නවතම ප්‍රවෘත්ති

ගොඩක් පිරිමි ළමයි මාව දැකපු හැටියෙ ‘එලෙස කෙලෙස’ කියලා කියනවා – අභිලාෂි ශන්තුෂ්කි ජයතිලක

ඉන්දියාවේ අශිමා ෂර්මාගෙයි අජේ කුමාර් ෂර්මාගෙයි එකම දෝණියැන්දැට තිබුණු ලොකුම හීනය වුණේ අනාගතයේ දවසක ජනප්‍රිය නිළියක් වෙන එක. ඉතින් ඒ හීනයට පාර තනාගැනීමේ අදහසින් ඇය පාසල් ගමන අහවර කරපු හැටියේ නිරූපණය හදාරන්න පටන්ගත්තා. කොයිතරම් කැපවීමකින් නිරූපණය හැදෑරුවද කිව්වොත් කෙටි කාලයකින් ඉන්දියාවේ ප්‍රකට මෝස්තර නිරූපණ ශිල්පිනියක් වූ වෙන්ඩල් රොඩ්රික්ස්ගේ නිරූපිකාවක් වෙන්නත් ඇයට හැකියාව ලැබුණා. ඒත් සමඟින් රඟපාන්න අවස්ථා බොහොමයක් උදාවුණත් ඇයට උවමනා වුණේ හොඳ නිර්මාණයකින්ම පමණක් ඇයගේ රංගන කුසලතා පෙන්වන්න. ඒ වෙනුවෙන් අවස්ථාවක් ලැබෙනකල් ඇය ඉවසීමෙන් බලාගෙන හිටියා. ඔහොම ඉන්නකොට දවසක් ඇය ‘යශ්රාජ්’ චිත්‍රපට ආයතනයට ගියේ හඬ පරීක්ෂණයකට. එතැනදි මේ තරුණිය දුටුවට පස්සේ ඔවුන්, ඔවුන්ගේ අලුත්ම සිනමා නිර්මාණයට ඇයට ආරාධනාවක් කළා. වැඩේ කියන්නේ ඒ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වුණේ ෂාරුක් ඛාන්. ඇයට මේ ලැබුණු අවස්ථාව ගැන හිතාගන්න බැරිවුණා. හරි සතුටින් ඇය ඒ අවස්ථාව බාරගත්තා. ඒ චිත්‍රපටය තමයි 2008 අවුරුද්දේ තිරගත කෙරුව ‘රබ් නෙ බනා දි ජෝඩි’ (Rab Ne Bana Di Jodi) චිත්‍රපටය. ඉවසීම නිසාම තමන්ගේ පළවැනි සිනමා නිර්මාණයේ ෂාරුක් ඛාන් සම‍ඟින් රඟපාන්න වරම් හිමිකරගත් තරුණිය වෙනින් කවුරුත් නෙවෙයි බොලිවුඩ් සුපිරි නිළි අනුෂ්කා ෂර්මා. ඇය එහි ඇගේ රංගන ප්‍රතිභාව කොතරම් අපූරුවට සිදුකළාද කිව්වොත් ඒ වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය විදියට නිර්දේශ වෙන්නත් අනුෂ්කාට හැකියාව ලැබුණා. අන්තිමේ ඇය නතර වුණේ බොලිවුඩ් ඉතිහාසය තුළ ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපටයක් වන ‘පීකේ’ (PK) චිත්‍රපටයෙත් රඟපාලා.

මං අසල්වැසි රටේ අනුෂ්කාගේ ගැන කියලා මේ ලියමන පටන්ගන්න හිතුවේ මේ කියන්න යන තරුණියත් අනුෂ්කා විදියට හිතන පතන තරුණියක් කියලා හිතුණු හින්දා. ඇයත් පාසල් කාලේ ඉඳන්ම රංගන ශිල්පිනියක් වෙන්න හීන දැකපු, රංගනය ගැන පුළුල් හැදෑරීමක් කළ තරුණියක්. ඒත් ඇයටත් අනුෂ්කා ෂර්මාට වගේම උවමනා වුණේ හො‍ඳම නිර්මාණයකින්ම පමණක් තම රංගන කුසලතාව පෙන්වන්න. ඉතින් ඊට සුදුසු නිර්මාණයකට ඇයට ආරාධනාවක් ලැබෙනකල් ඇය ඉවසීමෙන් බලාගෙන හිටියලු. ඒ ඉවසීමේ ප්‍රතිඵලයක් විදියට තමයි ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ ‘සිංහබාහු’ චිත්‍රපටයේ ප්‍රධානම චරිතයකට ඇයට ආරාධනාවක් ලැබෙන්නේ. ලාංකේය සිනමාවට නුහුරු නුපුරුදු රුවක් වුවත් කෙටි කාලයක් තුළ කාගේත් නෙත්සිත් පැහැරගන්නට සමත් ඒ රුවැත්තිය තමයි අභිලාෂි ශන්තුෂ්කි ජයතිලක. ඉතින් පොසොන් සතියේ ‘ධරණී’ කවරය සරසන්නත් අපි ඇයට ඇරයුම් කළා. 

“මට පුංචි කාලයේ දකින දකින කෙනා වෙන්න ඕන වුණා. ඒ කියන්නේ නිකන් හරි මං ඩොක්ටර් කෙනෙක් දැක්කොත් මට ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන වුණා. ටීචර් කෙනෙක් දැක්කොත් ටීචර් කෙනෙක් වෙන්න ඕන වුණා. ඒක වෙනස් වුණේ ඉස්කෝලේ 10 පන්තියේදි. මගේ පාසල වු‍ණේ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලය. පහේ පන්තියේ ඉඳන්ම සිංහල, ඉංග්‍රීසි වේදිකා නාට්‍යවල රඟපෑවා. ඒ රඟපාලා පාසල් මට්ටමින් තිබුණු තරඟ එහෙමත් දිනුවා. හොඳම නිළිය සම්මාන ගත්ත අවස්ථාත් තිබුණා. 10 පන්තියේදි මං නාට්‍ය විෂය හදාරන්න ගත්තා. මට ඕන වුණේ රංගනය ගැන හොඳට ඉගෙනගෙන අනාගතයේ රටේ ජනප්‍රිය නිළියක් වෙන්න. පාසල් කාලේ ඉ‍ඳන්ම මට විවිධ නිර්මාණවල රඟපාන්න හුඟාක් අවස්ථා ලැබුණත් මං ඒවා බාරගත්තේ නෑ. මට ඕන වුණේ නවක නිළියක් විදියට හොඳ නිර්මාණයකින් එළියට එන්න. ‘සිංහබාහු’ හරහා මට ඒ අවස්ථාව ලැබුණා.”

‘සිංහබාහු’ චිත්‍රපටයේ ඇයට ලැබුණු චරිතය වුණේ සුප්පාදේවියගේ චරිතය. ඒ චරිතය වෙනුවෙන් ඇය කොතරම් නම් සාධාරණයක් සිදුකර තිබුණාද කිව්වොත් ඒ චිත්‍රපටය තිරගත කිරීමටත් පෙර එම චිත්‍රපටයේ ප්‍රචාරක පටයෙන්ම ඇය රටේ අසීමිතව ජනප්‍රිය වුණා.

“අපේ පාසලට ඇක්ට් ෆෝ තියටර් ෆෝ චේන්ජ් (Act 4 Theatre for Change) කියන ආයතනය ආවා. ඔවුන් ආවේ රංගනය ගැන ප්‍රෝගෑම් එකකට. ඒ ආපු අයගෙන් බුද්ධි රන්දෙණිය මිස් වගේම නලින්ද ප්‍රේමරත්න සර් මගේ දක්ෂතා දැකලා ඔවුන්ගේ එක එක වැඩවලට මට කතා කළා. ඒ කාලේ සෝමරත්න දිසානායක සර් ඔහුගේ අලුත්ම චිත්‍රපටයට ගෑනු ළමයෙක් හොයමින් හිටියා. පස්සේ ඒ අය මගේ ගැන ඔහුට කියලා තිබුණා. දවස් කීපයකින් මට ඔඩිෂන් එකකට එන්න කියලා පණිවිඩයක් ආවා. එදා මං ගියාම ‘සිංහබාහු’ චිත්‍රපටයේ සුප්පාදේවි චරිතය මට ලැබුණා. පාසල් යන කාලේ රංගනය හදාරපු එකත්, පීනන්න තිබුණු සුවිශේෂී හැකියාවත්, මගේ පෙනුමත් හින්දයි ඒක මට ලැබුණේ. ඒ වෙනකොට මගේ වයස 17යි.”

අපි කලින් බලලා තියෙන ‘සිංහබාහු’ වේදිකා නාට්‍යයේ සුප්පාදේවිය දකින්න ලැබෙන්නේ බිරි‍ඳක් සහ මවක් විදියට පමණක් වුණත් ‘සිංහබාහු’ චිත්‍රපටය තුළ ඒ චරිතය කුඩා කල සිට මවක් දක්වාම දිගහැරෙනවා. ඒත් එක්ක අවුරුදු 17දී මවක් ලෙස රඟපෑමේ අත්දැකීමත් ලබන්න පුළුවන් වුණා කියලයි අභිලාෂි අපිත් එක්ක කිව්වේ.

“මුලින්ම ඔඩිෂන් එකට ගියේ බයෙන් වුණත් බය අස්සේ ‘සිංහබාහු’ චිත්‍රපටයේ රඟපාන්න ලැබුණු එක ගැන කියාගන්න බැරි සතුටක් තිබුණා. ඒ වගේම ආචාර්ය සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය මහත්මිය වගේ ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න ලැබීම ගැනත් අකිල ධනුද්දර, සජිත ඇන්තනී, රත්නා ලාලනී ජයකොඩි, දුශේනි මියුරංගි, යශෝධා විමලධර්ම වගේ අත්දැකීම් බහුල නළු නිළියන් එක්ක වැඩ කරන්න ලැබුණු එක ගැනත් සතුටක් තිබුණා. එකම දුක වුණේ චිත්‍රපටයේ රූගතකිරීම් අතරවාරයෙදි ජැක්සන් ඇන්තනී මහතා සමුගත්ත එක ගැන. ඒත් ඔහුත් එක්කත් දවස් කීපයක් මට රඟපාන්න ලැබුණා.”

කොහොමින්හරි මේ වෙනකොටත් අභිලාෂිට පාරේ බැහැලා යන්න බැරි තරමටම ප්‍රතිචාර එනවලු. ඒ අතරින් ඇයට වැඩි හරියක්ම ප්‍රතිචාර එන්නේ මොන වයසේ අයගෙන්ද කියලා ඇහුවම හිනාවෙන්ම ඇය දුන්නු උත්තරය තමයි මේ.

“වැඩිහිටි අය එහෙම කියනවා අභිලාෂි ඔයා ගැළපෙන්නේ සිනමාවට කියලා. මං නිසාම ‘සිංහබාහු’ බලන්න ගිය අයත් මට මුණගැහිලා තියෙනවා. මගේ සමවයසේ වගේ තරුණ ගෑනු ළමයි මාව දැක්කම බොලිවුඩ් නිළියන්ගේ නම් ටිකක් කියලා මමත් ඒ වගේ කියනවා. මගේ හමේ පාට ලස්සනයි කියනවා. කොණ්ඩේ ඔහොමම තියාගන්න කියනවා. හැමෝම සෙල්ෆිත් ගහගෙනමයි යන්නේ. ඒත් හුඟාක් පිරිමි ළමයි නම් මාව කොහේ දැක්කත් මොන වැඩේ කරමින් හිටියත් මට ඇහෙන්න ‘එලෙස කෙලෙස’ කියාගෙන යනවා. අනේ ඉතින් ඒ හැම ප්‍රතිචාරයකටම මම හරිම ආසයි.”

‘සිංහබාහු’ චිත්‍රපටයේ රූගතකිරීම් අතරවාරයේ අභිලාෂිට අමතක නොවන සිදුවීම් එහෙම නැද්ද කියලා අපි අහලා බැලුවේ එහි රූගතකිරීම් බොහෝමයක් කැලෑබද පරිසරයක කරලා තිබුණු හින්දා.

“ඔය සමාජ මාධ්‍යවල එහෙම මං නාන දර්ශනයක් වෛරල් වුණේ. අන්න ඒක රූගතකිරීම් කරපු දවස තමයි අමතක වෙන්නේ නැත්තේ. එදා ගොඩාක් සීතල දවසක්. ඒ ගඟේ වතුරත් අයිස් කැටේට සීතලයි. ඒත් එදා මුළු දවසම වගේ මට වතුරේ බැහැලා ඉන්න වුණා. හවස් වෙද්දි මාව වතුරෙම ඉඳලා වෙව්ලනවා. දෙබස් කිව්වේ එහෙම හරි අමාරුවෙන්. අනෙක් අමතක නොවන දේ තමයි මට පීනන්න තිබුණු එක. ගොඩාක් ගැඹුරු තැන්වල පවා පීනුවා. මං ඉස්කෝලේ යන කාලේ පිහිනුම් ක්‍රීඩාව කරලා තිබුණු නිසා ඒක ලොකුවට ගැටලුවක් වුණේ නෑ. ඒත් බය කියන දේ තිබුණා.”

 

*අභිලාෂි පසුගිය 2023 වසරේ නිරූපණ තරඟයකිනුත් ජයග්‍රහණය කළා නේද?

“ඔව්. මට නිකමට හිතුණා නිරූපණ තරඟයකට ඉදිරිපත් වෙලා බලන්න. ඒ නිසා ගිය අවුරුද්දේ තිබුණු ‘Miss Teen Universe Sri Lanka’ කියන පැජන්ට් එකට ඉදිරිපත් වුණා. ඒක ජයග්‍රහණයත් කළා.”

අභිලාෂිගේ ආසාව ඇය කැමතිම සිනමා නිළියන් වෙන රුක්මණී දේවි, මාලනී ෆොන්සේකා, අනෝජා විරසිංහ සහ ස්වර්ණා මල්ලවආරච්චි වගේ මුළු රටක්ම ආදරේ කරන සිනමා නිළියක් වෙන්න. ඒ වෙනුවෙන් හොඳ හැදෑරීමක් එක්ක හොඳ නිර්මාණවල රඟපාන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඇය කිව්වේ. එතැනට යන්න අභිලාෂිට කිසිම හදිස්සියක් නෑ කියලත් ඇය අපි එක්ක කිව්වා. මේ අතර අපිට ඇයගේ අධ්‍යාපන පසුබිම ගැනත් අහලා බලන්න හිතුණේ අභිලාෂි හොඳ සිනමා නිළියක් වගේම අනාගතේ දවසක මනෝ වෛද්‍යවරියක් වෙන්නත් හීන දකිනවා කියලා කනෙන් කොණින් ආරංචි වෙලා තිබුණු නිසා.

“ඔව් ඔව් මං මේ වෙනකොටත් මනෝ වෛද්‍යවරියක් වෙන්න ඉගෙනගනිමින් ඉන්නේ. තව අවුරුදු හතරකින් විතර ඒ හීනෙත් හැබෑ කරගන්න පුළුවන් වෙයි.”

 

*අභිලාෂිට මනෝ වෛද්‍යවරියක් වෙන්න හිතුණේ මොකද?

“මං ආසයි අපේ රටේ හැමකෙනෙක්ම හිනාවෙලා ඉන්නවා දකින්න. ඒත් ඒක වෙන්නේ නෑ. ඒකට හේතුව විදියට මං දකින්නේ මිනිස්සුට තියෙන මානසික අරගල. අද ගොඩාක් අය ජීවත්වෙන්නේ වගකීම්වල හිරවෙලා. ඔවුන්ට හිනාවෙන්න අමතක වෙලා වගේ. මට ඕන ඒ වගේ සමාජයේ මානසිකව පීඩාවිඳින මිනිස්සුන්ට පිහිටවෙන්න. ඔවුන්ගේ ඒ පීඩාකාරී මනස සැහැල්ලු කරලා ඔවුන්ට හිනාවෙන හැටි උගන්වන්න. අන්න ඒ වෙනුවෙන් තමයි මං අනාගතේ දවසක මනෝ වෛද්‍යවරියක් වෙන්න හිතුවේ. මේ වෙද්දිත් මං ඒ වෙනුවෙන් බොහෝමයක් දේවල් කරලා ඉවරයි.”

අභිලාෂිගේ ජනප්‍රියත්වය එක්ක මේ දවස්වල ඇයට ආදර යෝජනා එහෙමත් ගලාගෙන එනවලු. ජීවිතේට ආදරේ ඕන වුණත් ඒ ආදරේ ගෙදර උදවියගෙන් අඩු නැතුව ලැබෙන නිසා තාම ඇය අපි අහපු ජාතියේ ආදරයක් ගැන නම් හිතලාවත් නෑ කියලයි ‘ධරණී’ට කිව්වේ.

“අපේ ගෑනු ළමයින් ගොඩාක් වෙලාවට ලොකුවට වරද්ද ගන්න තැනක් තමයි ආදරේ කියලා කියන්නේ. ආදරේ කියන දේ අපිට ඕනෙ තමයි. එහෙමයි කියලා හදිස්සිවෙලා තීරණ අරගෙන මුළු ජීවිත කාලෙම පසුතැවෙන්න මං ආස නෑ. මට තාමත් වයස තියෙනවා. ඒ හින්දා අනෙක් දේවල්වලට ඉවසුවා වගේ ආදරේ වෙනුවෙනුත් මං ඉවසීමෙන් බලාගෙන ඉන්නවා.”

හැමදේම ඉවසීමෙන් ලබාගන්න අභිලාෂිගේ පදිංචිය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. අම්මයි තාත්තයි හැරුනම ඇයට ඉන්නේ අක්කයි මල්ලියිලු. ඉතින් අනාගතයේ හොඳ සිනමා නිළියක් සහ මනෝ වෛද්‍යවරියක් වෙන්න හීන දකින අභිලාෂිට අපි සමුදුන්නේ ඉක්මණින්ම ඒ බලාපොරොත්තු සැබෑවෙන්න කියලත් සුබ පතන ගමන්. 

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක

  • හැඩගැන්වීම – Dr Beauty Bar by Dharshika Rajapaksha
  • ඔසරිය – We Made Saree by Erandi Hewage
  • පසුතලය – කෝට්ටේ රජමහා විහාරය