දිරිය දිනූ කතුන්

එදා ෆොක්ස්හිල් රේස් එකේ ඉඳපු එකම තරඟකාරිය මමයි! – කෞෂල්‍යා ආරියදාස

ඉතා අවාසනාවන්ත සහ අනපේක්ෂිත ලෙස සිදුවූ අනතුරක් නිසා පස් වසරකට පසු ඉකුත් අප්‍රේල් 21 වැනි ඉරිදා දියතලාව, නරියාකන්ද ධාවන පථයේ පවත්වන්නට යෙදුනු ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරඟාවලිය අතරමඟ නවතා දැමීමට සිදු වූ බව ඔබ දැනටමත් දන්නා කාරණයකි. මේ අනතුර සිදුවනවිට පැවැත්වෙමින් තිබු‍ණේ ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරඟාවලියේ 18 වැනි තරඟයයි. නමගිය තරඟකරුවන් රැසක්ම ඒ ඉසව්වේ තරඟ කිරීම නිසා නරඹන්නන්‍ ද සිටියේ සෑහෙන උදයෝගයෙනි. තරඟයේ ඉතා උණුසුම් මොහොතක සියලු තරඟකරුවන් ධාවන පථය තු‍ළ එකිනෙකා පරයමින් ජයග්‍රහණයට මග සකසාගනිද්දී සම්පූර්ණයෙන් දූවිල්ලෙන් වැසීගිය ධාවන පථයේ මෝටර් රථයක් අනතුරකට ලක්විය. ඒ ඇසිල්ලේ තවත් මෝටර් රථයක් නරඹන්නන් දෙසට කඩා වැදීම නිසා ඒ අනතුර බිහිසුණු එකක් බවට පත්විය. අනතුරින් තරඟ නැරඹීමට ආ හත්දෙනෙක් මියගිය අතර විසිපහකට ආසන්න ප්‍රේක්ෂකයන් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කෙරුනි. එදා එම ධාවන තරඟාවලිය සඳහා ඉදිරිපත්ව සිටියේ එකම එක තරඟකාරියක් පමණක් වීමද තවත් විශේෂත්වයක් විය. ඔබට මතක නම් ඒ මීට පෙර අවස්ථාවක ‘ධරණී’ කවරය සැරසූ රුවැත්තියක වන කෞශල්‍යා ආරියදාසයි. මෙම තරඟ මාලාවේදී ඇගේ රථයත් අනතුරට ලක් වූ බව රූපවාහිනී තිරයෙන් දැකගන්නට ලැබුණු නිසා ඇගේ සුවදුක් විමසන්නට සේම නරියාකන්දේ සිදුවීම පිළිබඳව අප දුටු නොදුටු දෙ දැනගන්නටත් අපි කෞශල්‍යාට කතා කළෙමු. 

 

*අවුරුදු 5ක් නොපැවැත්වුණු ෆෝක්ස්හිල් මෝටර් රථ ධාවන තරඟ යළි ආරම්භ වෙනවා කියන එක ඔබට සුබ ආරංචියක් වෙන්න ඇති නේද? 

ඇත්තටම ඔව්. කොවිඩ් වසංගතයත් එක්ක අවුරුදු පහක් ෆෝක්ස්හිල් මෝටර් රථ ධාවන තරඟාවලිය තිබුණෙ නෑනේ. දියතලාව, නරියාකන්ද ට්‍රැක් එක කියන්නේ හුඟාක් ධාවකයින්ට තමන්ගේ හැකියාවන් පෙන්නන්න අපේ රටේ තියෙන හොඳම ට්‍රැක් එකක්. ඉතින් මෙවර ෆෝක්ස්හිල් මෝටර් රථ ධාවන තරඟාවලිය තියෙනවා කිව්වම ගොඩක් සතුටු හිතුණා.

 

*හැබැයි ඇරඹුමම කඳුළක් වෙලයි නැවතුනේ?

ඒක හරි. රේසිං තරඟ කියන්නේ අනතුරු බහුල ක්‍රීඩාවක්. ඒත් මෙවර අපි කවුරුත් හිතුවේ නැති විදියට නරඹන්නන්ට මේ අනතුරින් හානි වුණා. ඒක ගැන ඇත්තටම ගොඩාක් කණගාටුයි.

 

*එදා මෝටර් රථ අනතුර වෙද්දි ඔබ හිටියේ කොහෙද? අනතුර දැක්කද?

දැක්කේ නෑ. මගේ රේස් එක තිබුණේ 17 වැනියට. මගේ එකට පස්සේ තිබුණු 18 වැනි රේස් එකේදි තමයි ඔය සිදුවීම වෙලා තිබුණේ. කොහොමහරි ඒ අනතුර වෙනකොට මං හිටියේ ට්‍රැක් එකට දුරින්.

 

*අනතුර ගැන දැනගත්ත වෙලාවේ කෞෂල්‍යාට මොකද හිතුණේ?

රේසිංවලදි අනතුරු සාමාන්‍ය නිසා මුලින් ඒක ලොකුවට හිතුවේ නෑ. ඒත් අනතුරින් එදා එතැනට තරඟ බලන්න ඇවිත් හිටපු  කීපදෙනෙක්ට ජීවිත අහිමිවෙලා කියද්දි එකපාරටම මට හිතාගන්න බැරිවුණා. ඒ නැතිවුණු අය ගැන සෑහෙන්නම දුක්වුණා.

 

*අපි දැක්කා එදා තරඟයකදී ඔබගේ මෝටර් රථයත් අනතුරට ලක්වෙනවා?

