නවතම ප්‍රවෘත්ති

දක්ෂ නැත්නම් විදෙස් රටක ලොකු ප්‍රසංගයකට මට ආරාධනා ලැබෙයිද? – ශෙහානි කහඳවල

ප්‍රියංකා චොප්රා ඉපදුණේ 1982 අවුරුද්දේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජාම්ෂෙද්පූර්වල. ඇයගේ දෙමව්පියන් ඉන්දියාවේ යුද හමුදා වෛද්‍යවරුන්. ඒක නිසා ඇයගේ පුංචි කාලය හිතපු තරම් සුන්දර එකක් වුණේ නෑ. මොකද ඇයටත් දෙමව්පියන්ගේ රැකියාව නිසා ගෙවන්න වෙලා තිබුණේ සංක්‍රමණ ජීවිතයක්. ඒක නිසාම ඇය 1995 අවුරුද්දේ ඇමරිකාවේ මැසචුසේ ප්‍රාන්තයේ වෙසෙන නැන්දණිය ළඟට යන්න තීරණය කළා. ඒ වෙනකොටත් ඇගේ එකම හීනය වෙලා තිබුණේ ගගනගාමී ඉංජිනේරුවරියක් වෙන එක. හැබැයි ඇයට ඒ හීනයට යන්න පුළුවන් වුණේ නෑ. ඒ අතරේ තමයි ප්‍රියංකා ඉන්දියානු රූ රැජින තරඟයට ඉදිරිපත් වුණේ. තරඟය ජයග්‍රහණය කළ ප්‍රියංකා චොප්රා අවසානෙදි නැවතුනේ 2000 අවුරුද්දේ ‘ලෝක රූ රැජිණ’ (Miss World) තරඟයත් ජයග්‍රහණය කරලා. ඒ ජයාග්‍රාහී ගමන ගැන ප්‍රියංකා මාධ්‍යයට එදා කියලා තිබුණේ මෙන්න මෙහෙම කතාවක්.

“අපි හරි ආසාවෙන් ඉන්න සමහර හීන අපට අත්හැරෙනවා. එතකොට දුකයි. ඒ වුණත් නොහිතපු දොරවල් විවෘත වෙලා අපේ ගමන ඊටත් වඩා ලස්සන වෙන්න පුළුවන්. මටත් වුණේ ඒක. දැන් මං රටක් දන්න ජනප්‍රිය නිළියක්.”

මට ප්‍රියංකගේ කතාව මතක් වුණේ ප්‍රියංකට වගේම අහස අල්ලන හීනයක් තිබුණු එක යුවතියක් අද ඉන්න තැන ගැන දැකලා. ඒ කාලේ ඇගේ ලොකුම හීනය වෙලා තිබිලා තියෙන්නේ ගුවන් සේවිකාවක් වෙන එක. ඒත් ඒ සඳහා නියමිත උස නොතිබුණු නිසා ඇයට ඒ හීනය අත්හැර ගන්න වෙලා. හැබැයි උස අඩු වුණාට රුව අඩු නැති නිසා ප්‍රියංකාට වගේම ඇයටත් අලුත් දොරක් විවෘතවෙලා තිබුණා.

මුලින් ඇයට ෆොටෝ ශූට්වලට ආරාධනා ලැබිලා. ඊටපස්සේ මියුසික් වීඩියෝවල රඟපාන්න ආරාධනා ඇවිත්. එයින් ලැබුණු ජනප්‍රියත්වය එක්ක තමයි ඇයට ‘TV දෙරණ’ නාලිකාවේ නිවේදිකාවක් වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඒ 2013 අවුරුද්දේ. ඊටපස්සේ ඇයට දෙරණ නාලිකාවේ විකාශනය වුණු ‘ඇසිඩ්’ ටෙලිනාට්‍යයේ රඟපාන්නත් අවස්ථාවක් උදාවෙලා. ඊටත් පස්සේ සිරස නාලිකාවේ විකාශනය වුණු ‘සුජාතා’ ටෙලිනාට්‍යයේ රඟපාන්නත් අවස්ථාව හිමිවෙලා. ගුවන් සේවිකාවක් වෙන්න හීන මාලිගා හදපු මේ තරුණිය රටේ ජනප්‍රියම නිළියක් බවට පත්වුණේ අන්න එහෙමයි. දන්නවද අපි මේ කියන්නේ කවුරු ගැනද කියලා. ඇය තමයි මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වෙන ‘සල්ලි පොකුරු’ ටෙලිනාට්‍යයේ ‘නිශී’ කියන තරුණියගේ චරිතයට පණ පොවන ශෙහානි කහඳවල. මෙවර ‘ධරණී’ මුල් පිටුව සරසන්නෙත් ශෙහානිමයි. 

