැසිරෙන විදියට අපේ පෞරුෂය පවා තරඟයේදි සලකා බැලුවා. ඉතින් මම විතරක් නෙමෙයි අවසාන ගෑනු ළමයි දොළොස්දෙනාම ඒ දේවල් හදාගන්න සෑහෙන මහන්සි වුණා.”
ඈ නිතරම කතා කළේ පරාර්ථකාමී විදියට. ඒ ගුණාංගත් සමහරවිට ඇගේ ජයග්‍රහණයට හේතු වෙන්නැති. ඔය අතරේ අපි ඇගෙන් පෞද්ගලික විස්තර ගැන ඇහුවා.
“මම නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධිය හදාරනවා. ඒ අතරේ නිරූපණය ඉගෙනගෙන නිරූපණ කටයුතුත් කරනවා.”
ඉදිරියේදී රංගන ශිල්පිනියක් විදියට ඔබ හමුවට එන්න බලාපොරොත්තු වෙන බවත් ඇය කිව්වා.
“අම්මයි, තාත්තයි, අයියයි තමයි මගේ ගෙදර ඉන්නේ. ඒ අයත් මට ලොකු හයියක් වුණා. ඒ වගේම මතක් කරන්න ඕනේ 2012 දෙරණ අවුරුදු කුමරිය වෙච්චි රශ්මි ප්‍රභා අක්කව සහ ඇගේ සැමියා තරිත් අයියව. ඇප්ලිකේශන් එක දාන තැන ඉඳලා ජයග්‍රහණය ලබනකල්ම ඒ දෙන්නා මට ලොකු සහායක් දුන්නා. ඒ වගේම අපේ අවුරුදු කුමර කුමරි ටීම් එකේ අවසාන 24 දෙනාවත් මතක් කරන්න ඕනේ. අපි හැමෝම හැමෝටම උදව් කරගත්තා. මොකක් හරි වරදක් දැක්කත් ඒක කියලා හදාගන්න උදව් කරනවා. සාමාන්‍යයෙන් තරඟයක එහෙම වෙනවා අඩුයිනේ. ඇත්තටම පුහුණුවීම් කරන කාලේ තරඟයක් තියෙනවා අපිට මතක තිබුණෙත් නැහැ. තව සුබෝධනී අක්කා ඇතුළු දෙරණ කාර්ය මණ්ඩලයට සහ චන්දන සර්ට ස්තූතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්නවා.”
ජයග්‍රහණය වෙනුවෙන් ඇයට අත හිත දීපු උදවිය වෙනුවෙන් උරේෂා තුති පුදකළේ එහෙම. ඉතින් 2023 දෙරණ අවුරුදු කුමරිය ලෙස අභිසෙස් ලැබූ ඇයට ‘ධරණී’ අපගේත් සුබාශිංසන!
සෙව්වන්දි හෙට්ටිආරච්චි