රිලව් තියාගෙන කමකට නැති පිරිමි රට පටවමුද?
ජාතක කතා පොතේ තියෙන 213 වැනි කතාව තමයි ‘ගරහිත ජාතකය’ කියන්නේ. ඔය ගරහිත කියන්නේ ‘ගරහාවට’ ලක්කළා කියන එකටලු. එහෙමත් නැත්නම් අතෑරලා දැම්මා කියන එකටලු.
ඔය කතාවේ ඉන්නවා ඉතාමත් බුද්ධිමත් රිලා නායකයෙක්. දවසක් මේ රිලා නායකයාගේ බුද්ධිය ගැන පැහැදුනු වැද්දෙක් ඌව අරන් ගිහින් රජතුමාට හදාගන්න බාර දුන්නලු. ඊටපස්සේ රජතුමත් මේ රිලවව ඉතාමත් ආදරෙන් රැක බලාගෙන තියෙනවා. දවසක් ඔය රිලවා රාජකීය උද්‍යානයට වෙලා බොහොම සංවරව ඉන්නවා දැකපු රජතුමාට හිතුණලු තමන් කරන වැඩෙන් අර අහිංසක සතාගේ නිදහස සීමා වෙනවා නේද කියලා. ඊටපස්සෙ රජතුමා අර වැද්දටම කිව්වලු ඔය රිලවව අරන් ගිහින් ආපහු හිටපු කැලේටම දාලා එන්න කියලා.
ඔය කියන කැලෑව මැද්දෙ තිබිලා තියෙනවා කැලේ රිලව් ආගිය තොරතුරු කතාබහ කරන්න ගොඩවදින ගල් පර්වතයක්. දවසක් රිලව් ටික සේරම ඔය ගලට එකතු වුණු වෙලාවක අර නායක රිලවාගෙන් අනිත් උන් ඇහුවලු මොනවද මිත්‍රයා ඔය මනුස්ස ලෝකේ තොරතුරු එහෙම කියලා. ඒ විතරක්ම නෙවෙයි ඔය මනුස්ස ලෝකේ පිරිමින්ගෙ වැඩ එහෙම කොහොමද කියලත් ඇහුවලු. එතකොට අර රිලා නායකයා කියලා තියෙනවා අපෝ උන්ගේ වැඩ ගැන නම් කතා කරන්න එපාය කියලා. උන් කරන වැඩ නිසා දවසක අපිටත් පාරක බැහැලා යන්න බැරි වෙනවා කියලා කිව්වලු. එහෙම කිව්වම අනිත් රිලව් බලකළාලු එහෙනම් අද උඹ අපිට ඒ මොනවද කියලා කියන්නම ඕනෙ කියලා. මිතුරන්ගෙන් බේරුමක් නැතිම තැන අර රිලා නායකයා කිව්වලු අපෝ ඔය මනුස්ස ලෝකේ පිරිමි ගෙදර ගෑනිගෙන් නාහා කිසිම දෙයක් කරන්නේ නැහැ බන් කියලා. ඒ විතරක් නෙවෙයි උන්ගේ සමහරක් පවුල්වල ගෑනුන්ට ලොකු තනතුරු තියෙන නිසා මිනිහා කරන්නෙ ගෑනි කියන දේකට ඔළුව නවන එක කියලත් කිව්වලු. තව කිව්වලු තමන්ගේ වගකීම් ටිකත් ගෑනිගෙ පිටට දාලා හීන් නූලෙන් ලිස්සලා මග ඇරලා ඉන්න උනුත් ඉන්නවා කියලා.
ඔය කතා අහලා ලැජ්ජා හිතුණ රිලව් ටික සේරම අපි ඔය පිරිමි ඉන්න පළාතකවත් නොඉඳ, යමු බන් කියලා අර පර්වතයයි කැලෑවයි දෙකම අතෑරලා යන්න ගියාලු. රිලව් සේරම අර පර්වතය අතෑරලා ගියපු නිසා ඒකට ගරහිත පර්වතය කියලා නමකුත් වැටුණලු.
