විශේෂාංග

මං මැච් බලන්න බයවුණාට එයා ආයෙත් ක්‍රිකට් ගහනවා බලන්න ආසයි

1996 ලෝක කුසලාන ක්‍රිකට් ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට රිසිසේ දස්කම් දක්වන්නට අවස්ථාවක් උදාවිණි නම්  ඒ 2014 වසරේය. ඒ ඓතිහාසික ජයග්‍රහණ රැසකටම උරුමකම් කියන්නට එම වර්ෂයේදී අපේ කණ්ඩායමට අවස්ථාව ලැබුණු නිසාවෙනි. මගේ මතකය නිවැරදි නම් ඒ 2014 මාර්තු 08 වැනිදාය. එදා බංග්ලාදේශයේ ඩකා පිටියට දහස් ගණනක ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පැමිණ තිබුණේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති ආසියා කුසලාන තරඟමාලාවේ අවසන් මහා තරඟය නැරඹීමටයි. එහිදී මුලින් පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 50 තුළ ලකුණු 260ක් ලබාගත්තේය. ඩකා පිටියේ අතීත දත්තයන් හා සැසඳූ විට එය ශ්‍රී ලංකාවට ලේසිපහසු ඉලක්කයක් නොවිණි. නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් සාර්ථකව එකී ඉලක්කය හඹායද්දී කාගේත් අවධානය යොමුවූයේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්නගේ සුපිරි පිහිහරඹය වෙතය. ඔහු එහිදී ලකුණු 101ක් ලබාගත් අතර කඩුලු පහකින් තරඟයේ ජයග්‍රහණයද ශ්‍රී ලංකාවට හිමිවිය. එවර තරඟාවලියේ වීරයාද ඔහුය. නමුත් දක්ෂතා අතර සිටියදීම මේ සුපිරි පිතිකරුවා මේ වනවිටත් කණ්ඩායමෙන් ගිලිහී තිබේ. එවන් මොහොතක මේ කතාබහ දැනට ඕස්ට්‍රේලියාවේ සිටින ලහිරු තිරිමාන්නගේ බිරිඳ වන රුක්ෂානි තිරිමාන්න සමඟිනි.

*2007 අවුරුද්ද කියන්නේ රුක්ෂානිට අමතක නොවෙන අවුරුද්දක් වෙන්න ඇති නේද?

කොහොම අමතක කරන්නද? ඒ අවුරුද්දේ තමයි ලහිරු තිරිමාන්නයි මමයි මුණගැහුණේ.

 

*ලහිරු තිරිමාන්නව ඔයාට මුණගැහුනේ කොහොමද?

අපි මුණගැහුනේ උසස් පෙළ ටියුෂන් පන්ති යනකොට. එයා උසස් පෙළ කළේ ගණිත විෂය ධාරාවෙන්. මං කළේ විද්‍යා විෂය ධාරාවෙන්. ඉතින් අපි දෙන්නගේම විෂය ධාරාවන්වල පොදු විෂයක්නේ රසායන විද්‍යාව. රසායන විද්‍යාව පන්තියෙදි තමයි ලහිරුයි මමයි මුණගැහුනේ.

 

*ඒ මුණගැහීම ආදර කතාවකින්ම අවසන් කරන්න හිතුවේ මොකද?

අපි ටික කාලයක් යාළුවෝ වගේ හිටියා. එහෙම ඉන්නකොට තමයි ලහිරු ආදර යෝජනාවක් ගෙනාවේ. ඉතින් අකමැති වෙන්න හේතුවක් තිබුණේ නෑ. පස්සේ යාළුකම ආදරේකට හරවා ගත්තා.

 

*හැබැයි ඒ ආදර කතාවට වැඩි ආයුෂ තිබුණේ නැතිලු නේද?

(සිනාසෙමින්) ඔව් ඔව් අපි ආදරේ කරන්න පටන් අරන් ටික දවසකින් වෙන්වුණා. ඒක අපි දෙන්නම හිතලා ගත්ත තීරණයක්. මොකද ඒ වෙනකොට අපි හිතුවා උසස් පෙළ විභාගය පේනමානේ තියාගෙන ආදරේ කරන්න ගිහිල්ලා විභාගය හරියට කරගන්න බැරිවෙයි කියලා. එහෙම හිතලා අපි දෙන්නම කතා කරලා ආදර සම්බන්ධය නැවැත්තුවා. හැබැයි යාළුවෝ විදියට කතාබහ කළා.

 

*එතකොට එදා එහෙම වෙන්වුණු දෙන්නා අද එක වහලක් යට ඉන්නේ කොහොමද?

උසස් පෙළ ලිව්වට පස්සේ ඉතින් අපි ආයෙත් ආදර සම්බන්ධය පටන්ගත්තා. අවුරුද්ද කිව්වොත් ඒ 2008 අවුරුද්දේ. ඊටපස්සේ අවුරුදු හයක් ඒ විදියට ආදරේ කරලා 2014 අවුරුද්දේ ලහිරුයි මමයි විවාහ වුණා.

 

*දෙන්නගේ විවාහයට කලින් ලහිරු තිරිමාන්න ජාතික කණ්ඩායමට තේරුණා නේද?

ඔව් 2010 අවුරුද්දේ තමයි එයා ජාතික කණ්ඩායමට තේරුණේ. එතකොට අපි ආදරේ කරන්න පටන් අරන් අවුරුදු දෙක තුනයි. හැබැයි එච්චර ඉක්මනට එහෙම අවස්ථාවක් ලැබෙයි කියලා මං නම් හිතුවේ නෑ.

