“කකුල් දෙකට බාටා දෙකක්වත් නැතිව කටු පඳුරු මතින් දුවපු අතීතය මට තාම මතකයි” රටක ආදරය දිනූ කුමුදුමලී ඩබ්ලියු.යූ. ‘ධරණී’ට කී කතාව
මන්දාරම් වැහිබීරම හාත්පස පරිසරය වෙලාගත් පහුගිය සතිඅන්තයේ දිනෙක මා බෝඩිම් කාමරයේ බැල්කනියට වී උණු කෝපි කෝප්පයක් ද තොල ගාමින් වැහිබර අහස දෙස බලා සිටියෙමි. එවැනි මොහොතක දැනෙන කාංසාමය ගතිය දුරුවීමට නම් පොතක පිටු කිහිපයක් අතර අතරමංවීම ප්‍රමාණවත් බව අත්දැකීමෙන් දන්නා නිසා එදිරවීර සරත්චන්ද්‍ර සූරීන්ගේ ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ පොත යළි කියවීමට සිතා අතට ගත්තෙමි. එදිරවීර සරත්චන්ද්‍ර සූරීන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස සේවය කළ අවදියේ ලත් අත්දැකීම් විස්තර කර ඇති පරිච්ඡේදය මා නැවත කියවමින් රසවින්දේ කිසියම් නොස්ටල්ජියානු ගතියකින් යුතුවය. ගතින් කොළොම්තොට සිටියත් ඒ වැහිබර සැන්දෑවේ කහ පැහැති මලින් බර බළල් පහුරු ගස්, රෝසපැහැති මලින් බරවුණු රොබොරෝසියා ගස් මැදින් දිවෙන පේරාදෙණිය සරසවි මාවත තුළ සිතින් ඇවිද යන්නට මට කිසිඳු බාධාවක් නොවීය.
නමුත් මගේ ඒ දැහැන බිඳී ගියේ මිතුරිය විත් ජංගම දුරකතනයෙහි වූ යමක් මට පෙන්වූ නිසාය. පුදුමයට කරුණ නම් ඒ මොහොතෙහි ජංගම දුරකතනයෙහි දර්ශනය වූ වීඩියෝව ද පේරාදෙණිය සරසවිය හා බැඳුනු එකක් වීමය. පසුගිය දිනක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවති උපාධි ප්‍රධානෝත්සවයේදී එක්තරා යුවතියක් අටතාතවක් පමණ වේදිකාවට නැග පදක්කම් අටක් දිනාගන්නා ආකාරය එම වීඩියෝවෙහි දර්ශනය විය. ඒ වනවිටත් නැරඹුම් වාර මිලියනය ඉක්මවා තිබූ එම වීඩියෝවෙහි ඇගේ නම අටවතාවක් ප්‍රකාශයට පත්වුණේ කුමුදුමලී ඩබ්ලියු.යූ. ලෙසිනි. එලෙස පදක්කම් අටක් දිනාගත් කුමුදුමලී ඩබ්ලියු.යූ. ගැන ‘ධරණී’ පාඨක ඔබට කීම යුතු යැයි සිතු නිසා ඇගේ දුරකතන අංකය සොයාගෙන මා ඇයට ඇමතුමක් ගත්තෙමි.
කහ පැහැති සාරියකින් සැරසී කළු පැහැති ලෝගුවත් පැළඳ සම්මාන අටකුත් සමඟ පළමු පන්ති සාමර්ථයක් ලබාගත් ඇය අපට විශේෂ වන්නේ ඇය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අතිදුෂ්කර පෙදෙසක් වූ සේරුවිල ගම්මානයක හැදී වැඩුණු යුවතියක් නිසාය. තල් ගස්, වරා පඳුරු සේම මාන ඉලුක්වලින් ගැවසුණ ඒ ගම්මානයේ පුංචි කඩයක හිමිකරු දෙපළකගේ වැඩිමහල් දියණිය ලෙස කුමුදුමලී ඉපදුණේ මදි නොකියන්නට යුද්ධයේ අඳුරු සෙවණැලි ඒ ගම්මානය වෙලාගෙන තිබූ අවදියකය .