මුලින්ම ඔය ගරහිත ජාතකය ගැන ටිකක් මතක් කරලා හිටියේ අද අපි කතා කරන්න හදන මාතෘකාවත් ටිකක් ඊටම සමාන එකක් නිසා.
අද කාලේ ඉන්න සමහරක් කාන්තාවන් තමන්ගේ තනතුරු ඉහට අරන් දරු පවුලට සහ සැමියට කුඩම්මගේ සැලකිලි කියලයි ගොඩක් අය චෝදනා කරන්නේ. ඊළඟට ලෝකෙට ලොක්කියෝ වුණු පලියට ගෙදර මිනිහටත් ලොක්කි වෙන්න හදන එකෙන් නිරපරාදේ පවුල් කඩාකප්පල් වෙනවා වැඩියි කියලත් තව සමහරු කියනවා. මේ කතාවල ඇත්තක් තියෙනවද? ඇත්තටම ගැහැනුන්ගේ තනතුරු නිසා අද කාලේ පවුල් අනතුරක වැටිලද?
ඒ ගැන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය අත්තනායක එම් හේරත් මහතා කිව්වේ මේ විදියේ කතාවක්.
මෙහෙමයි. නිකමටවත් සංගණනයක් කරලා බැලුවොත් අද කාලේ පිරිමියා උඩට ගිහින් ඉන්නේ ඡන්ද හිමි නාමලේඛනයෙන් විතරයි කියලා ඔප්පු වෙයි. ඒක පිරිමින්ගෙම දුර්වලකම මිසක් ගෑනුන්ගේ වරදක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. අනික අද ඉන්න ගොඩක් පිරිමි ගෙදරදොරේ දරුවන්ගේ වගකීම් ටිකත් ගෑනිගේ පිටට දාලා හීන් නූලෙන් ඇඟ බේරගෙන පනින්න නම් කියාපුම ඇත්තො ටිකක්. ඒකෙන් වෙලා තියෙන්නෙ අද ඉස්කෝලවලින් පිරිමි ගුරුවරු අතුරුදන් වෙලා. රජයේ කාර්යාලවලින් පිරිමියෙක් හොයාගන්නෙ ලාහට ගෙම්බො ඇහිදිනවා වගේ. ඉහළ නිලධාරින් අතරේ වගේම අධ්‍යක්ෂ මණ්ඩලවල පිරිමි අඩුයි. විශේෂයෙන්ම එදා ඔය ග්‍රාම නිලධාරී තනතුරුවල හිටියෙ පිරිමි. ඒත් අද බැලුවොත් ඇත්තන් ඉන්නෙ කාන්තාවොමයි. ඔය විදියට සමාජ අධ්‍යාපනයෙන් ලබන්න පුළුවන් ගොඩක් තනතුරු හීන් සීරුවට කාන්තාවට හිමිවෙමින් තියෙනවා. කොටින්ම අද ඉන්න ගොඩක් පිරිමින්ට ක්ෂණිකව ගමනක් යන්න කතා කළොත් කට ගත්ත ගමන් කියන්නෙ අපෝ ගෙදරින් නාහා නම් එන්න බෑ කියලනේ. හේතුව, උන්ගෙ සර්ව බලධාරියා ඉන්නේ ගෙදර. මම මේ කියන්නෙ බිරිඳට කියලා තීන්දු තීරණ ගන්න එක වරදක් කියලා නෙවෙයි. පවුල ඇතුළෙදි, රැකියාවෙදි පිරිමියාට පස්සට ගිහිල්ලා ගැහැනිය දවසින් දවස ඉස්සරහට ආවේ මේ වගේ හේතු නිසා කියලා.