 

*ක්‍රිකට් ක්‍රීඩකයින්ට තරුණියන්ගේ ලොකු ආකර්ෂණයක් තියෙනවනේ. ඉතින් ලහිරු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරද්දි රුක්ෂානිට ඒක දැනුණේ කොයි විදියටද?

ලහිරුයි මමයි අතරේ ඒ වෙනකොට හොඳ අවබෝධයක් තිබුණා. අපි අපිව හොඳටම තේරුම් අරන් හිටියේ. ඉතින් ඒ නිසාද මන්දා මට ඒක ලොකුවට දැනුණේ නෑ. ඇත්තම කිව්වොත් එයත් එක්ක ෆොටෝස් ගහන්න එන ගෑනු ළමයි ඉස්සරහා මං එයාලගේ කැමරාමන් වුණු වෙලාවල් පවා තියෙනවා.

 

*විවාහයෙන් පස්සේ දැන් ලහිරුත් එක්ක ගෙවන ජීවිතේ කොයි වගේද?

දැන් අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ලහිරු මෙහේ ක්‍රිකට් ඇකඩමි එකක් කරනවා. අපිට අවුරුදු හයක පුතෙකුයි අවුරුදු එකහමාරක දුවෙකුයි ඉන්නවා.

 

*ඕස්ට්‍රේලියාවට වෙලා ඉන්නේ ලංකාව එපා වෙලාද?

එහෙම දෙයක් නෙවෙයි. අපි දුව ඉපදෙන්න ඉන්නකොට ටික කාලෙකට ඕස්ට්‍රේලියාවට ආවේ. ඒ වෙනකොට ලහිරු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළා. ඒත් ඊටපස්සේ එයාට කණ්ඩායමට කතා කළේ නෑ. එයාට ආයෙත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම අපි ලංකාවට එනවා.

 

*ආයෙත් ලහිරු තිරිමාන්නට කණ්ඩායමේ ස්ථානයක් ලැබෙයි කියලා රුක්ෂානි හිතනවද?

එහෙම ලැබෙනවා නම් ආසයි. මොකද එයා වගේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉන්න එක හරි වටිනවා. අනික එයා 2014 විස්සයි විස්ස ලෝක ශූර කණ්ඩායමේ ක්‍රීඩකයෙක්. ක්‍රිකට්වල තරඟ රටා තුනටම ගැළපෙන ක්‍රීඩකයෙක්. ඉතින් මං හිතනවා තව අවුරුදු කීපයක් ලහිරු තිරිමාන්න කණ්ඩායමේ ඉන්න ඕනේ කියලා. එහෙම අවස්ථාවක් ලැබුණොත් එයත් ඒකට ලෑස්තියි. එයත් හරිම ආසාවෙන් ඉන්නේ ආයෙත් කණ්ඩායම එක්ක එකතුවෙන්න.

 

*අපිට දැනගන්න ලැබුණා රුක්ෂානි ලහිරු බැට් කරනවා බලන්න හරි බයයි කියලා. ඇත්තද?

(සිනාසෙමින්) කොහෙන්ද ඒක දැනගත්තේ? ඔව් ඒ කතාව ඇත්ත. ඒ නිසා මං එයා ඉන්න මැච් බලන්නේ හරිම අඩුවෙන්. එහෙම බැලුවා නම් ඒ මැච් කීපයක් විතරයි.

 

*ක්‍රිකට් පිටියෙදි නම් ලහිරු කියන්නේ නිවුණු ක්‍රීඩකයෙක්. එයා ගෙදරදිත් එහෙමද?

එහෙම ලොකු වෙනසක් නෑ. බැඳලා අවුරුදු දහයකට කිට්ටුවෙන්න ආවත් දෙන්නා තාමත් අලුත බැඳපු ජෝඩුව වගේ තමයි ඉන්නේ. ලේසියකට එයාට තරහා යන්නේ නෑ. ඒක නිසා එයත් එක්ක ජීවත්වෙන්න ලේසියි.

 

*ක්‍රිකට් ක්‍රීඩකයෝ විවිධ විලාසිතා  කරනවා. ලහිරු එහෙම නොකළේ ඔයාට තියෙන බයේ කියන්නේ ඇත්තද?

(සිනාසෙමින්) බොරු බොරු මං එයාගේ ෆැෂන්වලට නම් අතදාන්නේ නෑ. එයා 2014 කාලේ වගේ කොණ්ඩේ එහෙම කලර් කරලා හිටියා.

 

*සමහරු කියනවා ලහිරු තිරිමාන්නයි විරාට් කෝලියි ටිකක් එක වගේ කියලා. අපි නොදන්න නෑකමක් එහෙම දෙන්නට තියෙනවද?

(සිනාසෙමින්) එහෙම නෑකමක් නම් නෑ. ඒත් දෙන්නගේම පෙනුම ටිකක් එක වගේ කියලා මටත් හිතෙනවා.

 

*ලහිරු තිරිමාන්නගේ ආදරණීය බිරිඳ විදියට එයාගේ ක්‍රිකට් ජීවිතේ ඔයා දකින්න ආසම හීනයක් තියෙනවද?

එක හීනයයි තියෙන්නේ. ඒ එයා ආයෙත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා දකින එක. තවත් මාස කීපයකින් එක්දින ලෝක කුසලානය තියෙනවා. මං හිතනවා ලහිරුට ඒකට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුණොත් එයා එයාගේ උපරිමය කණ්ඩායමට දෙයි කියලා.

 

රුවන් එස්.සෙනවිරත්න