ස්වයං රැකියා

කනකොට යනවා යනකොට කනවා

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්නධරණීහැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා

බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ රජකම් කරපු කාලේ බරණැසේ බටහිර පැත්තට වෙන්න මහ විශාල කැලයක් තිබුණා. ඔන්න දවසක් හාවෙක් විඩාව නිවාගන්න මේ කැලේ තල් ගහක් යට ඈඳිගත්තා.

අනේ ඇත්තට මේ අහස එකපාරම කඩාගෙන වැටුණොත් මොනවැයින් මොනවා වෙයිද?”

ඈඳිගෙන ඉන්න අතරේ හාවා කල්පනා කළා. හාවා කල්පනාව ගැඹුරේ කිමිදෙද්දි එකපාරම මහා විශාල සද්දයක් ඇහුණා. ඇත්තටම අහස කඩාගෙන වැටෙනවාය කියලයි හාවා හිතුවේ. ගහ යටින්  ක්ෂණිකව නැගිට්ට හාවා පස්ස නොබලා “බුදුඅම්මෝ අහස කඩාගෙන වැටෙනවෝ” කියලා බෙරිහන් දිදී දුවන්න ගත්තා. දුවන හාවා දැකපු මුවෙකුත් හාවාගේ කීම අහලා හාවා එක්කම දුවන්න ගත්තා. දැන් දෙන්නම අහස කඩා වැටෙනෝ කියාගෙන දුවනවා. ටික වෙලාවක් යද්දි මුළු කැලේම සත්තු හාවා පස්සේ මෙහෙම දුවන්න ගත්තා.

ඔය අතරේ කැලේ රජා සිංහයා මේ ජංජාලේ දැක්කා. දුවන දිවිල්ලට මුන්දලා ටික මහා නස්පැත්තියක් කරගන්නවය කියලා හිතපු සිංහ රජා දුවන සත්තු ටික නතර කොරන් වෙච්චි දේ අහන්න ගත්තා. එකා ගානේ ප්‍රශ්න කොරද්දි අන්තිමේ කතාව නතර වුණේ හාවා ළඟ. තමන් තල් ගහක් යට ඉඳන් ඉන්දැද්දි එකපාර අහස කඩාවැටුණු බව හාවා සිංහයාට කිව්වා. ඒ පාර සිංහයා කට්ටියම එක්කාසු කොරන් හාවා උන්නු තැන බලන්න ගියා. වටපිටාව සෝදිසි කරව්ව සිංහයට වෙච්චි දේ තේරුම්ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ. හාවා හිටපු තැන තල් කොළේකට හොඳ ලොකුවැයින් බෙලි ගෙඩියක් පතබෑවිලා. ඇත්ත නැත්තක් අග මුලක් නොහොයා කලබල වෙච්චයින් අන්තිමේ මහා විනාශයක් වෙන්න තිබ්බයි කියලා සිංහයා කැලෑ සත්තුන්ට පැහැදිලි කළා.

කනෙන් ඇහුවත් ඇහෙන් දැක්කත් විචාරශීලී බුද්ධියෙන් නොවිමසා යමක් පිළිගන්ට යන්ට එපා කියලා පැහැදිලි කරන්න තමයි බුදුහාමුදුරුවෝ ඔය දද්දභ ජාතකේ දේශනා කර වදාළේ.

බෙලි ගෙඩියක් කරාපු හදියක් බලන්න එපායෑ. කැලේ සත්තු බෙලි ගෙඩියට බය වුණාට මොකෝ බෙලි කියන්නේ ඉන්දියාවේ මිනිස්සුන්ගේ වන්දනාවට පාත්‍ර වෙන ජාතියක්.

පිරිසුදුවට පිළිවෙලට තියෙන ගේදොරට ශ්‍රියා කාන්තාව වඩිනවා කියලා කතාවට කියනවනේ. ශ්‍රියා කාන්තාව කියන්නේ ශ්‍රියාවේ නැත්තම් සෞභාග්‍යයේ දෙවඟන. ශ්‍රියා කාන්තාවගේ වාසස්ථානය බෙලි ගහක්ලු. ඉතින් ගෙදරක බෙලි ගහක් තියෙනවා නම් ඒ ගෙදරට ශ්‍රියා කාන්තාව වඩිනවා කියලා ඉන්දියාවේ මිනිස්සු විතරක් නෙමේ අපේ පැරැන්නොත් විශ්වාස කළා. ශ්‍රියා කාන්තාව විතරක් නෙමේ ශිව දෙවියොත් බෙලි ගස්වලට වඩිනවලු. ඒ නිසා බෙලි කියන්නේ පූජනීය ගහක්.

ඔය කතාවල ඇත්ත නැත්ත කොහොම වෙතත් බෙලිවල ඖෂධීය පැත්ත නම් මහා අනර්ඝයි.

