නවතම ප්‍රවෘත්ති

“එයාව එහෙ දාලා ආවට අදටත් මට එයාව මතක් වෙනවා” – තාරුකා වන්නිආරච්චි

විශිෂ්ට නවකතාකරුවෙකු වෙන ඩබ්ලිව්.ඒ.සිල්වා ලියපු නවකතා අතරින් පාඨක ප්‍රසාදය ඉහළින් හිමිවුණු නවකතාව තමයි ‘කැළෑ හඳ’ නවකතාව කියන්නේ. නාගරික රදල පැළැන්තියේ තරුණයෙක් වුණු ජෝන් ජයපාලගේත් ග්‍රාමීය පරිසරයක හැදී වැඩුනු සමාජ තත්ත්වයෙන් ඉතා පහළ තරුණියක් වුණු මාලනීගේත් ප්‍රේම කතාව අලළා ලියැවුණු ඒ නවකතාවට කොයිතරම් නම් පාඨක ප්‍රසාදයක් හිමිවුණාද කිව්වොත් ඒ හරහා චිත්‍රපටයකුත් නිර්මාණය වුණා. ඒ 1953 අවුරුද්දේ. නවකතාවක් ඇසුරෙන් මෙරට නිර්මාණය වුණු පළමු සිංහල චිත්‍රපටය වුණෙත් ඒක. එදා බී.ඒ.ඩබ්ලිව්.ජයමාන්න අධ්‍යක්ෂණය කරපු ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන ජෝන් ජයපාලගේ චරිතය රඟපෑවේ ස්ටැන්ලි පෙරේරා. මාලනී චරිතය රඟපෑවේ සිංහල සිනමාවේ පළමු නිළිය වුණු රුක්මනී දේවි. කොහොමහරි ‘කැළෑ හඳ’ නවකතාවට ලැබුණු ආකර්ෂණය අඩුවක් නැතුවම ඒ චිත්‍රපටයටත් ලැබුණා.

එදා ‘කැළෑ හඳ’ චිත්‍රපටය තිරගත වෙලා වසර 67කට පස්සේ, ඒ කියන්නේ 2020 අවුරුද්දේ නවකතාව ඇසුරෙන්ම ටෙලිනාට්‍යයකුත් නිර්මාණය වුණා. ඒක අධ්‍යක්ෂණය කළේ දයාරත්න රටගෙදර විසින්. ටෙලිනාට්‍යයේ ජෝන් ජයපාලගේ චරිතය අරවින්ද දොඹගහවත්තට ලබා දුන්නත් කාටත් ප්‍රශ්නය වුණේ මාලනීගේ චරිතයට යොදාගන්න නිළිය ගැන. ඒකට හේතුව වුණේ ‘කැළෑ හඳ’ චිත්‍රපටයේ ඒ චරිතය රුක්මණී දේවි විසින් සිදුකරලා තිබුණු එක. ඒ නිසා දක්ෂ නිළියක් යොදාගෙන මාලනී චරිතයට රුක්මණී දේවිය තරම්ම සාධාරණයක් කරන්නයි ඔවුන්ට උවමනා වුණේ. අවසානයට එම චරිතය බාරවුණේ දක්ෂ රංගන ශිල්පිනියක් වුණු තාරුකා වන්නිආරච්චිට. එදා තාරුකා ඒ චරිතයට කොච්චර නම් සාධාරණයක් කෙරුවද කිව්වොත් අදටත් ඇයගේ එම රංගනය ගැන බොහෝ අය කතා කරනවා. ඉතින් මේ සතියේ ‘ධරණී’ කවරය හැඩකරන්නත් අපි ආරාධනා කළේ රංගන හැකියාවෙන් විතරක්ම නෙවෙයි රූපයෙනුත් අඩුවක් නැති මේ තාරුකාවිය, තාරුකා වන්නිආරච්චිට.

