චාමරට සුව වේවා සුබ වේවා ශක්තිය පමණක්ම ලැබේවා!
අහඹුවකින් හෝ වරයක් ලැබුණොත් ජීවිතයේ නැවත මා යාමට කැමතිම අවධිය පාසල් සමයයි. ඒ කාලය එතරම්ම සුන්දරය. සුන්දර තරමටම පෙම්බරය. එකල පාසලේ කාලච්ඡේද අතරතුර විවේකයක්; හිස් පීරියඩ් එකක් වේ නම් රතු පැහැ නටරාජ් කවකටු පෙට්ටියට පණ එයි. පෑන් දෙකක් දෑතට ගෙන පන්තියේ සිටින කවුරුන්ම හෝ මිතුරෙකු යම් වාදනයක් පටන්ගනී. තවත් එකෙකු ලියන මේසය යට සඟවා තැබූ අතින් ලියූ ‘සිංදු පොතක්’ උඩට ගනී. එහි පිටු පෙරළෙයි. සංගීතය විෂයක් ලෙස නොහදාරන සිසුන්ගේ හඬවල් පවා ගීතවත්ව ගැයෙයි.
‘දකුණේ පිං ඇති පිංබිම වැවුරු කන්නල
සමාවෙන්න විහාරයේ කඳුළු වැටුණට
මොර සූරන වැහිකටු එන කඳු ඉරාගෙන
කූඩුව ගංවතුරෙ ගියා පැටවු එක්කම’
ඒ ගීයෙන් පසු එකපෙළට නන්ස්ටොප් ලීලාවෙන් තවත් ගීත පොකුරක් ගැයේ. ඒ ‘මල් සිංදු’ යුගයේ ආරම්භයයි. එකල මල් සිංදු යනු ‘මල් මූලික කරගෙන ලියැවුණු අනුරාගී ප්‍රේම ගීත’ වේ. වැල් දොඩම් මලක සුදු මල්පෙති හරි සුමුදුයි කියා ගැයූ ගායකයාම සුදු සඳුන් මලක සුවඳ දිගේ සිත පැටලෙනවා කියා ද ගැයීය. එමතු නොව ‘තණමල්විල මල්’ ගැනද කළු දෙතොලක් හිමි හෙතෙම නිර්භයව ගැයීය.
ඉතින් අර පෙර කී නන්ස්ටොප් ගීත මාලාවේ උච්චස්ථානයේදී ‘සඳට සඳ එළියට මලට මල් පොකුරට කවියො කවි ලීවට වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත’ කියාද ළමෝ ගයති. අන්න එවිටම වාගේ ඊළඟ පීරියඩ් එක භාර ගුරුවරයා පැමිණේ. නටරාජ් කවකටු පෙට්ටියේ කට වැසේ. සිසුහු ගොළු වී පට පට ගා කීකරු වෙති. මේ කාලය පෙර කී ගීත මාලාවෙන් පාසල් ළමුන් ඔකඳ වී උම්මත්තකව සිටි යුගයයි. එකී සියලු ගීතවල හිමිකරු වූයේ අකුරු තුනකි. ඔහු ‘චාමර’ ය. චාමර වීරසිංහ ය.
බස් එකේ පාසලට යද්දීත්, හන්දියට යද්දීත්, කඩේට යද්දීත්, දහම් පාසල් යද්දීත් ‘සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිඳ ඔබ දෙස බලන්නම්’ කියා ආටෝප වචන නොමැතිව අවංක පපුවෙන් ගැයුවේ චාමර ය. ඔය කාලය පොඩි උන් වූ අපගේ වෙරළු මල් සිහින කෙමි කිතිකැවෙන කාලයයි.
බත් උයන්නට බැරිවන දිනවල පාසල් විවේකයේදී මොනවාම හරි කෑමට ගෙදරින් දෙන පුංචි මුදල මාස දෙකක් පමණ එක්කාසු කර මං විජයග්‍රාහීව චාමරගේ ‘සිතින් විතරක්’ කැසට්පටය මා සතු කරගතිමි. එහි වූ ගීත නැවත නැවත අසමින් ‘බොළඳ ආදරය සබුද්ධිකව’ විඳගතිමි. අපේ අප්පේ එහෙමත් කාලයක්! එහෙම ඉන්නකොට තවත් කාලයකින් මේ යෝධයා ‘මතකයන් ඔබේ හිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා’ කියා ගැයීය. මල්ල කරේය. ඉතින් මම ද කටින් වචනයකුදු නොකියා ඇසින් පමණක් පෙම් කළ දැන් නම අමතක කෙල්ලකට ‘මම ඔබගේ පළමු පෙම්වතා’ කියා සිතින් විතරක් කීවෙමි. එහෙම බලද්දී එකල නව යොවුන් විය එළිපත්තේ සිටි අපගේ මනසිකාරයට ගැළපෙනම ගයන්නා වුණේ චාමර ය.
චාමර ප්‍රසංග වේදිකාවට ආධුනික කාලයේදී සේනානායක වේරලියද්දගේ ‘පුංචි දඟකාරියේ’ ගීය හරි විසාලෙට ගැයීය. මගේ බහුතර යාළුවන් අදත්, එකලත් චාමරගේ හඬින් වේරලියද්දගේ ගී ඇසීමට පුදුම විදියට ආසාය. ඒ නමුත් කුමක්දෝ නොස්ටැල්ජික් හැඟීමකට මා නම් චාමරගේ හඬින් ඔහුගේ ගී වලට අමතරව ඇසීමට ආසාම ‘සුනිල් එදිරිසිංහ’ගේ ගීත ය. ‘පාට දේදුනු සේදිලා’ චාමර ගයද්දී සප්ත දේදුන්න මේ දැනුත් මා අස මැවෙන්නේ ය. මාතර උපන් දුප්පත් පොඩි කොල්ලෙකුගේ ගීත කල් යද්දී කොළඹ හතේ කුරුඳුවත්තෙන් ද නොනවත්වාම ඇසුණේය.
චාමර ඇතුගල වෙහෙර වැන්දේය. රජ මැදුරේ උපන්න උඩවැඩියා කුමාරිට පෙම් කළේය. කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන සීදේවී මගෙයි කීවේය. ඔය සුසුම් පවන් වැදී නෙතු පියන් සැලීය. අමාවකට අතවනනා පිච්චමලී වෙනුවෙන් එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට කියා කීවේය. එපමණකුත් නොවෙයි මහලු මඩම් ගමෙන් ගම ඇති රටක, බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල්ගේ ගිනි අතරේ කියා අපව දැව්වේය. තැව්වේය. කවිකීර්ති හාමුදුරුවන් උපන්නේ චාමරට ගී ලීවීමටමද කියා මට හිතුණු වාර අනන්තය. එතරම් සෞන්දර්යාත්මක චාරිකාවක ආදරෙන් තටු සැලූ චාමර කලින් කලට පෙළින් පෙළට ගීත අහුරු ගැයීය. ඔය පෙර කීවේ මා වඩාත්ම ආසා ගීත පමණි. ඔබ ආසා ඒවා තවත් තව තවත් තිබෙන්නට හැකිය.
චාමර යනු මුලින්ම දකුණේ කොල්ලන්ට උපසංස්කෘතියකි. පසුව එම කල්ට් එක රට පුරා කෙමෙන් කෙමෙන් ව්‍යාප්ත වන්නට විය. හරියටම චාමරගේ ගායනාවන් මෙනි. චාමරගේ කතාබහ මෙනි. චාමරගේ ප්‍රසිද්ධියේ හැසිරීම මෙනි. සැපෙනි. සාමයෙනි. කලබලයක් නැති නිසංසලේය. ලෝක ප්‍රකට බොබ් මාලේ වරෙක කීවේ ‘ජීවිතේ සල්ලිවලට ගන්න බෑ’ කියාය. මට චාමර ගැන සිතෙන්නේම එසේය. චාමර යනු අතිශය දුර්ලභයෙකි. චාමර කෙනෙකු මෙරටේ දෙවතාවක් බිහිවන්නේ නැත. එබැවින් එම ස්වර්ණමය ගායකයාගේ ජීවිතය එතරම් වටින්නේය. චාමර යනු අතිදක්ෂ හෝ විශාරද හෝ විදග්ධ ගීත සමාජය නියෝජනය කළ එකෙකු නොවේ. එසේම සාම්ප්‍රදායික හෝ රැඩිකල් හෝ රොක් හෝ රෙගේ හෝ මේ මොකක්වත් නොවේ. නමුදු එම ශානරයන්ගේ නියැළෙන අන් මොකෙක්ටවත් නැති මොකක්දෝ එකක් චාමර තුළ තිබේ. එය චාමරමය ගතියකි. ජනප්‍රියවාදයකි. මානවවාදයකි. එබැවින්ම එය සංස්කෘතියකි.
සතෙන් සතේ එක්කාසු කර චාමරගේ ‘සිතින් විතරක්’ කැසට්පටය ගත් මා නම් ළමයා කරදඬු දික් වී තරුණයෙකු වූ පසුව හරි සුන්දර වැඩක් වූයේය. සරසවියේ ඉගෙනුම ලබන සමයේ මා සූර්යා දයාරුවන් වෙනුවෙන් රචනා කළ ‘මගේනේ’ නම් සුප්‍රසිද්ධ ගීතයට චාමර ද ආසාය. චාමරවත් මෙතෙක් නොදන්නා කරුණක් අද ඔබට මං කියන්නම්. මා ඔහු වෙනුවෙන් පෙර සිටම ලියා මගේ ගීත මල්ලේ තබාගත් ‘තවමත් නොගැයූ’ ගීයක් තිබෙන්නේය. එය කොළඹ සරසවියත්, ප්‍රේමයත් ගැන ලියැවුණු චාමරමය ගීතයකි. මතුදාක එම සුදු සිහිනය සඵල වනතුරු මම තවමත් අවුරුදු ගාණක පටන් ඉවසන්නෙමි. ඒ චාමර මෙනි. කලබලයක් නැති සැහැල්ලුවෙනි.
චාමරගේ වටිනාම කොටස මේ මොහොතේ ඔහු සිංහලයන්ගේ පමණක් නොව ‘ශ්‍රී ලාංකිකයන්ගේම හදවතේ ගායකයා’ ය. උතුරේ සිටින මගේ දමිළ මිතුරෝ ද දකුණේ චාමරට ආදරේ කරති. කොළඹ මාලිගාවත්තේ සිටින මුසල්මානු මිතුරෝද චාමරට ආදරේ කරති. මා සිතනා අන්දමට චාමරට පෙර සර්වාගමිකයන්ගේ, සකල ජාතීන්ගේ ප්‍රේමය සමානව දිනූ දකුණේ ගායකයා එච්.ආර්.ජෝතිපාල ය. නළුවා වන් ඇන්ඩ් ඔන්ලි විජය කුමාරතුංග ය. මධුවිත ඇත්තේ කොතැනද එතැන අදටත් ජෝති උපදින අතර කංසාමය සුගන්ධය හමන්නේ කොතැනද එතැන චාමර සේසත් සැලෙන්නේය. යුගයන් බඳු මෙබඳු මිනිසුන් දූපතකට වඩා සෑහෙන විශාලය. චාමර නුඹ ශරීර කූඩුවෙන් අතිශය කුඩා මිනිසෙකු වුවත් සප්ත ස්වර සාගරයේදී නුඹ තරම් ඉසියුම් කිමිදුම්කරුවෙකු තවත් නැත. එනිසා ඔය ලස්සන කටහඬද රැගෙන දත් බොල්ලෑව පා ඔය අවංක හිනාවෙන් ඉක්මනින්ම නුඹ අප අතරින් ඇවිද යා යුතුය.
(මේ ලිපිය ලියන මොහොත වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන) චාමරට සුව වේවා සුබ වේවා ශක්තිය පමණක්ම ලැබේවා!
කසුන් මහේන්ද්‍ර හීනටිගල