ඕකට මම හොඳ උදාහරණයක් කියන්නම්. මගෙන් ඉගෙනගත්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් හිටියා හර්ෂි කියලා. හර්ෂිගේ අම්මයි තාත්තයි දෙන්නම ඒ තරම් හොඳ අධ්‍යාපනයක් ලබපු දෙන්නෙක් නෙවෙයි. ඒ නිසා ඒ දැරිවි ගතකළේ ගොඩක් අඟහිඟකම් තිබුණු ජීවිතයක්. හැබැයි මේ දුවගේ අම්මා හරිම උත්සාහවන්තයි. ඇය අර දුවගේ අනාගතය ගැන හිතලා එයාට උගන්වන්න සල්ලි හොයන්න ඒ පැත්තේ සුපිරි වෙළඳසැලක කම්කරු රැකියාවක් කළා. හැබැයි අර තාත්තා කරලා තියෙන්නේ අද කාලේ එළියට බැහැලා කීයක් හරි හොයාගන්න එක ලේසි නෑ කියලා නිකම්ම අත කට බැඳගෙන ගෙට වෙලා නිදාගත්ත එකලු. අර දුව කියපු විදියට නම් හැමදාම අම්මා අර තාත්තට බනිනවලු මගේ සල්ලිවලින් පින්බත් කන පින්බතා කියලා. හැබැයි අර තාත්තා ඒත් කිසිම විලිලැජ්ජාවක් නැතුව බීරෙක් වගේ ඔහේ ඉන්නවලු.
දැන් ඔය කතාවෙන් පේන්න තියෙන්නේ අර තාත්තා පුළුවන්කම තියාගෙනත් පවුලේ වගකීම්වලින් කර ඇරලා අත පිහිදගෙන ඉන්න එක නෙවෙයිද? එතකොට අර දුවගේ අම්මා ගෙදර ලොක්කි වෙලා තියෙන්නේ අර තාත්තගෙම වරදින් නෙවෙයිද? ගෙදර ගෑනි හරි හම්බ කරලා දරුවොන්ගෙ වගකීම් ටිකත් ඉටු කරලා මුළු පවුලකම ඕනෑ එපාකම් ටිකත් සපුරද්දි මිනිහා උඩ බලන් හිටියම ඔහොම වෙන එක ආයෙත් අහන්නත් දෙයක්ද? හැබැයි යම්කිසි ගෙදරක අම්මා පිරිමියෙක් වෙන එකෙන් සිද්ධවෙන්නේ ඒ ගෙදර තියෙන ආදරණීය බව ටිකෙන් ටික නැතිවෙලා යන එක. ඊළඟට දරුවොන්ගෙ අප්පව හැමවෙලාවෙම උන් ඉස්සරහා ඔහොම පාතට දාලා කතා කරන එකෙන් වෙන්නෙ ඒ දරුවොත් උන්ගෙ අප්පව අවලංගු කාසියක් ගානට දාන එක. එතකොට තමා අර විදියට අම්මව විතරක් ලොක්කි වෙලා පේන්න පටන්ගන්නේ.
ඊළඟට අම්මා කෙනෙක් උදේ හවස පවුලේ බර අදින එකෙන් වෙන්නෙ දන්නෙම නැතුව දරුවන්ව මගඇරෙන එක. එතකොට තමයි දන්නෙම නැතුව පවුල් අනතුරට වැටෙන තැනට පත්වෙන්නේ.
තවත් ඔය විදියෙම කතාවක් කියන්නම්. ඒ ගෙදර අම්මා ගුරුවරියක්. තාත්තා නම් පෞද්ගලික අංශයේ සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්. අර අම්මගේ වැඩේම මොන වැඩේ කරන්න ගියත් අර තාත්තට අණ කරන එක. ඒ වැඩේ වැරදියි කියලා කවුරුහරි තේරුම් කරපු ගමන් ඇය අහන්නේ දාස් ගාණක් ළමයින්ට උගන්නන මම කියන දෙයක් ඇහුවම මේ මිනිහගේ පැත්තක් යනවද කියලලු.
