එදා ඒ නිව්ස් එක කියද්දි මගේ ඇස්වලින් කඳුළු පනින්න ආවා – භානුක කරුණාරත්න
රේණුක කරුණාරත්න කියන්නේ සහකාර පොලිස් අධිකාරිවරයෙක්. 1995 අවුරුද්දේ ඔහු මියගියා. ඒ වෙනකොට නැගෙනහිර අණදෙන නිලධාරිවරයෙක් විදියටයි ඔහු කටයුතු කරමින් හිටියේ. ඒ වෙනකොට ඔහුට ගජ ඉලන්දාරියෙක් හිටියා. තාත්තා වගේ ආරක්ෂක අංශයේ සේවය කරන්න හිතාගෙන උසස්පෙළ ඉවරවුණු හැටියේ මේ තරුණයා යුද හමුදාවේ සහ පොලිසියේ රැකියා සඳහා ඉල්ලුම් කළා. ඒත් යම් යම් හේතු නිසා ඔහුට ඒ මග වැහුනා. හැබැයි මේ කොල්ලට ඕනවුණේ තාත්තා වගේ රටට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් වෙන්න. ඒ වෙනුවෙන් ඊළඟට ඔහු තෝරගත්තේ මාධ්‍ය ක්ෂේත්රය. නිවැරදි තොරතුරු, වගකීමෙන් යුතුව සමාජගත කිරීමටයි මාධ්‍යවේදීන් රටකට අවශ්‍ය වෙන්නේ. ඒ වගකීම කරට ගත්තු මේ තරුණයා තමන්ගේ ගමන යන්න එක්තරා මාධ්‍ය නාලිකාවකට එකතුවුණා. ඒ වගේ මාධ්‍ය නාලිකා කීපයකම අත්දැකීම් ලබගනිපු ඔහු අන්තිමට ඇවිත් නතර වුණේ ලංකාවේ අංක එකේ රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා හිමි දෙරණ මාධ්‍ය ජාලයේ. දෙරණ ප්රවෘත්ති මැදිරියේ ඉඳන් ලෝකයේම තොරතුරු ඔබේ ආලින්දයට සමීප කරන ඔහු තමයි දෙරණ ප්රවෘත්ති නිවේදක භානුක කරුණාරත්න. අපේ මේ කතාබහ ඔහුත් එක්ක.
*භානුක කියන්නේ සම්මානලාභී ප්රවෘත්ති නිවේදකයෙක්. අපි එතැනින් කතාව පටන්ගනිමු?
ඔව්. 2023 සුමති සම්මාන උළෙලේ ලංකාවේ හොඳම රූපවාහිනී ප්රවෘත්ති නිවේදක විදියට දෙවැනි ස්ථානය මට ලැබුණා. ඇත්තටම ඒ සම්මානය හරිම විශේෂයි මට. හේතුව තමයි සම්මානය මට ලැබුණේ රූපවාහිනියේ ප්රවෘත්ති කියන්න අරගෙන අවුරුදු දෙකහමාරක් වගේ පොඩි කාලෙකින්.
*ඔබ ප්රවෘත්ති නිවේදකයෙක් වීමේ මුල කොතැනද?
මං මුලින් මාධ්‍ය නාලිකා කීපයක වැඩ කළා. මගේ තුන්වැනි මාධ්‍ය නාලිකාව තමයි දෙරණ. මං දෙරණට ආවේ 2018 අවුරුද්දේ. ඒ FM දෙරණට. ඇවිත් කෙටි කාලයකදි ප්රවෘත්ති සහ වැඩසටහන් නිවේදකයෙක් විදියට වැඩ කරන්න මට පුළුවන් වුණා.
*එතකොට TV දෙරණට සම්බන්ධ වෙන්නේ?
FM දෙරණේ වැඩ කරගෙන ඉන්නකොට TV දෙරණේ නිව්ස් කියන්න තිබුණු ස්ක්‍රීන් ටෙස්ට් එකකට ගියා. ටික දවසකින් එහි සාමාන්‍යාධිකාරි වසන්ති නානායක්කාර මහත්මිය මට කතා කරලා කිව්වා පුතේ හෙට උදේ 11.00 නිව්ස් එකට ඔයාව දාලා ඉන්නේ එන්න කියලා. ඒ නිව්ස් එක මම ගොඩදාගත්තොත් දිගටම වැඩේ කරන්න ලැබෙයි කිව්වා. වාසනාවකට වගේ හොඳ විදියට හැමදේම වුණා. දැන් TV දෙරණ, FM දෙරණ, අද දෙරණ සහ අද දෙරණ 24 ප්රවෘත්ති ඉදිරිපත් කරනවා. ඊට අමතරව දෙරණ නාලිකාවේ සෙනෙහස, චැලෙන්ජ්, අනාගතයට ඉඩක් වගේම Biz 24 ඇතුළු වැඩසටහන් කීපයක්ම කරනවා.
