නවතම ප්‍රවෘත්ති

මේ ලැබෙන ආදරේ මට හිතාගන්න බෑ – කාංචනා අනුරාධි

 

‘කරකාර බඳින්නට කාලේ හොඳා

බහ දුන්නොතින් ආල හිතින්…’

 

මේ ගීතය ප්‍රවීන ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතාගේ ගීතයක් වුණාට මීට ටික කාලෙකට උඩදී නවක ගායිකාවකගේ හඬින් ඒක වෙනස්ම රහකට ඇහෙන්න පටන්ගත්තා. එදා ලොකු පොඩි කවුරු කවුරුත් කවුද මේ ගායිකාව කියලා හොයලා බැලුවා විතරක් නෙවෙයි ඒ හොයාගෙන ඇයට ආදරේ කරන්නත් පටන්ගත්තා. අවසානේ ඇය නැවතුනේ ලංකාවේ ජනප්‍රියම ගායිකාවක් වෙලා. ඒ ජනප්‍රියත්වයත් එක්ක අපේ රටේ වැඩිම එළිමහන් සහ ගෘහස්ථ සංගීත ප්‍රසංග ප්‍රමාණකට ඇරයුම් ලැබෙන ගායිකාව වෙන්නත් ඇයට පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි ඇය ගයපු හැම ගීතයම මිනිස්සු ආදරෙන් වැළඳගත්තා. අවුරුදු තුන හතරක් වගේ පුංචි කාලයක් තුළ සංගීත ක්ෂෙත්‍රයේ ඉහළටම ගිය ඇය තමයි කාංචනා අනුරාධි. ඇගේ ජනප්‍රිය බව නිසා පසුගියදා ඇයට ‘The Business World International Awards – USA’ නම් සම්මාන උළෙලේ 2023 වසරට අදාළව සංගීත අංශයේ නැගී එන තරුවට හිමි සම්මානයත් හිමිවුණා. ඒ නිසාම තමයි මෙවර අපේ කතාබහ ‘කාංචනා අනුරාධි’ වෙනුවෙන් වෙන්කළේ.

 

*පසුගියදා ඔබට විශේෂ සම්මානයක් ලැබුණා. එතැනින්ම කතාව පටන්ගමු?

ඔව් ‘The Business World International Awards – USA’ සම්මාන උළෙලේ 2023 වසරට අදාළ සංගීත අංශයේ නැගී එන තරුවට හිමි සම්මානය හිමිවුණා. හරි සතුටුයි ඉතින්. මගේ සංගීත ජීවිතයේ ආරම්භයේ පටන් අසීමිත ආදරයකින් වගේම ගෞරවයකින් මාව වැළඳගත් මගේ ආදරණීය රසික රසිකාවියන්ටත් මගේ පවුලේ අයටත් මගේ ගීත ලියපු, සංගීත අධ්‍යක්ෂණය කරපු හැමෝටමත් හදවතින්ම ස්තූතියි කියනවා.

 

*ජීවිතේ දිහා ආපහු හැරිලා බලද්දි අද ඔබට මොකද හිතෙන්නේ?

මේක මං ලොකු කාලයක් තිස්සේ හරිම අමාරුවෙන් ආපු ගමනක ප්‍රතිඵලයක්. ඒ නිසා කෙටියෙන්ම කිව්වොත් සතුටුයි. අද වෙනකොට ගායිකාවක් විදියට ලැබෙන ආදරේ මට හිතාගන්නවත් බෑ.

 

*මං අහලා තියෙනවා කාංචනා පුංචි කාලේ ඉ‍ඳන් හීන දැක්කේ වෛද්‍යවරියක් වෙන්න කියලා?

වෛද්‍යවරියක් කියන්නේ ඇත්තටම පශු වෛද්‍යවරියක් වෙන්නයි හීන දැක්කේ. ඒ වුණාට පස්සේ ඒ හීනේ වෙනස්වෙලා මම ගායිකාවක් වෙන්න හීන දැක්කා.

 

*ඒ විදියට එකපාරටම හීන වෙනස් වෙන්න බලපෑ හේතුවක් තිබුණද?