මම අපේ කාන්තාවට තරුණ දුවලට කියන්නේ උඹලා එදා මෙදාතුර ඇවිල්ලා තියෙන ගමන සාර්ථකයි. ඒක කොහෙත්ම වැරදි නෑ. හැබැයි ගැහැනු ලෝකෙට ලොක්කියො වෙන තරමට ගෙදරටත් ඒ ලොකුකම් පෙන්නන එකෙන් වෙන්නෙ දරුවන්ට අම්මා කෙනෙකුත් නැතිවෙලා සැමියට ආදරණීය බිරිඳකුත් නැතිවෙන එක. හේතුව ගෙදර ගෑනි පිරිමියෙක් වගේ රළු වුණාහම දරුවෝ පිට යනවා. මිනිහා වෙන ගෑනු හොයන් යනවා. දන්නෙම නැතුව තනතුරු විතරක් ඉතුරු වෙලා දරු පවුල නැතිවෙලා යනවා. දවසින් දවස තනතුරෙන් උඩට ගිහින් අනිත් සියල්ලෙන් පහතට වැටෙනවා.
හැබැයි කාන්තාවක් කිසිම වෙලාවක තමන්ගේ ශක්තිය නැති කරගන්න හොඳ නෑ. ඔය ජාතක කතා පොතේම තියෙන උච්ඡංග ජාතකය කියෙව්වොත් ඕනම කාන්තාවකට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන්. ඒ කතාවේ ඉන්න කාන්තාව ඇගෙ ශක්තියෙන් නුවණෙන් රජෙකුගේ අධිකරණ තීන්දුවක් සුන්නද්දූලි කරලා දාලා ඇගේ සැමියා, දරුවා, සහෝදරයා කියන මේ තුන්දෙනාවම මරණයෙන් ගලවාගන්නවා. හැබැයි රජෙක් එක්ක හැප්පෙන්න ආත්මශක්තියක් තිබුණ ඇය ගෙදරදි ඉතාමත් ආදරණීය චරිතයක්. ඒ නිසා මම අපේ කාන්තාවන්ට වගේම තරුණ දුවලටත් කියන්නේ ඔයාලත් ලෝකෙට කොයිතරම් ලොක්කියක් වුණත් ගෙදරට ඒ දරදඬුකම පෙන්නන්න යන්න එපා කියලා. මොකද දුවෙක් වැඩියෙන් ලස්සන රුව, ගුණ, ශක්තිය කියන තුනම එකතු වුණහම.
ඊළඟට පුරුෂ පක්ෂයටයි, තරුණ පුතාලටයි කියන්න තියෙන්නේ උඹලත් අර ගරහිත ජතකයේ රිලවුන්ගෙන් සමච්චලයට ලක්වුණු පිරිමි වගේ නොවී ජීවත් වෙයල්ලා කියලා තමයි.
ගෙදර ගෑනිගෙන් අහන්න ඕන දේවලුත් තියෙනවා. නාහන්න ඕන දේවලුත් තියෙනවා. ඒකෙන් අදහස් කළේ බිරිඳව පහලට දාන්න කියලා නෙවෙයි. පවුල ඇතුළේ අප්පච්චි අප්පච්චිගේ තැන රැකගත්තෙ නැත්නම් වෙන්නේ අනිවාර්යයෙන්ම ඒ පවුලේ අත්තිවාරම දෙදරණ එක. ගෙදර ගෑනි සේරම කරනකම් බලාගෙන ඉන්න පිරිමින්ට සමාජය ඇතුළෙ අර රිලවුන්ට තරම්වත් තත්ත්වයක් නෑ. මේ දවස්වල රිලව් රට පටවන්න ඕන කියලා කතාවකුත් මතුවෙලා තියෙන හින්දා තමයි මේ කතාව මතකයට ආවේ. එහෙම බලනකොට රිලව් නෙවෙයි කශේරුකාව බිඳගත්තු පිරිමි ටික රට පැටෙව්වනම් හොඳයි කියලයි මට හිතෙන්නෙ.
ලිහිණි මධුෂිකා