‘බලං බිල්ව එලං ශ්‍රාහි-දීපතං පාචනං කටු කෂායෝෂ්ණ ලසු ස්තිග්ධා-නික්තං වාත කථා පහුම්’ ආයූර්වේද ග්‍රන්ථවල බෙලි ගැන සඳහන් වෙන්නේ ඔහොමයි.

බෙලි මදය පාචන, කටු, කෂාය ගුණයෙන් යුක්තය. ඒ ගුණයෙන් වාත පිත කපනවාය කියන එකයි ඒකේ තේරුම.

විටමින් A, B, ප්‍රෝටීන, තන්තු, ඛනිජ ලවණ, කැල්සියම්, පොටෑසියම් වගේ පෝෂක ගුණ රාශියක් බෙලිවල තියෙනවා. අර්ශස්, අජීර්ණ, මළබද්ධය, සෙම්ප්‍රතිශ්‍යාව, පීනසේ වගේ රෝග රැසකට බෙලි සුවයි. ‘බෙලි කෑවත් බඩ යනවා – බඩ යනවිටත් බෙලි කනවා’ කියලා පරණ කියමනක් තියෙනවා. බඩ තදේටත් බඩේ බුරුලටත් දෙකටම බෙලිවලින් සුවයක් ලැබෙන නිසයි ඔහොම කියන්නේ.

ලෙඩ රෝගවලට විතරක් නෙමේ ආයුබොවන්ඩ සම ලස්සන කරගන්නත් ඉස්සර ගෑනු බෙලි මද කෑවා. ගැබිනි අම්මලගේ රුධිරය වඩන දිව ඔසුවක් නිසා බෙලි කියන්නේ බවලතියන්ට කියාපු කෑමක්.

ඔය එකී මෙකී අටෝරාශියක් ගුණ නිසා බෙලිවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් ව්‍යාපාරයක් විදියට බෙලි ස්මැක් හදන හැටි ගැනයි මේ කථිකාව. මේක කාටත් අමාරු කාලේ. ඉතින් ඔය ඉන්න ගමන් ස්වයං රැකියාවක් විදියට බෙලි ස්මැක් ටිකක් හදලා විකුන්ණොත් අමාරුකම් කිය කියා කාගෙවත් බෙලි කන්න අවශ්‍ය වෙන්නේ නෑ. අනික බෙලි මදේ උෂ්ණෙට පංකාදු බේත. මේ ග්‍රීස්ම කාලෙට බෙලි පානේ තරම් ඇඟ නිවන බීමක් නැති නිසා ඉල්ලුමක් හදාගන්න අමාරු වෙන්නෙත් නෑ.

ස්මැක් හදන වැඩේට ඇට අයින් කරලා සූරගත්තු බෙලි මද 200g, සීනි 150g, වතුර 850ml, සිට්‍රික් ඇසිඩ්  1g, SMS (Sodium Metasulfite) 0.5g සපයාගන්න. මේ ප්‍රමාණවලින් ස්මැක් කෝප්ප 6ක් හදාගන්න පුළුවන්.

 

පියවර 1

මුලින්ම බෙලි ටිකයි, වතුර 200ml කුයි මිශ්‍ර කරලා බ්ලෙන්ඩර් කරගන්න. පස්සේ සීනි ටිකයි ඉතිරි වතුර  650mlයි ලිපෙන් තියලා 10ක් උණුකරලා නිවෙන්න තියන්න.

 

පියවර 2

දැන් හදාගත්තු බෙලි පල්පේ හොඳට දියකරලා පෙරණයකින් මතගාන ගමන් පෙරාගන්න. මේකට සිට්‍රික් ඇසිඩ් දියකරන්න. අවසානෙදි SMS එකතු කරලා ජීවානුහරණය කරපු බෝතල්වල දාලා සීල් කරන්න. බෝතල් 80 -85C උෂ්ණත්වයට විනාඩි 10ක් රත් කරන්න. මෙහෙම හදාගන්න බෙලි ස්මැක් මාස දෙකක් කල්තියාගන්න පුළුවන්.

වෙළඳසැලක් වගේ තැනක එවෙලෙම හදලා පානයක් විදියට පිළිගන්වනවා නම් සිට්‍රික් ඇසිඩ්, SMS එකතු කරන්න එපා. මේ විදියට හදාගන්න බෙලි ස්මැක් එකක් රුපියල් 150 වගේ ඉඳලා මිල කරන්න පුළුවන්. බෙලි ස්මැක් ගැන තවත් විස්තර දැනගන්න තියෙනවා නම් 0714766819 අංකෙට කතා කරන්න.

සීතා පොන්නම්පෙරුම

ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි