චීන කුමරියන් පිස්සු වැට්ටූ ලංකාවේ මල් කුමාරයා
මිතුරන් සමඟ දිගු කලක් තිස්සේ නුවරඑළියේ විනෝද චාරිකාවක් යාමට කතාබහ කරගෙන තිබුණද එහි යන්නට ලැබුණේ ගිය දෙසැම්බරයේය. හිමිදිරි උදෑසනම ගමන පිටත් වූ නිසා ගම්පොළ පහුකරද්දී යන්තම් හිරු රැස් වැටෙන්නට පටන්ගෙන තිබිණි. උදේ නවයකුත් ගාණට අප සිටියේ රම්බොඩ පසුකරමින් කොන්ඩගල හරියේය. අප ඉදිරියෙන් ධාවනය වෙමින් තිබුණේ විදේශිකයින් රැගස් බස් රථයකි. ඒත් සමඟම කොහෙන්දෝ මතුවූ කාලවර්ණ තරුණයෙකු එම බස් රථය පිටුපසින් කඟවේනකු මෙන් දුවයන්නට විය. ඔහු අත වූයේ මල් පොකුරකි. ඔහු දිව ගියේ එම මල් පොකුර බස් රථයේ උන් විදේශිකයින්ට අලෙවි කිරීමේ අදහසින් වුවද මට මතක විදියට ඔහුට ඒ බස් රථය අල්ලා ගැනීමට නොහැකි විය. එහෙත් ඒ වෙනුවෙන් තරුණයා කිලෝමීටර් හතර පහක් දිව්වේය. ඒ මොහොතේ අපට ඔහු ගැන අනුකම්පාවක් ඇතිවුවද දින දෙක තුනකින් අපට ඔහුගේ රුව මතක නැතිවිය.
ඉන් මාස පහකට පසු, එනම් පසුගිය කම්කරු දිනය දා මුහුණුපොතේ සැරිසරද්දී මල් පොකුරක් ගෙන බස් රථයක් පිටුපසින් දුවන තරුණයෙකුගේ වීඩියෝවක් මට හමුවිය. ඔහු හඳුනාගැනීමට මට අපහසු වූයේ නැත. ඒ එදා අප නුවරඑළි යනවිට දුටු තරුණයාය. පසුව දැනගන්නට ලැබුණේ ඔහුගේ එම වීඩියෝව චීනය තුළ පමණක් කෝටි 13කට අධික පිරිසක් නරඹා ඇති බවය. ඔවුන් ඒ තරුණයා හඳුන්වා තිබුණේ ලංකාවේ මල් කුමාරයා යනුවෙනි.
“ඔය මල්ලි ඉන්නේ නුවරඑළිය පාරේ පලාගොල්ල කියන ගමේ. මේ දවස්වල කොල්ලා ප්‍රසිද්ධ නිසා හැමෝම වගේ දන්නවා. අල්ලගන්න අමාරුවෙන්නේ නෑ. හැබැයි එයා බිස්නස් එකට යන්න කලින් ගෙදරට යන්න.”
නුවරඑළියේ මිතුරෙකු කී කතාව අසමින් පසුගිය ඉරිදා චීන කුමරියන් පිස්සු වැටුනු ලංකාවේ මල් කුමාරයා සොයා මම නුවරඑළියේ පලාගොල්ලට ගියෙමි. තරුණයාගේ නිවසේ ලිපිනයක් නොතිබූ නිසා ඒ ගමන යන්නට වූයේ පාර අසාගෙනය. ඒත් මල් කුමාරයා දැන් ප්‍රසිද්ධ චරිතයක් නිසා ඔහුගේ නිවස සොයා ගැනීමට අපහසු වූයේ නැත. මා යනවිටත් ඔහු රැකියාවට යාමට ගෙයින් එළියට බැස්සා පමණි.
“ආ මල් කුමාරයා, බිස්නස් එකට යන්න වෙන්න ඇති…”
පිළිතුර සිනහවකි. එදින නිවාඩු දිනයක් නිසා තරුණයාව ප්‍රමාද කිරීම ඔහුගේ පැත්තෙන් පාඩුවකි. මන්ද ඉරිදා යනු විදෙස් සංචාරකයින් බහුල දිනයකි.
“දැන් සති දෙක තුනකට උඩදි මං මල් විකුණන්න විදෙස් සංචාරකයෝ ගියපු බස් එකක් පිටිපස්සේ දිව්වා. ටික දුරක් ගිහින් ඒක නැවැත්තුවා. ඒකේ හිටියේ තායිලන්ත සංචාරකයෝ පිරිසක්. ඒ අය මගෙන් එදා රුපියල් 7000ක විතර මල් ගත්තා. ඒ වෙලාවේ එයාලා මාව වීඩියෝ කරලා. ඒ වීඩියෝව තමයි චීනයේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. හරිම සතුටුයි ඉතින්.”
ටික්ටොක්, ෆේස්බුක් ඇතුළු දෙස් විදෙස් සමාජමාධ්‍යයන්හි එම වීඩියෝව ප්‍රසිද්ධ වී තිබුණේ විදුලි වේගයෙනි. එය නැරඹූ චීන ජාතිකයින් ඒ වීඩියෝවට යටින් දහස් ගණනින් සිය ප්‍රතිචාරයන් පළකර තිබූ අතර පහළින් ඇත්තේ ඉන් කිහිපයකි.
“එයා බලන්න ශ්‍රී ලංකාවට යන්න ආස හිතුණා. ඒ වෙන දෙයක් හින්දා නෙවෙයි එයාගේ දිළිසෙන ඇස් නිසා.”
“මං මැයි මාසේ ලංකාවට යන්න කියලා තීරණය කළා. ඒ මල් විකුණන මල්ලිගේ හිනාවයි මලුයි හින්දා.”
“එයා හරිම කෙට්ටුයි. ජීවිතයට ආදරය කරන ගොඩක් වෙහෙස මහන්සි වෙන ඔහු ඇත්තටම කඩවසම්. මං දවසක ලංකාවට ගියොත් එයාගේ ඒ මල්වලට කැමති වේවි. එයාව අඳුනගන්නත් මම ආසයි.”
“එයා හරි උත්සාහවන්ත කොල්ලෙක්. ඒ හින්දා එයත් එක්ක සෙල්ෆියක් ගහන්න මං ඉක්මණින්ම ලංකාවට යනවා.”
චීනයේ ආදරය දිනාගත් මේ මල් කොල්ලා දිලීප් මදුසංක ය. තවමත් 18 හැවිරිදි වියේ පසුවෙන ඔහුගේ පදිංචිය නුවරඑළිය පාරේ පලාගොල්ලේය. පියා හැරුණුවිට ඔහුට සිටින්නේ වැඩිමල් සහෝදරියන් දෙදෙනෙක් මෙන්ම බාල සහෝදරයෙකි.
“මං ඉස්කෝලේ ගියේ අට වසරට. අපේ ගෙදර තිබුණු ආර්ථික ප්‍රශ්න හින්දා මට ඉස්කෝලේ නොගිහින් ගෙදරට හයියක් වෙන්න හිතුවා. මං මල් විකුණන රස්සාව පටන්ගත්තේ එහෙමයි.”
දිලීප්ට වයස දෙකහමාරක් වනවිට ඔහුගේ මව ඔවුන් හැරදමා ගොස් තිබේ. ඉන්පසු දිලීප්ට අම්මා වී ඇත්තේ ආච්චීය. එනම් දිලීප්ගේ පියාගේ මවය.
“මං ඉස්කෝලේ යන කාලේ ඉඳන් මල් විකුණුවා. ඒ කාලේ හවසට තමයි. ඒත් ඉස්කෝල ගමන නැවැත්තුවට පස්සේ දවසම පාරේ ඉන්නේ. ගමේ ගෙදරකින් මල් ගන්නේ. ඩේලියා, ඇස්ටමේරියා වගේ මල් තමයි විකුණන්නේ. ඊටපස්සේ කැලේට ගිහින් කොළ හොයාගෙන ඇවිත් මල් පොකුරු හදලා පාරට අරන් ගිහින් විකුණනවා.”
දැන් අට වසක් පුරාවට නුවරඑළිය මහනුවර ප්‍රධාන මාර්ගයේ කොන්ඩගල ප්‍රදේශයේ ඉහළ පහළ දුවමින් දිලීප් මල් විකුණයි. එය හිතන තරම් පහසු වැඩක් නොවේ. හේතුව එක මලක් විකිණීමට ඔහුට ඇතැම් වාහන පිටුපස කිලෝමීටර් හතර පහ දිවයන්නට පවා සිදුවීමයි.
“එහෙම දිව්වොත් තමයි මට බිස්නස් තියෙන්නේ. මං මෙහේ කෙටි පාරවල් එහෙම හොඳට දන්නවා. පිටිපස්සෙන් දුවලා වාහනයක් අල්ලගන්න බැරිව ගියොත් ඒ කෙටි පාරවල්වලින් දුවලා ගිහිල්ලා වෙන තැනකින් හරි ඒ වාහනේ අල්ලගන්නවා. දවසක මලක් දෙකක් විකුණගත්තොත් තමා ඉතින් ඊළඟ දවසේ අපේ බඩවල් පිරෙන්නේ.”
ඒ කතාවෙන් පසු දිලීප්ව තවත් මගේ ළඟින් රඳවාගැනීමට හිත ඉඩ දුන්නේ නැත. ඒ නිසා මම ඔහුගෙන් අවසන් වරට තවත් ප්‍රශ්නයක් ඇසුවෙමි. ඒ චීනය තුළ ඔහු ජනප්‍රිය නිසා බැරි වෙලා හෝ චීනයට පැමිණෙන ලෙස ආරාධනයක් ලැබුණොත් දිලීප් චීනය බලා යන්නේද කියාය.
“අනේ මගේ පවුලේ අය, මගේ යාළුවෝ දාලා එහෙම යන්න බෑ. ඇත්තටම මං මේ රස්සාව කරන්නේ සතුටින්. මගේ එකම බලාපොරොත්තුව ගේ හදාගන්න එක.”
එසේ කී දිලීප් එදින විකිණීමට සකසාගත් මල් පොකුරු රැගෙන මට සමුදෙද්දී මා හැරුනේ ඔහුව මවක මෙන් බලාගත් දිලීප්ගේ ආච්චි අම්මා වෙතය. ඇය 63 හැවිරිදි ජී.ජී.ධනවතී ය.
“දිලීප් පුතා ගතිගුණ අතින් පොහොසත් වැඩි කලබල නැති දරුවෙක්. වයස 18ක් වුණාට තාම පොඩි එකෙක් වගේ. දිලීප් තාම නිදාගන්නෙත් මං ගාව. අම්මා දාලා ගියාට පස්සේ මං තමයි අම්මෙක් වගේ එයාව බලාගත්තේ. එයාගේ තාත්තාටත් අසනීපයි. ඒ කියන්නේ ඇස් පේන්නේ නෑ. ඇස් දෙකටම කාච දාලා තියෙන්නේ. ඒ කාලේ එයා එළවළු බිස්නස් කළා. දැන් කුලී වැඩ කරනවා. ඒත් තාත්තා කුලීවැඩ කරන්න යනවට දිලීප් කැමති නෑ. යන්න එපා කියනවා. මටත් ඇවිදගන්න බෑ. අපි හැමෝම බලාගන්නේ දිලීප් පුතා තමයි.”
අව්ව වැස්ස තඹ සතේකට මායිම් නොකොට මුණුපුරා කරන මල් රස්සාව ගැන ධනවතීගේ හිතේ පුංචිපහේ දුකක් වේදනාවක් තිබුණද මේ වනවිට ඔහු රටේම තරුවක් වී ඇති එක සම්බන්ධව නම් දිලීප්ටත් වඩා සතුටු ඇයටය.
“දැන් දවස් කීපයකට කලින් එයා කවුද මහත්තයෙක් එක්ක ඇවිත් ආච්චි මේ බලන්නකෝ කියලා වීඩියෝ එකක් මට පෙන්නුවා. මං බයවුණා. පස්සේ තමයි මං දැනගත්තේ ඒකෙ ඉන්නේ අපේ දිලීප් කියලා. ඒ වීඩියෝ එක චීනේ කට්ටිය කෝටි 13ක් බලලලු. ඒ වෙලාවේ මට ඇතිවුණු සතුට මෙහෙමයි කියලා විස්තර කරන්න නම් බෑ. මේ ඊයේ පෙරේදා මම දැක්කා එහේ අය පුතා මල් විකුණන පින්තූරත් ඇඳලා තියෙනවා.”
මේ අතර දිලීප්ගේ වීඩියෝව නැරඹූ චීන ජාතිකයින් අතරින් ඇතැමුන් දිලීප්ට තෑගිබෝගද එවා තිබිනි.
“පුතා ප්‍රසිද්ධ වුණාට පස්සේ එයා බලන්න ගොඩාක් විදේශිකයෝ ආවා කියලා පුතා කිව්වා. ඒ අය තෑගිබෝගත් දීලා. මේ ඊයේ පෙරේදා එයාට හොඳ ෆෝන් එකක් තෑගි ලැබිලා තිබුණා. ඇඳුම් පැළඳුම්, කෑමබීම එහෙමත් ලැබිලා තිබුණා. හැබැයි ඊටත් වඩා එයා සතුටුවෙන්නේ මේ සිදුවීමෙන් පස්සේ එයාටයි මල් විකුණන දිලීප්ගේ යාළුවන්ටයි බිස්නස් සරුවුණු එක ගැන.”
ධනවතීට මුණුපුරා ගැන කියන්නට කතා එමටය. එහෙත් ඇය මොහොතක් සංවේදීවෙමින් පැවසුවේ ඇතැම් දිනවල දිලීප් නිවසට පැමිණෙන විදිය ගැනය.
“එයා උදේ හතට අටට විතර ගෙදරින් යන්නේ. ආයෙත් එන්නේ හවස හයට හතට විතර. අනේ සමහර දවස්වලට ගෙදර එන්නේ වාහන පස්සේ දුවද්දි මහපාරේ වැටිලා දණහිස් දෙක තුවාල කරගෙන. එදාට එන්නේ ආච්චි කකුල තුවාල වුණා බෙහෙත් ටිකක් දාන්නකෝ කියාගෙන.”
*මුණුපුරා කොච්චර කිව්වත් හදාගන්නේ නැති වරදක් එහෙම තියෙනවද?
“ගෙදර ඉන්න වෙලාවට ෆෝන් එකේම තමයි. අම්මේහ් ඉතින් රෑ එළිවෙනකල් හරි ඒක ඔබ ඔබ ඉඳියි.”
විදෙස් තරුණියන්ද කළු, කෙට්ටු එහෙත් කඩවසම් මේ ඉලන්දාරියා ගැන සෑහෙන්න උනන්දුය. ඔවුන් දිලීප්ගේ චිත්‍ර පවා ඇඳ සමාජ මාධ්‍යයට මුදා හැර තිබේ. ඒ විතරක් නොව කෝටි 13ක නැරඹුම් වාර ඇති දිලීප්ගේ මල් විඩියෝවට වැඩිපුරම ප්‍රතිචාර දක්වා ඇත්තේ තරුණියන්ය. ඒ අතර වූ එක් කමෙන්ටුවක මා දුටුවේ තරුණියක් දිලීප් සමඟින් සෙල්ෆියක් ගැසීමට ඉක්මණින් මෙරටට පැමිණෙන කතාවකි. ඉතින් නිකමට මෙන් දිලීප්ට පෙම්වතියක් නැද්දැයි මම ධනවතීගෙන් අවසානයට ඇසුවෙමි. මහහඬින් සිනාසී ඇය මෙසේ පැවසුවාය.
“එයාට තාම එහෙම සම්බන්ධයක් නෑ මං හිතන්නේ. ඒත් මං විහිලුවට වගේ සමහර වෙලාවට කොල්ලට ඇහෙන්න කියනවා, දැන් චීන ගෑනු ළමයෙක්වත් ගෙදරට එක්ක එයිද දන්නෑ කියලා. ඒ වෙලාවට කියනවා අනේ ආච්චි මඟුලක් කතා කරන්න එපා කියලා.”
පසුගිය වසරේ මෙරටට ආ විදෙස් සංචාරකයෙක් පිටකොටුවේ වීඩියෝවක් කරද්දී වීදි ගණිකාවන් දෙදෙනෙකු එම කැමරාවට හිස ඔබා කියූ අපුල කතාවක් මීට මාස දෙක තුනකට උඩදී සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ විය. නිකන් හෝ ඒවා විදෙස් රටවල ප්‍රසිද්ධවූවා නම් මේ රටේ සංචාරක ව්‍යාපාරයට සිදුවෙන දේ සිතාගත හැකිය. එහෙම උන්දැලා ඉන්න රටක දිලීප්ලා රටට ආඩම්බරයකි. මන්ද ඔහු දැන් මෙරට සංචාරක කර්මාන්තයේ සංකේතයක් වී හමාරය. එදා නුවරඑළිය ගමන හමාරකොට අප නැවත කොළඹ බලා ආපසු එන්නට විය. ඒ එන අතරතුර මම මගදිගට දිලීප් ඉන්නවාදැයි මා බැලුවෙමි. ඔහු නැත. එහෙත් ටික දුරක් යනවිට මා දුටුවේ සංචාරක බස් රථයක් පිටුපසින් කඟවේනකු මෙන් වේගයෙන් දුවන දිලීප්ය. පුදුමය නම් මේ කොල්ලාට හරි නොගියොත්ය.
රුවන් එස්.සෙනවිරත්න