*මොන වැඩසටහන් කළත් භානුක කරුණාරත්න කියන නම රටේ ප්‍රසිද්ධ ප්රවෘත්ති නිවේදකයෙක් විදියට නේද?
(සිනාසෙමින්) ඒක නම් ඇත්ත. ගොඩාක් අය මාව දන්නේ ප්රවෘත්ති නිවේදකයෙක් විදියට තමයි.
*ප්රවෘත්ති කියද්දි භානුකට යම් යම් අකරතැබ්බ එහෙම වෙලා නැද්ද?
මොකද නැත්තේ, එහෙම දේවල් සෑහෙන්න වෙලා තියෙනවා. තාක්ෂණික දෝෂ නිසා තමයි එහෙම දේවල් වෙන්නේ. දවස් කීපයක්ම වගේ ප්රවෘත්ති කිය කියා ඉන්නැද්දි මගේ ඉස්සරහා ස්ක්‍රීන් එක ඕෆ් වුණා. ඒ හැම වතාවකම මතකෙන් නිව්ස් එක කියාගෙන ගියා.
*හරිම අපහසුවෙන් කියපු ප්රවෘත්ති එහෙම තියෙනවද?
දෙරණ ප්රවෘත්ති මැදිරියේ මට හිතවත් කැමරා ශිල්පියෙක් හිටියා. ඔහු හදිසියේ අපි අතරින් වෙන්වුණා. ඔහුගේ මරණය ගැන මට නිව්ස් එකක් කියන්න තිබුණත් ඒ නිව්ස් එක කියද්දි මගේ ඇස්වලින් කඳුළු පනින්න ආවා. ඊටපස්සේ ඒ නිව්ස් එක කිව්වේ මං එක්ක එදා නිව්ස් කියපු නිවේදිකාව.
*භානුකගේ හඬට වශීවෙලා ඔෆිස් එකට නිර්නාමික නම්වලින් තෑගිබෝග එන කතාව ඇත්තද?
(සිනාසෙමින්) එහෙම දේවල් වුණු දවසුත් තිබුණා. මල්, තෑගිබෝග, කෑමබීම තමයි එහෙම වැඩිපුරම ආවේ. දෙරණ නිවේදක නිවේදිකාවෝ හැමෝටම වගේ ඒ ආදරේ ලැබෙනවා. සමහරු අපිව බලන්න ඔෆිස් එකට එන වෙලාවලුත් තියෙනවා.
*‘ගී ලියන්න හුරු කෙරුවේ ඔබේ නෙතයි, කවි ලියන්න හුරු කෙරුවේ ඔබේ නෙතයි’ කියලා සිංදුවක් අහලා තියෙනවද?
(සිනාසෙමින්) ඔව් අහලා තියෙනවා. ඒත් එක්කම මට හිතාගන්න පුළුවන් ඊළඟට මොකක්ද අහන්න යන්නේ කියලා.
*ඔබ මුහුණුපොතේ නිතර නිතරම කවි ලියනවා. භානුකටත් එහෙම කවි ලියන්න හුරු කරපු කෙනෙක් හිටියද?
එහෙම නෑ. මං පොඩි කාලේ ඉඳන්ම කවි ලියනවා. මං මගේ බොහෝමයක් හැඟීම් එළියට දාන්නේ කවියෙන්. මට ඕන කවිය හරහා ඒ හැඟීම් මිනිස්සු එක්ක නිතරම බෙදාගන්න.
*ජීවිතේ දිහා ආපහු හැරිලා බලද්දි භානුකට අද මොකද හිතෙන්නේ?
ජීවිතය දිහා ආපහු හැරිලා බලද්දි මට මගේ ගැන හරිම සතුටක් දැනෙනවා. ඒ මං දැන් රටට අත්‍යවශ්‍යම පුද්ගලයෙක් වෙලා කියලා දැනෙන හින්දා. ඉතින් මම මේ වෙලාවේ දෙරණ පවුලේ සියලුදෙනා මතක් කරන්න ඕන. ඔවුන් නිසා තමයි ‘භානුක කරුණාරත්න’ හිතාගන්න බැරි වේගෙකින් මෙච්චර දුරක් ආවේ. දෙරණ පවුලට එකතුවීම මං ලබපු ඉතා ලොකු භාග්‍යයක් කියලයි මට අද හිතෙන්නේ.
රුවන් එස්.සෙනවිරත්න