ඔව්. සැරයක් අපේ පාසලේ ඒකල ගායන තරඟයකින් මං දිනුවා. අන්න එදා තමයි මට හිතුණේ මගේ ගමන තියෙන්නේ මේ සංගීතය එක්ක කියලා. පස්සේ 2016දි පැවැත්වුණු රාජ්‍ය සම්මාන උළෙලේදි මං විවෘත අංශයෙන් ඒ වසරේ ප්‍රශස්තම සම්ප්‍රදායික ජන ගායිකාව වුණාට පස්සේ මං ගත්ත තීරණය හරියි කියලා හිතුණා.

 

*ඔබගේ සංගීත ගමන තුළ හැරවුම් ලක්ෂය වුණේ ‘කරකාර බඳින්නට කාලේ හොඳා’ ගීතය නේද?

ඔව් හරි. මං ‘කරකාර බඳින්නට’ ගීතය ප්‍රතිනිර්මාණයක් විදියට ගායනා කළේ එහි මුල්ම ගායන ශිල්පියා වෙන ප්‍රවීන ගායන ශිල්පී උපාලි කන්නන්ගරයන්ගේ පවුලේ අය මගෙන් කරපු ආරාධනාවක් උඩ. සමාජ මාධ්‍යවල ඒක පුදුම විදියට ප්‍රසිද්ධ වුණා. හැබැයි මං ඒ වෙනකොට අකීකරු පෙම් කතාවක්, කාලි, උදුරාවි, සීමා වගේ ගීත කරලා තිබුණේ. හැබැයි කරකාර බඳින්නට ගීතයෙන් පස්සේ මං කරපු දැනෙනා තුරු මා, නාදෙන්, ආලේ මල්, නොලියමි, ඔපදා සහ මගේනේ ගීත කලින් ගීතවලට වඩා මිනිස්සු ආදරෙන් වැළඳගත්තා.

 

*මේ වෙද්දි ලංකාවේ කාංචනා නැති සංගීත ප්‍රසංගයක් නැති තරම්?

(සිනාසෙමින්) ඇත්තටම ඉතින් සංගීත ප්‍රසංගවලින් නම් අඩුවක් නෑ. ගෘහස්ථ, එළිමහන් ප්‍රසංග දෙකටම ආරාධනා ලැබෙනවා. පුළුවන් විදියට ඒවට යනවා.

 

*ගායනය ඇරුනම කාංචනා වෙන දක්ෂ මොනවටද?

(සිනාසෙමින්) නටන්න තමයි. මං පාසල් යන කාලේ පහතරට නර්තනය හදාරලා තියෙනවා. ඒ නිසා අදටත් නැටුම ඇඟේ තියෙනවා.

 

*ඔබේ පෙනුමත් එක්ක රඟපාන්න එහෙම ආරාධනා එන්නේ නැද්ද?

එහෙම අවස්ථා නම් එනවා. ඒත් ඉතින් රඟපාන එක ගැන හිතලා නෑ.

 

*කාංචනාගෙන් ඔය දිග කොණ්ඩේ ගැන ඇහුවේ නැත්නම් ඒකත් අඩුවක්?

(සිනාසෙමින්) මං ගොඩාක් ආසයි මගේ කොණ්ඩෙට. ඉස්කෝලේ දහය පන්තියේ ඉඳන් වවලයි මෙච්චර වවාගත්තේ. ඔය ගෑනු ළමයි එහෙම හම්බුණාම අහනවා කොහොමද අක්කේ ඔයා ඔහොම දිගට කොණ්ඩේ වවාගත්තේ කියලා. රහසක් නම් නෑ ඉතින්. රහස අම්මා ගෙදර හදන පොල්තෙල් ගාන එක තමයි.

 

*ආදරය ගැන එහෙම කාංචනාට අද මොකද හිතෙන්නේ?

මේ වෙලාවේ මං හිතන්නේ මගේ රසික රසිකාවියෝ දෙන ආදරේ ගැන විතරයි.

 

*කාංචනාගේ පෞද්ගලික ජීවිතය ගැන දැනගන්නත් ඔබට ආදරේ කරන අය කැමති ඇති?

මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි කිරිඅම්මයි.

 

*ගායන ශිල්පිනියක් විදියට ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවද?

එහෙම ලොකු බලාපොරොත්තු නෑ. මට ඕන පුළුවන් කාලයක් වෙනකල්ම මගේ හඬින් මිනිස්සු සුවපත් කරන්න.

 

රුවන් එස්.සෙනවිරත්න