“දැන් මං මේ ක්ෂේත්‍රයට අඩිය තියලා අවුරුදු 10ක් විතර වෙනවා. ලොකුම සතුට තමයි කලා ක්ෂේත්‍රය තුළ මටම කියලා පැවැත්මක් හදාගන්න පුළුවන් වුණු එක. ඒක ලේසි වැඩක් නෙවෙයි. මං හිතන්නේ කෙනෙක්ගේ පැවැත්ම තීරණය කරන සාධකය වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ ජනප්‍රියත්වය. ඒ කියන්නේ ජනතාවට ප්‍රියවීම. ඒක හදාගත්තම කාට වුණත් ඉබේම පැවැත්මක් හැදෙනවා. කොටින්ම රඟපෑවේ නැතත් මිනිස්සු ඒ පුද්ගලයා ගැන කතා කරනවා. මං හිතන්නේ මට ලැබුණු ජනප්‍රියත්වය එක්ක මටත් රංගන ක්ෂේත්‍රයේ පැවැත්මක් හදාගන්න පුළුවන් වුණා කියලා.” 

හැබැයි ‘ජනප්‍රියත්වය’ කියන එක තමන් රඟපාන චරිත හෝ නාට්‍යය ප්‍රමාණයට සාපේක්ෂ නෑ කියලයි ෂෙහානි අපිට කිව්වේ. 

“ජනප්‍රියත්වය කියන දේ ලබාගන්න ලේසි නෑ. ඒකට දක්ෂතාවය විතරක් තිබුණට මදි. වාසනාවත් තියෙන්න ඕනේ. මට හිතෙනවා ඒ අතින් මං හරි වාසනාවන්තයි කියලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ජනප්‍රියත්වය කියන දේ නිදහසට බාධාවක්නේ කියලා. හැබැයි රසික ආදරේ හරියට විඳින කෙනෙක් නම් කවදාවත්ම එහෙම හිතන්නේ නෑ.”

රංගන ක්ෂේත්‍රය කියන්නේ නිතර නිතරම අලුත් මුහුණු එන තැනක්නේ. ඒ එක්ක අලුත් නිළියන් රංගන ක්ෂේත්‍රයට පැමිණීම ශෙහානිට යම් අභියෝගයක්ද කියලත් අපි ඇහුවා.

“රංගන ක්ෂේත්‍රය ගත්තම අලුත් අයත් එන්න ඕනේ. ඒ හරහා තමයි මේ රංගන ක්ෂේත්‍රයේ පැවැත්ම කියන දේ තීරණේ වෙන්නේ. හැබැයි කිසිම කෙනෙක් මම අභියෝගයක් විදියට දකින්නේ නෑ. ඒකට හේතුව තමයි මං මට ලැබෙන චරිතයක් සියයට දාහක්ම කැපවෙලා කරන එක. ඒ කැපවීම තියෙනවා නම් අපේ වෘත්තිය මොකක් වුණත් අභියෝග එන්නේ හරිම අඩුවෙන්. ඒ ආවත් මූණදෙන්න පුළුවන්.”

රංගන කටයුතු අස්සෙම ශෙහානි අලුත් වැඩකටත් අතගහලා කියලා අපි දැක්කා. ඒ ගායන ශිල්පිනියක් විදියට ප්‍රසංග වේදිකාවට පැමිණීම. ඒක නිසාම මේ වෙද්දි ෆේස්බුක්වල ටික්ටොක්වල ජනප්‍රියම මාතෘකාවත් ශෙහානි. ඒ ගැන ශෙහානි කිව්වේ මෙහෙම කතාවක්.

“විදෙස් සංගීත ප්‍රසංගයක සිංදු කියන්න ආරාධනා ලැබුණා. ඒ ආරාධනාව බාරගන මං ඒකට ගියා. සිංදුත් කිව්වා. ප්‍රතිචාරත් හොඳට ලැබුණා. එදා සිංදු කියපු වීඩියෝස් කීපයක් තමයි මේ ටිකේ සමාජමාධ්‍යවල වෛරල් වෙලා තියෙන්නේ. දැන් දිගටම නොහිතපු විදියට ප්‍රසංගවලට ආරාධනා එනවා. රංගන වැඩකටයුතුවලට කිසිම හානියක් නොවෙන්න ඒ වැඩවලටත් මේ ටිකේ සහභාගි වෙනවා.”

හැබැයි ශෙහානි ප්‍රසංග වේදිකාවට නැගලා සිංදු කියපු එක සම්බන්ධයෙන් රටේ ජනප්‍රිය කලාකරුවන් කීපදෙනෙක් ඇයව විවේචනයට ලක්කරලා තිබුණා. ඒ සංගීත ක්ෂේත්‍රය ගැන කිසිම හැදෑරීමක් නොකර ඇය ගායන ක්ෂේත්‍රයට පැමිණි බව කියමින්. අපි ඒක ගැනත් ඇයගෙන් අහලා බැලුවා.