“අපේ ගම තිබුණේ මාවිල්ආරුවලට කිලෝමීටර් 13ක් විතර එහායින්. ඒකනිසා අපේ ගම්වලටත් යුද්ධය දරුණුවටම බලපෑවා. අදටත් අපේ ගේ පිටිපස්සේ තියන නිදිකුම්බා පඳුරු, තල් ගස් දකිද්දී මට මැවිලා පේනවා යුද්ධෙ කාලේ කාලතුවක්කු හඬ ඇහෙනකොට කකුල් දෙකට බාටා දෙකක්වත් නැතිව අපි ඒ මත්තේ දුවපු හැටි. හැමදාම රෑට බාටා දෙකක් කොට්ටේ යට හංගගෙන නිදාගන්න වුණු කාලෙකුත් අපිට තිබුණා.”
කාලතුවක්කු හඬ ඇසුණ එවැනි අන්ධකාර රාත්‍රීන්වල කුමුදුමලීත්, ඇගේ නංගී සහ මල්ලීත් තුරුළු කරගෙන අම්මාත් තාත්තාත් ඔහේ දිවගිය හැටි කුමුදුමලී අදත් සිහිපත් කරන්නීය.
“යුද්ධෙ නිසා ගම්වල මිනිස්සු මැරෙද්දී අපි ඉගෙනගත්ත ඉස්කෝලේ මිනී ගොඩගහන්න පටන්ගත්තා. ඊටපස්සේ අපිට සිද්ධ වුණා කඳවුරකට වෙලා මාස ගණන් කල් ගෙවන්න. එතකොට මම හිටියේ හත වසරේ. මට අද වගේ මතකයි මම කඳවුරේ අයිනකට වෙලා ඉස්කොලේ පෙළපොත් කියවපු හැටි. මම එහෙම ආසාවෙන් කියවපු එක පොතක් තමයි 7 වසරේ විද්‍යාව පෙළපොත. ඒ පොතේ එකතැනක ඇල්බට් අයින්ස්ටයින්ගේ පින්තූරෙ යටින් ගහලා තිබුණා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් කියලා. විද්‍යාඥයෙක් කියලා කියන්නේ කවුද කියලා මට එදා ලොකු අවබෝධයක් නොතිබුණත් මමත් කවදහරි විද්‍යාව පොතේ හිටපු ඇල්බට් අයින්ස්ටයින් වගේ විද්‍යාඥයෙක් වෙනවා කියලා හිතපු හැටි මට තාම මතකයි.”
යුද්ධයේ කුරිරුකම් මෙන්ම ආර්ථික අපහසුතා යන සියල්ල මාර සේනා මෙන් පැමිණ ඇය යන මාවතට හරස් වුණත් ඒ එකකින්වත් තම අරමුණට බාධා නොවන ලෙස කටයුතු කරන්නට ඈ ඉටා ගත්තාය. යුද්ධය නිසා පාසල තුළ ගුරුවරුන්ගේ හිඟතාවයක් පැවතුණත් අවසානයේ ඇය නතර වුණේ මහවැලිගම පාසලෙන් සේම සේරුවිල දුෂ්කර ගමේත් හොඳම සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය තමා සතු කරගෙනය.
“අපේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවේ 2010 අවුරුද්දේ. එදා ප්‍රතිඵල සටහනේ විභාග අංකයට ඉස්සරහින් තිබුණ A-8 යි B-1 දැකලා දැනුණ සතුටට මට හොඳටම ඇඬුණා. අපේ ගමට ඒ වගේ ප්‍රතිඵලයක් ලැබුණ පළවැනි වතාව ඒක. වැඩිය ඉගෙනගත්ත අය නොවුණත් මගේ ඇස් දෙක පාදන්න දිවා රෑ නොබලා වෙහෙසුණ අම්මයි තාත්තයි මගේ ජයග්‍රහණය දැකලා ගොඩක් සතුට වුණා. ඒ දෙන්නාට ඕනෑ වුණේ මම කවදහරි දවසක වෛද්‍යවරියක් වෙනවා දකින්න. ඒ නිසා උසස් පෙළට ජීව විද්‍යාව තෝරාගත්තා. ඊටපස්සේ ඒ වෙනකන් මම ඉගෙනගත්ත ඉස්කෝලේ උසස්පෙළ පන්ති තිබුණේ නැති නිසා උසස් පෙළ කරන්න කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයට ඇතුළත් වුණා.”
වෛද්‍ය සිහිනය හිතේ හිරකරගෙන උසස් පෙළ කඩඉමට පා තැබුවත් කුමුදුමලීට නිමක් නැති ආර්ථික අපහසුතාවලින් බැට කන්නට සිදුවිය. නමුත් නිවැසියන්ට බරක් වන්නට නොසිතූ ඇය උසස්පෙළ හදාරන ගමන්ම ඖෂධහලක සේවය කරමින් තම සියලු බරපැන තනිව දරගත්තාය. එහි ප්‍රතිඵලයක් ලෙසයි ඇය පේරාදෙණිය විශ්වවිදයාලයේ පශු වෛද්‍ය පීඨයට තේරී පත්වුණේ.
“මට අද වගේ මතකයි අපි කැම්පස් එකට ගියපු පළවැනි දවස. අපිව පිළිගන්න සංවිධානය කරලා තිබුණු උත්සවයෙදී මට තදින්ම හිතට දැනුණ කතාවක් තිබුණා. ඒ අපේ පීඨයේ සීනියර් අක්කා කෙනෙක් කරපු කතාවක්. මම ඒ වෙලාවෙ හිතාගත්තා මමත් කවදහරි දවසක මේ අක්කා වගේම කතාවක් කරනවා කියලා.”
නමුත් ඒ අරමුණට යද්දී දුෂ්කර පළාතක හැදී වැඩුණ ඇයට භාෂා භාවිතය ද ගැටලුවක් බවට පත් වූ කාලයක් තිබිණි. නමුත් ඒ කිසිවකින් කුමුදුමලීගේ ගමන නම් අතරමඟ නතර වුණේ නැත.
“හැමවෙලාවෙම මම පෙර සූදානමක් ඇතුව වැඩ කළා. වාරයක් පටන්ගන්න කලින් ඒ වාරෙ පාඩම්වලට අදාළ විෂය කරුණු පුස්තකාලයට ගිහින් හොයන එක මගේ පුරුද්දක් වුණා. නිතරම ඉංග්‍රීසි පොතපත පරිහරණය කරපු නිසා දෙවැනි අවුරුද්ද වෙද්දී මගේ ඉංග්‍රීසි භාෂා හැකියාවත් වැඩිදියුණු වුණා. විශ්වවිද්‍යාල ඇතුළත්වීම් පොතේ පිටිපස්සේ තිබුණ පදක්කම් ශිෂ්‍යත්ව ඔක්කොම ලොකු ඩිමයි කොළයක ලියලා බිත්තියේ අලවාගත්තා. ඊටපස්සේ ඒ ඒ පදක්කම් වගේම ශිෂ්‍යත්ව ලබාගන්න මහන්සිවෙලා වැඩ කළා. හැම වාරයකම වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යාව බවට පත්වෙන්න ඒ නිසා මට හැකිවුණා. ඒ අතරේ මම ඉඩක් ලැබුණ හැම වෙලාවෙම නුවර අවට ඖෂධහල්වල සේවයට ගියා.”
එපමණක් නොව පළමු පන්ති
සාමාර්ථයක් සහිතව පශු වෛද්‍යවරියක් ලෙස විශ්වවිද්‍යාලයෙන් නික්මෙද්දී ඇයට එහිම සහාය කථිකාචාර්යවරියක් ලෙස සේවය කරන්නට ද වරම් උදා වී තිබුණි.
“මගේ හීන හැබෑ කරගන්න මට ගොඩක් අය උදව් කළා. කඩාවැටීම්, හිත්රිදීම්, ප්‍රතික්ෂේප වීම් වගේ දෙවලුත් මගේ ගමනට හයියක් වුණා. මේ ලිපිය කියවන බොහෝදෙනෙක්ටත් මේ මොහොතෙත් තමන්ගේ හීනවලට යන්න බාධක අනන්තවත් ඇති. හැබැයි ඒ කිසිම දෙයක් තමන්ගේ හීනේ හැබෑ කර නොගෙන ඉන්න හේතුවක් කරගන්න එපා. ඒ වෙනුවට හැකි උපරිමයෙන් වෙහෙස මහන්සිවෙලා වැඩ කරන්න. තමන් නියැළිලා ඉන්න ක්ෂේත්රයෙන් උපරිම ඉහළට යන්න උත්සාහ කරන්න. විශේෂයෙන් ගැහැනු ළමයි වෙනත් අයට තමන්ගේ ජීවිතේ වැඩි වටිනාකමක් දෙන්නේ නැතුව තමන්ටම වටිනාකමක් දෙන්න. එතකොටයි තමන් හිතන්නේවත් නැති තරම් දුරකට තමන්ව අරගෙන යන්න පුළුවන් වෙන්නේ.”
නෙත්මි තෂාරා