රූපලවන්‍ය

ලියාගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක?

මීට අවුරුදු දහයකට විතර කලින් ලෝකයේ ලක්ෂ ගණනක් මිනිස්සු අතරේ කතාබහට ලක්වුණ ඡායාරූප ශිල්පියෙක් හිටියා. ඒ තමයි සුරේන් මන්වේලියන්. සුරේන් තමන්ගේ කැමරාවට හසුකරගත්තු මිනිස් ඇස්වල සමීප ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මුදාහැරීම තමයි මේකට හේතුව වුණේ. Your beautiful eyes කියන නමින් හොයලා බැලුවොත් සුරේන්ගේ ඒ ඡායාරූප මේ දැන් වුණත් ඔබට නරඹන්න පුළුවන්. මේ වෙනකොටත් මිලියන හතරකට ආසන්න ජනතාවක් ඒ ඡායාරූප පෙළ නරඹලා අවසන්. ඒ තරමටම ඔහුගේ ඒ ඡායාරූපවලින් මිනිස් ඇසේ අපූර්වත්වය විදහා දක්වනවා. ඇතැම් ඡායාරූප බැලුවම හිතෙන්නෙ ඒ කවුරුහරි අතින් සිතුවම් කරපු චිත්‍ර කියලයි. සැබෑ ලෝකයේ පවතින මිනිස් ඇසක් ඒ තරම් සුන්දර සහ අපූර්වත්වයෙන් අනූන විය හැකිද කියලා ඒ ඡායාරූප බැලුවම අපිට හිතෙනවා. හැබැයි ඒ තරම් වටින ඇස් දෙක, ඇස් දෙකක් වගේ බලාගන්නේ කොහොමද කියන එක ගැන ඔබ නිකමට හරි හිතුවද? 

එහෙම හිතුවේ නැතිනම් මින් මතුවට එහෙම හිතන්න මේ ලිපිය ඔබට උදව්වක් වේවි.

ඇස් දෙකක් සුන්දරව තියාගන්න නම් අපිට මොන දේටත් කලින් වුවමනා කරන්නෙ සුවදායක නින්දක්. පැය හත අටක නින්දක් ලබාගැනීමෙන් අපිට ඇස්වල විඩාව මහන්සිය මගහරවගන්න පුළුවන්. හැබැයි මේ නින්ද ඔබ ලබාගන්න ඕනෑ රාත්‍රී කාලයේදී. මොකද ගොඩක් උදවිය රෑ තිස්සෙ නිදිමරලා දවල් වෙනකන් නිදාගන්න හුරුවෙලා ඉන්නවා. ඒක අපේ ඇස් දෙකට විතරක් නෙවෙයි සමස්ත ශරීරයේම සෞඛ්‍යටම බලපාන අහිතකර තත්ත්වයක්. ඒ නිසා රාත්‍රී කාලයේ ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම අත්‍යවශ්‍යයි. ගොඩක් වෙලාවට ඩිජිටල් තිර ඉස්සරහා අපේ ඇස් වෙහෙස වීමෙන් ඇස්වල පෙනීමට බලපෑමක් කරනවා වගේම ඇස් බාහිරවත් විඩාවට පත් කරනවා. ඒ නිසා ඩිජිටල් තිර සහිත උපකරණ භාවිතයට යම්කිසි සීමාවක් පනවාගැනීම ඇස් දෙක සුවදායකව තියාගන්න උදව්වක් වෙනවා.

ඇස් වටේ අඳුරුවීමත් ගොඩක්දෙනා මුහුණපාන ගැටලුවක්. නින්ද මද වීම, මානසික ගැටලු, කායික විඩාව වගේ කාරණාත් මේ ඇස්වට අඳුරුවීමට බලපානවා. ඉතිං ඒකටත් ගෙදරදීම කරන්න පුළුවන් සත්කාර දැනගෙන ඉන්න එක බොහෝ සෙයින් වටිනවා.

නින්දට පෙර මී පැණි ස්වල්පයක් ගෙන ඇස් වටා ආලේප කර සම්බාහනය කිරීමෙන් ඇස් වටා අඳුරු පැහැය අවම කරගන්න පුළුවන්. සීත කළ පිපිඤ්ඤා පෙති දෙකක් ඇස් මත මිනිත්තු පහළොවක් පමණ රඳවාගෙන ඉන්න එකෙනුත් ඇස්වල වෙහෙස මගහරවා දීප්තිමත් දෑසක් ලබාගන්න පුළුවන්. වඩා හොඳ ප්‍රතිඵල සඳහා මේ ක්‍රමය දිනකට තුන් වතාවක්වත් කරන්න අවශ්‍යයි. අර්තාපල් පෙති දෙකක් උපයෝගී කරගෙන වුණත් මේ ක්‍රමයම  අත්හදා බලන්න පුළුවන්. අර්තාපල් කියලා කියන්නේ ශරීරයේ අඳුරු වෙච්ච ස්ථාන යථා තත්ත්වයට පත් කරන්න හැකියාවක් තියෙන අමුද්‍රව්‍යයක්.  