“මිනිස්සුන්ට ඔය ඕන දෙයක් කියන්න පුළුවන්. මොකද ඒක ඒ අයගේ කැමැත්ත. ඒවා නවත්තන්න බෑ. හැබැයි මං ඒවාට උත්තර දෙන්න කාලය මිඩංගු කරන්නේ නෑ. මොකද මං ගැන දන්නේ, මට පුළුවන් දේවල් බැරි දේවල් ගැන දන්නේ මං විතරයි. ඒ නිසා මං මගේ පාඩුවේ මගේ ගමන යනවා. ඒ වගේම කියන්න ඕන ශාස්ත්‍රීය මට්ටමින් සංගීතය හදාරලා නැති වුණාට පාසල් කාලේ ඉඳන්ම සංගීතය ගැන මං යම් යම් හැදෑරීම් සිදුකරලා තියෙනවා. මට මතකයි පාසල් ගායන තරඟවලින් පවා මං ජයග්‍රහණය කළා. ජන ගායනා තරඟ තිබ්බොත් පළවැනියා මමමයි. අනික මගේ තාත්තා සංගීතයට හුඟාක් ලැදි කෙනෙක්. තාත්තගේ පවුලේ හැමෝම ඒ වගේ. එච්චර ඕනත් නෑ. මගේ පොඩි හරි දක්ෂකමක් නැත්නම් මට විදෙස් රටක ලොකු ප්‍රසංගයකට ආරාධනා ලැබෙයිද?”

 

*මගේ මතකය නිවැරදි නම් ඔබ සැරයක් ගීතයකුත් කළා. එහෙම නේද?

“ඔව්. 2020 අවුරුද්දේ මම ‘උන්මාදෙන්’ කියලා මගේම ගීතයක් එළිදැක්වුවා.”

ශෙහානි හිනාවෙලා එහෙම කියද්දි තරුණියකට පෙනුම කොච්චර වැදගත්ද කියලා අහලා බලන්න හිතුණේ රංගන ශිල්පිනියක් විදියට, ගායන ශිල්පිනියක් විදියට ශෙහානිගේ පෙනුමට ලැබෙන ඒ ආකර්ශනය දැකලා.

“තරුණියකට පෙනුම වැදගත්. හරියට ඒක ආභරණයක් වගේ. හැබැයි පිටට පේන දේම නෙවෙයි මෙතැනදි පෙනුම කියන්නේ. තරුණියක් වුණාම බාහිරින් වගේම අභ්‍යන්තරය පෙනුම ගැනත් හිතන්න ඕන. අපි බලන්න ඕන මොන ප්‍රශ්නයක් ආවත් සතුටින් ඉන්න. එහෙම ඉන්න බැරි වුණොත් අන්න අපේ පෙනුමට ඒකෙන් හානිවෙනවා. එතකොට කුරුලෑ එනවා, කොණ්ඩේ යනවා වගේ දේවල් වෙනවා. ඇත්තම කතාව මං ලොකුවට සැලුන් යන කෙනෙක් නෙවෙයි. හැබැයි මං බාහිරින් වගේම අභ්‍යන්තරයෙනුත් පෙනුම ගැන හිතනවා.”

ඒ වගේම රූපය තිබුණු පලියට කිසිම තරුණියක් ලස්සන නෑ කියලත් ශෙහානි කිව්වා. තරුණියකගේ සැබෑ ලස්සන මතුවෙන්න නම් ඒ තරුණිය රූපයෙන් විතරක් නෙවෙයි ගුණධර්ම අතිනුත් සෑහෙන්න පොහොසත් වෙන්න ඕනේ කියන කතාවයි ශෙහානි ඒකෙන් අදහස් කළේ.

ශෙහානිගේ ගෙවල් තියෙන්නේ කඩුවෙල. ඇයගේ අම්මයි තාත්තටයි ඉන්න එකම දෝණියැන්දා ශෙහානි. ඒ නිසා පවුලේ ආදරේ ඕනෑවටත් වැඩිය ලැබෙනවා කියලයි ශෙහානි ‘ධරණී’ට කිව්වේ. ජීවිතේ ලොකු ලොකු පැසසුම් නැති වුණත් මේ ගෙවෙන මොහොත සතුටින් ගතකරන එක තමයි ලොකුම බලාපොරොත්තුව කියපු ශෙහානි ‘ධරණී’ කියවන ඔබ වෙනුවෙන් මෙන්න මෙහෙම කතාවකුත් අවසානෙට කිව්වා.

“ගැහැනු අපේ ජීවිතය හරියට ගඟක් වගේ කියලයි මට හිතෙන්නේ. අපි අපේ පාඩුවේ ගලාගෙන යනකොට නොයෙක් බාධක අතරමඟදි මුණගැහෙනවා. අන්න ඒ වෙලාවට හුඟාක් අය කරන්නේ කලබල වෙන එක. මමත් නොකිව්වට හුඟාක් ප්‍රශ්නවලින් තැලුනු පොඩිවුණු කෙනෙක්. ඒත් මං එක දවසක් තේරුම්ගත්තා බාධකය අඳුරගෙන ගඟක් වගේ ඉස්සරහට ගලාගෙන යන්නේ කොහොමද කියන එක. ඒකට තමන්ට තමන් ගැන විශ්වාසයක් තියෙන්න ඕනෑ. තමන් තමන්ට ආදරේ කරන්න ඕනෑ. ඒ නිසා මොන බාධක ආවත් තමන්ගේ ගමනාන්තය හමුවෙන තුරු නොනැවතී ගලන ගඟක් වගේ ගලන්න.”

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක