Health

දෙවියන් සතුටු කරන්න මහත්තයාව ණයකාරයෙක් කරලා

නිර්මලා යමක්කමක් තිබුණු පවුලක උගත් කාන්තාවක්. ඇය විවාහ වුණේ තිහ පැනලා. බැඳලා ටික කාලෙකින් නිර්මලාට දුවෙක් ලැබුණලු. ඊටපස්සේ ඇය රස්සාවෙන් අස්වෙලා දරුවව බලාගෙන ගෙදර ඉඳලා. 

දුව ටික ටික ලොකු වෙද්දි නිර්මලාට ගෙදර තිබුණු වැඩ අඩු වුණා. ආගම දහමටත් ටිකක් ලැදි නිසා නිර්මලා නිතරම ගෙවල් ළඟ තියෙන පන්සලට යන්න පටන්ගත්තා. ටික දවසක් යද්දි ජීවිතේ කියන්නේ මහා බොරුවක් කියලා ඇයට හිතෙන්න ගත්තා. එහෙම හිතෙන වාරයක් පාසා නිර්මලා කළේ පන්සලට ගියපු එක. දුව ගැනයි සැමියා ගැනයි හිතන්න මේ කාන්තාවට වෙලාවක් තිබුණෙ නැති තරම්. පන්සලට ගොඩාක් ලැදි නිසා ගමේ අය වුණත් කිව්වේ නිර්මලා ගොඩක් ගුණවත් කාන්තාවක් කියලයි. ඔහොම කාලයක් යද්දි අවුරුදු දහඅට පිරෙන්නත් කලින් නිර්මලාගේ දුව තරුණයක් එක්කලා පැනලා ගියා. ඒකෙන් නිර්මලාගේ දුක තවත් වැඩි වුණා විතරක් නෙමෙයි ඇය ගෙදර ආවේ රෑට නිදාගන්න විතරයි.

දවසක් නිර්මලාගේ මහත්තයව පොලිසියෙන් අල්ලලා කියලා ආරංචියක් ඇවිත්. මනුස්සයා  බස් එකේදි තරුණ ගෑනු ළමයෙක්ට හේත්තු වෙන්න හදලා පොලිසි යන තරමට ප්‍රශ්නේ දුර ගිහින්. ඔය අල්ලපනල්ලෙම හස්බන්ඩ් තරුණ ගෑනු ළමයින්ට සල්ලි වියදම් කරනවා කියලත් නිර්මලා දැනගෙන. මේ ප්‍රශ්න එක්ක නිර්මලාට ජීවිතේ තවත් කලකිරුණා. හැබැයි මේ වෙලාවේ සැමියා නිර්මලාගෙන් දික්කසාදේ ඉල්ලුවලු. දික්කසාද වෙන එක ආගමට ලැදි කාන්තාවකට අගෞරවයක් නිසා ඇය දික්කසාදය දෙන්න කැමති වෙලත් නෑ. කොහොම හරි නෑ කෙනෙක් මාර්ගෙන් මේ දෙන්නව මට මුණගැහුණා. උපදේශනවලින් මේ දෙන්නා දෙමහල්ලෝ ආයෙම සමගි කරන්න මට පුළුවන් වුණා. හැබැයි ඒකට සෑහෙන කාලයක්  ගියා.

නිර්මලා බොහොම ගුණවත් කාන්තාවක්, ඇගේ සැමියා මහා වනචර මිනිහෙක් කියලා මේ කතාව කියෝපුවාම හිතුණද? හැබැයි ඇත්ත කතාව ඒක නෙමෙයි. අපේ රටේ බහුතරයක් කාන්තාවෝ අවුරුදු හතළිහ පනහ පැන්න හැටියේ අනවශ්‍ය විදියට ආගමික ජීවිතේට ලැදි වෙනවා. ගොඩක් පවුල් ප්‍රශ්න, සමාජ ප්‍රශ්න ඇති වෙන්න මේ කාරණාව තදින් බලපාලා තියෙනවා. මම කියන්නෙ නිර්මලා වැරදියි කියලා නෙමෙයි. ඇයට එහෙම වෙන්න හේතු තිබුණා. ඒවා අපි මේ ලිපියෙන් කතා කරමු.

කාන්තාව පිරිමියට වඩා හෝර්මෝන එක්ක බැඳිලා වැඩියි. අවුරුදු හතළිහ පැන්න හැටියේ මේ අයගේ හෝර්මෝන වෙනස් වෙන්න ගන්නවා. පනහ වෙද්දි ආර්ථවහරණය වෙනවා. ඔය ශාරීරික වෙනස්කම බහුතරයක් කාන්තාවන්ට මානසිකව දරාගන්න අමාරුයි. ඒ මානසික වියවුල යටපත් කරගන්න සමහරු ආගමික ජීවිතයට නැඹුරු වෙනවා. අනික ආර්ථවහරණයෙන් පස්සේ ගෑනුන්ගේ ලිංගික ආශාව අවම වෙනවා. ලිංගිකත්වය කියන්නේ මහා නරක දෙයක් කියලා ආගමික වශයෙන් උලුප්පලා පෙන්වන පිරිසක් ඉන්නවා. ඒ දේවලුත් එක්ක හෝර්මෝනමය වශයෙන්  ලිංගිකත්වය එපාවුණු ගෑනුන්ට තව තවත් ලිංගිකත්වය තිත්ත වෙනවා. හැබැයි එකක් මතක තියාගන්න ඕනේ. පිරිමින්ට ජීවිත කාලය පුරාවටම ලිංගිකත්වය අවශ්‍යයි. මොකද ඒ උදවියට ඔය කියන හෝර්මෝන වෙනස්වීම වෙන්නේ නැහැ. අන්න එතකොටයි අර කියාපු ඝට්ටනය ඇතිවෙන්නේ.

ඒබ්‍රහම් මාස්ලෝ, මනුස්ස අවශ්‍යතා ගැන ගැඹුරින් විශ්ලේෂණය කළ මනෝවෙද්‍යවරයෙක්. අපි මේ මොන මොන දේවල් පස්සෙ ගියත් මනුස්සයෙක්ට ජීවත් වෙන්න අවශ්‍ය බොහොම සුළු අවශ්‍යතා ප්‍රමාණයක් කියලයි ඔහු පෙන්වලා දුන්නේ. ලිංගිකත්වය කියන්නේ එයින් එකක්. සෞඛ්‍යවත් ලිංගික ජීවිතය නැති තැනදි මිනිස්සු මානසිකව පිරිහෙනවා. වෙනත් සම්බන්ධතා පස්සේ යනවා. නැත්තම් සිගරැට්, අරක්කුවලට ඇබ්බැහි වෙනවා. ඕක මනුස්ස සොබාවය. 

අනික පිරිමි හරි රළුයි කියලා හිතුවට ආදර අවශ්‍යතාවලදී පිරිමි බලාපොරොත්තු වෙන්නේ මෘදු දේවල්. බිරිඳ අම්මා කෙනෙක් වගේ ආදරෙන් ඉන්නවට හැම පිරිමියෙක්ම කැමතියි. “මගේ බිරිඳ කවදාවත් මගේ ඔලුව අතගාලා නෑ” කියලා දවසක් මහාචාර්යවරයෙක් මාත් එක්ක කිය කියා ඇඬුවා. ආගම් ලැදියාව වැඩි වෙද්දි කාන්තාවෝ ලිංගිකත්වය විතරක් නෙමෙයි ඔය කියපු ආදරේ සෙනෙහසත් මගඅරිනවා. වයසට යද්දි ගොඩක් පිරිමි ගෙවල්වල තනි වෙනවා. කතා කරන්න කෙනෙක් නෑ. මොකද වයිෆ් ඉන්නෙම පන්සලේ. ගෙදර මනුස්සයා දුකෙන් තියලා ළමයින්ව බඩගින්නේ තියලා හොයන්න යන විමුක්තිය මොකද්ද? නිර්මලාගේ දුව වුණත් අනවශ්‍ය සම්බන්දෙක පැටලුනේ අම්මට ඇයට දෙන්න කාලයක් නොතිබුණු නිසයි.