රාත්‍රී නින්දට කලින් ආමන්ඩ් තෙල් ස්වල්පයක් ඇස් වටා ගල්වා සම්බාහනය කර පසුදා උදෑසන සෝදාහැරීමෙනුත් ඇස්වට අඳුරු වීම අවම කරගන්න පුළුවන්. ලෝහ හැන්දක් ආධාර කරගෙන මේ ඇස්වට අඳුරු ගතිය අඩු කරගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ගෙදර තියෙන ලෝහ හැන්දක් අරගෙන හැන්දේ පිට පැත්ත ඇස යට ස්වල්ප වෙලාවක් තබාගෙන ඉඳීමෙනුත් මේ ඇසට දැනෙන වෙහෙස ගතිය අවම වෙලා යනවා. එයින් ඇස්වට අඳුරු වීම අඩු කරලා ඇසට යම්කිසි සහනයක් සලසලා දෙනවා. භාවිතා කළ ටී බෑග් හෝ උණුවතුරේ විනාඩි තුන හතරක් බහා තැබූ ටී බෑග් ඇස් දෙක මත විනාඩි විස්සක් පමණ තබාගෙන සිටීමෙනුත් ඇස් වටා තියෙන සමට හොඳ පෝෂණයක් ලබාදෙනවා.

ඇස් දෙක ගැන කතා කරනකොට ඇහිපිහාටු සහ ඇහිබැම කියන්නේ අමතක කරන්නම බැරි දේවල් දෙකක්නේ. ඇස් දෙකක් ලස්සනට තියාගන්න නං ඇහිබැම සහ ඇහිපිහාටුත් අපිට අනිවාර්යයෙන්ම පිළිවෙලට සුන්දරව තියාගන්න අවශ්‍ය වෙනවා. ඇහිබැම සහ ඇහිපිහාටු පෝෂණීයව වර්ධනයට ගෙදරදීම පුංචි සත්කාර කීපයක් කරගන්න පුළුවන්.

ආමන්ඩ් තෙල්, කෝමාරිකා මදය සමඟ මිශ්‍ර කරලා ඇහිබම සහ ඇහිපිහාටුවල ආලේප කරලා පැයකට පමණ පස්සේ මද රස්නෙ උණුවතුරෙන් ඇස් සෝදාහරින්න පුළුවන්. බිත්තර කහ මදයක් ඔලිව් තෙල් ස්වල්පයක් සමඟ මිශ්‍ර කරලා ඇහිබැමේ සහ ඇහි පිහාටුවල ආලේප කිරීමෙන් පෝෂ්‍යදායී ලෙස ඇහි පිහාටු වර්ධනය කරගන්න හැකියාව ලැබෙනවා.

මේ හැමදේම එක්ක අපි ගන්න ආහාර වර්ගත් අපේ ඇස්වල සෞඛ්‍යයට බලපානවා. කැරට්, කොළ පැහැති එළවලු, රතු බෙල්පෙපර්, විටමින් සී අඩංගු ආහාර, බෙරි වර්ග, සූරියකාන්ත බීජ, ආමන්ඩ්, මත්ස්‍ය ආහාර සහ බිත්තර වගේ පෝෂක කොටස් ආහාර වේල්වලට එකතුකරගැනීම ඇසේ සෞඛ්‍ය මට්ටම වැඩිදියුණු කරන්න උපකාරී වෙනවා. එළිමහන් ස්ථානවලට යනකොට අව් කණ්ණාඩියක් පැළඳීමත් අහිතකර යූවී කිරණෙන් ඇස් ආරක්ෂා කරගන්න උදව් වෙනවා. අවශ්‍ය පමණට ජලය පානය කිරීම වගේම දුම් පානයෙන් වැළකිලා සිටීමත් නිරෝගී ඇස් දෙකකට බොහෝ සෙයින් බලපෑම් ඇති කරන බව කවුරුත් මතක තබාගැනීම වටිනවා. 

පවනි වාසනා