ඔව් මගේ රේස් එකේ දෙවැනි වටේ යද්දි මගේ කාර් එකත් අනතුරකට ලක්වුණා.

 

*ඔබේ අනතුරට හේතුව මොකක්ද?

මං මීට කලින් අවුරුදු 5ක් රේස් පැද්දේ ‘නිසාන් මාච්’ ඉසව්ව. ඒත් ෆෝක්ස්හිල් එකේ ඉඳන් මගේ ඉසව්ව ‘SLH සුබාරු ලෙගසි’ සිලින්ඩර් ධාරිතාව 2000 දක්වා වෙන මෝටර් රථ කාණ්ඩය. ඉතින් මුල්ම රේස් එක එදා කළේ. කොහොම හරි කාර් එකේ පිටිපස්සේ ටයර් එකට අනතුරක් වෙලා මට කාර් එක පාලනය කරගන්න බැරිවුණා. ඒ නිසයි මගේ කාර් එක එදා අනතුරට ලක්වුණේ.

 

*මෝටර් රථ ධාවකයෙකුට ඔහොම නිදහසට කාරණා කියන්න බෑ නේද?

ඔව්. අතපසුවීම්වලට නිදහසට කාරණා කියන්න බෑ. ඒත් මං ඒ ඉසව්වට ආධුනික නිසා මට එදා ඒ අනතුර වළක්වාගන්න බැරිවුණා. හැබැයි අත්දැකීම් තිබුණා නම් මට ඒ වෙලාවේ කාර් එක පෙරළෙන්න නොදී ට්‍රැක් එක අයිනේ නතර කරගන්න තිබුණා. ඒත් ඒක කරන්න බැරිවුණා.

 

* එදා ඔබේ මෝටර් රථය වටයක් පෙරළිලා නේද නැවතුනේ?

ඔව්. මටත් ඒ වෙලාවේ මොකක්ද වුණේ කියලා හිතාගන්න බැරිවුණා. මං දන්නේ නෑ කාර් එක එහෙම වටයක් පෙරලුණා කියලත්. පස්සේ වීඩියෝ එකක් බලද්දි තමයි මං ඒක දැක්කේ. වාසනාවකට එදා මට සීරීමක්වත් වුණේ නෑ. හැබැයි මගේ කාර් එක ගොඩාක් ඩැමේජ් වුණා.

 

*අනතුර නිසා කිසිම ජයග්‍රහණයක් ලබාගන්නත් බැරිවුණා නේද?

ඔව් එදා දෙවැනි වටේදි මට තරඟයෙන් ඉවත්වෙන්න වුණා.

 

*අනතුර දැකලා ඔබේ පවුලේ අයත් සෑහෙන්න බයවෙන්න ඇති?

අම්මෝ ඔව්. එයාලා ගෙදර ඉඳලා ටිවී එකෙන් රේස් එක බැලුවේ. මගේ කාර් එක පෙරළෙද්දි එයාලා ගොඩාක් බයවෙලා. මං කාර් එකෙන් එළියට ආවට පස්සේ තමයි එයාලගේ ඒ බය ඇරිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අනතුරකදි ධාවකයට මුකුත් වෙන්න තියෙන ඉඩ අඩුයි. අපි ආරක්ෂිතයි. ඒත් ප්‍රේක්ෂකයා එහෙම නෑ. අනතුරක් වුණු ගමන් ඒ අය ඒක බලන්න ට්‍රැක් එක ළඟට දුවගෙන එනවා. ඒක හරි අනාරක්ෂිතයි.

 

*මෝටර් රථ ධාවනය කියන්නේම අනතුරු බහුල ක්‍රීඩාවක්. ඒ ගැන ඔබට කියන්න දෙයක් ඇති?

ඔව් අනතුරු බහුල ක්‍රීඩාවක්. ඒත් මම නිතරම උත්සාහ කරන්නේ අනතුරක් නොවී රේස් එක ඉවර කරන්න.

 

*කෞෂල්‍යාට මෝටර් රථ ධාවනය වගේ ක්‍රීඩාවක් කරන්න හිතුණේ?

2018 ඌව කුඩා ඔය කමාන්ඩෝ සුපර් ක්‍රෝස් එක බලන්න ගිහින් තමයි මට රේස් පදින්න ආස හිතුණේ. කොයිතරම් ආසවුණාද කිව්වොත් මං කාර් එකක් ඉල්ලගෙන ඒ අවුරුද්ද අවසානේ තිබුණු රොදහැම් කටුකුරුන්ද රේස් එකත් පැද්දා.

 

*මේ වෙනකොට මේ ක්‍රීඩාවෙන් ඔබ ලබාගෙන තියෙන හොඳම ජයග්‍රහණය මොකක්ද?

‘අයිස් බ්‍රේකර් ගජබා සුපර් ක්‍රෝස් 2022’ තරඟාවලියේ හතරවැනියා වුණා. 2022 මීරිගම චැම්පියන්ශිප් එකෙත් මං හතර වුණා.

 

*මෙවර ‘ෆොක්ස්හිල්’ තරඟාවලියේ එකම කාන්තා නියෝජනයත් ඔබ?

ඔව් මේ සැරේ මං විතරයි හිටියේ. තව ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූරියෝ 2ක් ඉන්නවා. ඒ ෂෙහාරා සැලෝමි ද සිල්වා සහ ලක්ෂිකා පතිරණ. ඒත් ෆොක්ස්හිල් එකට මේ සැරේ එයාලා ආවේ නෑ. ඒක නිසා පිරිමි තරඟකරුවෝ ගොඩාක් මැද මං තමයි එකම තරඟකාරිය වුණේ.

රුවන් එස්.සෙනවිරත්න