හෝර්මෝනමය වෙනස්කම එක්කලා ඇතිවෙන ආගමික බැඳීමට අමතරව සමාජේ කැපිලා පේන්න සමහරුන්ට ඇතිවෙන අසීමාන්තික ආශාවත් ආගමික පරිසරයට නඹුරු වෙන්න හේතුවක්. මේකට උදාහරණයක් විදියට මම අපේ එහා ගමේ පල්ලියට එන කාන්තාවක් ගැන කියන්නම්. පල්ලියේ මොන වැඩේ තිබ්බත් මූල්‍යමය පැත්තෙන් මුල්තැන ගන්නේ මේ කාන්තාව. පල්ලියේ ප්‍රධාන දායකයා කියන එක ඇයට මහා ලොකුකමක්. හැබැයි ඇය එහෙම සල්ලි තියෙන පවුලක කෙනෙක් නෙමෙයි. පල්ලියට සල්ලි දෙන්න ඇය සෑහෙන ණය වෙනවා. ඇය ගන්න ණය ගෙවන්නේ ඇගේ සැමියා. ණය දීපු මිනිස්සු ගෙවල් ගාවට ඇවිල්ලා දෙස් තියනවා. ඉතින් මේ පවුල සෑහෙන ණයයි කියලා දැන් මුළු පළාතම දන්නවා. තමන්ගේ පවුල කරදරවල පටලලා එහෙම දෙන එකෙන් පලක් තියෙනවාද? 

දර්ශනයක ගැඹුර තේරෙන මිනිස්සු මම පිංකම් කරනවා කිය කියා මහා සද්දෙට බෝර්ඩ් එල්ලගන්නේ නෑ. එහෙම බැලුවහම තමන් කරන වැරදි වැඩ යටපත් කරගන්න පන්සල්වලට සල්ලි පූජා කරන උදවියත් කොච්චර ඉන්නවද. හැබැයි තමන් සිල්වන්තයි ගුණවන්තයි කියලා නිතරෝම පෙන්වන්න යන ඒ වගේ උදවියට ස්වර්ගයේ දොරටු  ඇරෙන්නේ නැහැ කියලයි ජේසුතුමා දේශනා කළේ.

ඔය කියාපු කාරණේට අමතරව තවත් හේතුවක් තමයි පිං තණ්හාව. බුදුහාමුදුරුවෝ කිව්වේ තණ්හාව අත්හරින්න කියලා. හැබැයි අද මිනිස්සු පිනට කෑදරයි. කඩේ ගිහින් සල්ලි දීලා බඩු ගනවා වගේ පිං ගන්න පුළුවන් කියලා ඇතැම් අය හිතනවා. පුළුවන් තරම් පිං රැස් කරලා, ඒ පිං ඉන්වෙස්ට්මන්ට් කරලා ඊළඟ ආත්මේ සැප විඳින්න පුළුවන්  කියලා බුදුහාමුදුරුවෝ කවදාවත් උගන්වලා නැහැ. ආධ්‍යාත්මය දියුණු කරන් යහපත් මනුස්සයෙක් විදියට ජීවත්වෙන්න කියන එකයි දේශනාවේ තියෙන්නේ.

අද වෙනකොට ආගම්වලට විවිධ මත එකතු වෙලා සමහර කාරණා සම්පූර්ණයෙන්ම වෙනස්. උදාහරණයක් විදියට බුදුදහම කියන්නේ මහා ගැඹුරු දහමක්. හැබැයි ඇතැම් හාමුදුරුවරු බණට දේශනා කරන්නේ බිරිඳ තේ හදන හැටි නැත්තම් කාන්තාව ඇඳුම් අඳින්න ඕනා හැටි. බුදුන්ගේ දර්ශනය ඒක නෙමෙයි. ධර්මය තේරුම් ගන්න එක එකක්. බිස්නස් එකක් විදියට ධර්මය පාවිච්චි කරන අයට අහුවෙන එකක් තවත් එකක්.

මම මේ කියන්නේ පන්සල්, පල්ලි යන්න එපා කියලා නෙමේ. ඒ දේවලුත් කරන්න. හැබැයි අංක එක පවුලට දෙන්න. පවුල තරම් කිසිම දෙයක් වටින්නේ නෑ කියලා බුදුහාමුදුරුවෝත් දේශනා කරලා තියෙනවා. තමන්ගේ සැමියා දරුවෝ එක කරගෙන ආගමික ජීවිතේට දෙවැනි තැන දෙන්න. එතැනයි නියම කරුණාව, මෛත්‍රිය තියෙන්නේ.