“මට ලැබුණු නිර්මාණ අතරින් අදටත් මං ගොඩක් ආස කරන නිර්මාණයක් තමයි ‘කැළෑ හඳ’ ටෙලිනාට්‍යය. එහි මාලනී කියන චරිතය මට හුඟාක් විශේෂ වුණේ මීට පෙර තිරගත වෙලා තිබුණු ‘කැළෑ හඳ’ චිත්‍රපටය නිසා. මොකද ඒ චිත්‍රපටයේ මාලනීගේ චරිතය කරලා තිබුණේ රුක්මණී දේවි මහත්මිය. ඉතින් ඇය කරපු චරිතයක් මට ලැබීමත් එක්ක මට ඒ චරිතය විශේෂ වුණා. ඒ එක්ක හරි ආසාවෙන් කැපවීමෙන් තමයි මං ඒ වැඩේ කළේ.”

තාරුකා කියන්නේ අද වෙනකොට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණත් ඇය පුංචි කාලෙදි හීන දැකලා තියෙන්නේ නර්තන ගුරුවරියක් වෙන්න. උසස්පෙළ විෂයන් තෝරගනිද්දිත් ඇය එක් විෂයකට නර්තනය තෝරාගෙන තියෙන්නෙත් ඒ හීනයට පාර හදාගැනීමේ අදහසින්. හැබැයි නර්තන ගුරුවරියක් වෙන්න හීන දැකපු තාරුකා අන්තිමට රංගන ශිල්පිනියක් වෙලා තියෙන්නේ අම්මගෙයි අක්කගෙයි වැඩක් හින්දලු.

“එතකොට මට වයස 20යි. ඔය කාලේ ඡවිකල්‍යානි කියලා බියුටි පැජන්ට් එකක් තිබුණා. මට හොරෙන්ම අම්මයි අක්කයි දෙන්නා එකතුවෙලා මං දානවා වගේ ඒකට අයැදුම් කරලා. තරඟෙට මං තේරුණු නිසා අම්මයි අක්කයි දෙන්නම කිව්වා ගිහින් බලන්න කියලා. ඉතින් මං ඒකට ගියා. අන්තිමට ඒ තරඟයෙන් මම දිනුවා. ඒකෙන් පස්සේ තමයි මට ර‍ඟපාන්න අවස්ථාව ලැබුණේ.”

එදා තාරුකා රංගනයෙන් දායකවුණු මුල්ම ටෙලිනාට්‍ය වුණේ ස්වර්ණවාහිනී නාලිකාවේ ‘සුබා’ ටෙලිනාට්‍යය. ඒ 2010 අවුරුද්දේ. එතැනින් පස්සේ ඇයට දිගින් දිගටම ටෙලිනාට්‍ය වගේම චිත්‍රපටවලට ආරාධනා ලැබුණලු. ඒ අතරින් කැළෑ හඳ, අකඩවාරිය, අකුරට යන වෙලාවේ වගේ ටෙලිනාට්‍ය වගේම මහරජ ගැමුණු, අලි කතාව වැනි චිත්‍රපට තාරුකාට ආරාධනා ලැබුණු සුවිශේෂී නිර්මාණ විදියට ඇය සඳහන් කළා. ඒත් බොහෝ නිර්මාණවල තාරුකාව අපිට දැකගන්න ලැබුණේ අහිංසක චරිතවලින්. ඇයගෙන් ඒ ගැන ඇහුවම මේ විදියේ පිළිතුරක් තමයි ලැබුණේ.

“මං එහෙම තෝරා බේරාගෙන ර‍ඟපාන රංගන ශිල්පිනියක් නෙවෙයි. ඒත් ඉතින් මට ගොඩාක් වෙලාවට ලැබුණේ එහෙම චරිත කියලා මමත් පිළිගන්නවා. ඒ නිසා ප්‍රේක්ෂකයින්ට මං අහිංසක චරිතවලින් නිතරම පේන්න ඇති. හැබැයි ඉතින් මම හිතලා අහිංසක චරිතවලට කොටුවුණේ නෑ. මගේ පෙනුම, මගේ හ‍ඬ වගේ පොඩි පොඩි දේවල් එක්ක එහෙම චරිතවලට මං ගැළපෙනවා කියලා හිතෙන්න ඇති.”

මේ වෙනකොට තාරුකාගේ කලා දිවියට අවුරුදු 14ක් සපිරෙනවා. රංගන ශිල්පිනියක් විදියට ඒ කාලය ගැන ඇය බොහෝ තෘප්තිමත් වෙනවා කියලත් මේ කතාබහ අතරවාරයේ ඇය කිව්වා.

“දැන් වගේ කලා ක්ෂේත්‍රයට එන්න අපේ කාලේ අවස්ථා ගොඩාක් තිබුණේ නෑ. එහෙම බලද්දි මං ඇවිත් තියෙන දුර ගැන සතුටක් තියෙනවා. ඒත් එක්කම ඊට වඩා සතුටුයි ජනප්‍රියත්වය එකම මට්ටමක පවත්වාගන්න පුළුවන් වුණු එකට.”

සාමාන්‍යයෙන් රඟපාන්න ගිහින් බිහිසුණු අත්දැකීම්වලට මුහුණදෙන්න වෙන්නේ ක්‍රියාදාම ලේබලයේ බොලිවුඩ් හොලිවුඩ් වගේ නිර්මාණවල රඟපාන නළු නිළියන්ට. බොලිවුඩ් නිළියක් වෙන කත්‍රිනා කායිෆ් ‘එක්තා ටයිගර්’ ක්‍රියාදාම චිත්‍රපටයේ රූගතකිරීම් අතරවාරයේ අවස්ථා කීපයකදීම අනූනවයෙන් තම ජීවිතය බේරගත්තා කියලා ඒ චිත්‍රපටය තිරගත වුණු කාලයේදි ඉන්දීය මාධ්‍යයට කියලා තිබුණා. ඒත් එහෙව් නිර්මාණවල නොහිටියට තාරුකාගේ ජීවිතෙත් අනූනවයෙන් බේරුනු අවස්ථාවක් තිබුණලු.

“දවසක් මට රේල්පාරක රූගත කිරීමක් තිබුණා. ඒ වෙලාවේ මං රේල් පාර මැද්දේ ඇවිදගෙන යන දර්ශනයක් ගන්න තමයි තිබුණේ. එකපාරටම අපේ ටීම් එකේ අය අතින් මොකක්ද දෙයක් කිව්වා. ඒත් මට කිව්ව දේ පැහැදිලි වුණේ නෑ. දන්නවද ඒ වෙලාවේ මගේ පිටිපස්සෙන් එක්ස්ප්‍රස් කෝච්චියක් ඇවිදින්. ඒත් මට කෝච්චිය එන සද්දයක් ඇහුනේ නෑ. මගේ මොකක් හරි වාසනාවකට ඩ්‍රයිවර් දුර තියාම මාව දැකලා කෝච්චිය මට මීටර් 100ක් වගේ දුරින් නවත්තගෙන. එදා ඩ්‍රයිවර් හිතලා තියෙන්නේ මං කෝච්චියට අහුවෙන්න රේල්පාරේ ඇවිදන් ගිහින් කියලා. අම්මේ එදා නම් අනූනවයෙන් ජීවිතේ බේරුනේ.”

ඒ විදියේ බිහිසුණු අවස්ථාවලටම විතරක් නෙවෙයි සංවේදී අවස්ථාවලට මුහුණදෙන්නත් තාරුකාට සිද්ධවෙලා තියෙනවලු. එහෙම කියපු තාරුකා එක සැරයක් අලි පැටියෙක් නිසා සංවේදී වුණු අවස්ථාවක් මතක් කළේ මේ විදියට.

“මං රඟපාපු ‘අලි කතාව’ චිත්‍රපටයේ අලි පැටියෙක් හිටියා. එයා හරිම හුරතල් අලි පැටියෙක්. චූටි දරුවෙක් වගේ කියන දේ එහෙමත් අහනවා. තායිලන්තයේ තමයි අලි පැටියා එක්ක රූගතකිරීම් කළේ. අපි ටික දවසක් රූගතකිරීම් කරපු නිසා මට එයා එකතුයි. ඉතින් රූගතකිරීම් අවසන් වෙලා ආයෙත් මං ලංකාවට ආවේ හරිම දුකෙන්. අදටත් මට එයා මතක් වෙනවා.”

මේ දවස්වල තාරුකාව දකින්න ලැබෙන්නේ හිරු නාලිකාවේ ‘අකුරට යන වෙලාවේ’ ටෙලිනාට්‍ය තුළින්. එහි ඇය රඟපාන්නේ මවකගේ චරිතයක්. මේ වෙද්දි තාරුකාත් සැබෑ ජීවිතේ මවක් නිසා ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් කියලයි අපි එක්ක කිව්වේ. 

“එදා වගේම අදටත් රඟපාන්න හුඟාක් ආරාධනා එනවා. ඒත් මං දැන් අම්මෙක් විදියට කාර්යබහුල වෙන්න ආසාවක් නෑ. මගේ මුල්තැන මං දීලා තියෙන්නේ පවුලට. මං දැන් වැඩිපුරම කැමති පුතා එක්ක කාලය ගතකරන්න. ඒත් ඉතින් රංගනයෙන් අයින්වෙන්නේ නෑ. පුළුවන් විදියට ඒකත් කරනවා.”

රංගන දිවියේ සාර්ථක නිලියක් වෙන තාරුකා පෞද්ගලික දිවියේත් සතුටින් ජීවිතය ගෙවන සාර්ථක තරුණියක්. තාරුකා කියපු විදියට ඒ සාර්ථකත්වයේ රහස ඇගේ ජීවිතේට පැමිණි අභියෝගවලට ඇය නොබියව මුහුණදීපු එකලු.

ඒ වගේම ජීවිතේට මොනතරම් ප්‍රශ්න ආවත් හිනාවෙලා ඒ ප්‍රශ්නවලට පිළිතුරු හොයන එක දැන් තාරුකාට පුරුද්දක් වෙලා කියලයි තාරුකා කිව්වේ.

“මං පුංචි දේටත් හිත රිද්දගන්න කෙනෙක්. සංවේදී වැඩියි. ඒක නිසා දුක හිතුණු වෙලාවට මං කරන්නේ පුළුවන් තරම් ඉක්මණට එතැනින් ගැළවෙන්න බලන එක. මොකද දුකේම එල්ලීගෙන හිටියොත් දුකේම තමයි. ඒක පුරුද්දකට ගිහින් දැන් නම් ජීවිතේට මොන තරම් ප්‍රශ්න ආවත් හිනාවෙලා ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න හැටි මං දන්නවා.”

උපන් ගම කිරිබත්ගොඩ, මාකොළ වුණත් තාරුකා සැමියා සහ පුතා එක්ක දැන් පදිංචිය කොල්ලුපිටියේ. අම්මගෙන් තාත්තගෙන් වගේම තාරුකාට ඇයගේ එකම සහෝදරියගෙන් ලැබෙන ශක්තිය වගේම මෙතෙක් කාලයක් ඇයට ආදරේ කළ ආදරණීය ප්‍රේක්ෂකයින්වත් කතාබහ අතරතුරේදි ඇය මතක් කළා.

“කාන්තාවක් විදියට ගත්තම මං දැන් සම්පූර්ණයි කියලා මට හිතෙනවා. ඒක නිසා ලොකු අනාගත බලාපොරොත්තු දැන් මට නෑ. මිනිස්සු විදියට අපේ ජීවිත හරිම කෙටියි. ඒ නිසා ජීවත්වෙලා ඉන්න ටික කාලේ සතුටින්, හිනාවෙලා ඉන්න එක තමයි ලොකුම බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් තමයි හැමදේම කරන්නේ.”

අනාගත බලාපොරොත්තු ගැන අහපු ප්‍රශ්නෙට එහෙම උත්තරයක් දීපු තාරුකා අපේ කතාබහ අවසන් කරමින් ‘ධරණී’ කියවන සමස්ත කාන්තාවන්ටත් පණිවිඩයක් දෙන්න අමතක කළේ නෑ.

“සමහර ප්‍රශ්න තියනවා. ඒවාට මුහුණ දීලා විසඳුම් හොයන්න ඕනෑ. තවත් ප්‍රශ්න එනවා, ඒවා මඟහරින තරමට හොඳම විසඳුම් ලැබෙනවා. ඒ නිසා මොන ප්‍රශ්න ආවත් කල්පනාවෙන් වැඩකරන්න. පුළුවන් තරම් සතුටින් ඉන්න බලන්න. එහෙම වුණාම ජීවිතේ හරි සුන්දරයි.”

 

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක

ඇඳුම් – Astro Fashion