රූපය ඔබ සතු – හැඩ කරනා මුතු – ගැනයි මෙ’සියලු තතු
ලස්සන වෙන්න හිතාගෙන හිතුමතේ සත්කාර කරන අයට, මුතුවලින් ලස්සන වෙන විදියක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඊට කලින් මුතු ගැනත් කියන්න පුංචි කතාවක් තියනවා. මුතුවල තිඹිරිගේ විදියට සැලකෙන්නේ සප්ත මහා සාගරයනේ. ඒ සාගරයේ උපදින මුතුවල ජාතකේ ගැන නොයෙක් කතා ජනප්රවාදයේ පවතිනවා. සාගරේ ඉන්න මුතු බෙල්ලෙකුගේ බෙලි කටුව ඇතුළට නක්ශස්ත්‍රයට අනුව යෙදෙන කැති නැකැතේදී පිනි බිංදුවක් ඇතුළු වුණාම මුතු බෙල්ලා එය අනර්ඝ මුතුඇටයක් බවට පත්කරන බව සඳහන් වෙන්නේ සංස්කෘත ශ්ලෝකයක.
ඒ වගේම ස්වාති කියන තාරකාව පායපු රාත්‍රියක වහින වැස්සකින් වැටෙන වැහි බිංදුවක් මුතු බෙල්ලෙක්ගේ ඇඟට වැටුනහම ඒ වැහි බිංදුව මුතුඇටයක් බවට පත්වෙනවා කියලත් කියනවා.
හැබැයි ඇත්තටම මුතුඇටයක් බිහිවෙන්නේ මුහුදු බෙල්ලෙකුගේ කටුවක් ඇතුළට වැලිකැටයක් හෝ එවැනි දෘඪ දෙයක් ඇතුල් වුණහම තමන්ගේ ආරක්ෂාවට බෙලිකටුව ඇතුළෙන් නිපදවෙන රිදී පැහැති රසායන ද්‍රව්‍යයක් ඒ වටා කාලයක් තිස්සේ බැඳීමෙන් කියලා තමයි විද්‍යාඥයන් කියන්නේ. ඒ විද්‍යාත්මක විපර්යාසය බෙල්ලාට මහා වේදනාවක් ඇති කරන බවත් සඳහන් වෙනවා. මහා කවියෙක් වුණ ශෙලීගේ ප්රකාශනයකත් බෙල්ලාගේ මේ වේදනාව ගැන වරක් ඔහු මෙහෙම කියනවා.
‘මුතු කැටයක් බවට පත්වෙන්නේ බෙල්ලෙකුගෙ බෙලිකටුව තුළ සිරවු වැලිකැටයේ වේදනාවකි.’
බෙලි කටුවක් ඇතුළේ හිරවෙච්ච වැලිකැටයක් මුතුඇටයක් බවට පත්කරන්න බෙල්ලෙක් කාලයක් තිස්සේ බලාගෙන ඉන්නවා. ඉතින් එච්චරක් වේදනා විඳලා අවසානයේ නිර්මාණය වෙන මුතුඇටයට ආයුර්වේද ශාස්ත්රයේදී අමිල වටිනාකමක් හිමිවෙලා තියෙනවා.
ආයුර්වේදයේදී මේක මුතු මුත්තා කියලා තමයි හඳුන්වන්නේ. මුතුවලට ඉතා ඉහළ ඖෂධීය වටිනාකමක් හිමිවීම තමයි ආයුර්වේදයේදී ඒවා භාවිතා කිරීමට හේතුව වෙන්නේ. කැල්සියම්, ඇමයිනෝ අම්ල, පොලිසැක්රයිඩ්, ඛනිජ ලවන මුතුවල සංඝටක විදියට අඩංගු වීම නිසා ඒවාට ඖෂධීය වටිනාකමක් හිමිවෙලා තියෙනවා. මානසික රෝගවලදී අභ්‍යන්තර ඖෂධ වශයෙනුත්, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්රිත රෝග සඳහා ඖෂධයක් වශයෙනුත් මුතු භාවිතා කරනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් මේ මුතුවලින් ලබාගන්නා පර්ල් කුඩු සමේ නිරෝගී පැවැත්මට බොහෝ සෙයින් හිතකර නිසා විවිධ රූපලාවණ්‍ය ද්‍රව්‍ය සඳහාත් මුතු පාවිච්චි කරනවා.
මෙම මුතු සමේ නිරෝගී පැවැත්මට මොන විදියේ දායකත්වයක්ද සපයන්නේ කියලා කිව්වොත් සමේ සීබම් නිෂ්පාදනය පාලනය කිරීම, රෝම කූප අවහිරවීම වැළැක්වීම, සමේ තෙතමනය ආරක්ෂා කර සම වියළීමෙන් ආරක්ෂා කිරීම වගේ බොහෝ ප්‍රයෝජන ළඟා කරලා දෙනවා. ඒ වගේම මුතුවල තිබෙන විශේෂ හැකියාවක් තමයි සමේ ස්ථරවල පවතින විෂ ද්‍රව්‍ය ඉවත් කරලා සමේ ආසාදන තත්ත්ව පාලනය කරන එක.
ඉතින් ඒ නිසා මේ මුතුවලින් ලබාගන්නා පර්ල් කුඩු මගින් ආයුර්වේදයේදී කරන්න පුළුවන් සත්කාර එමටයි.
පර්ල් කුඩු සහ රෝස වතුර සත්කාරය කියලා කියන්නේ සමේ මැරුණු සෛල ඉවත් කරලා සම දීප්තිමත් කරන්න උදව් වෙන සත්කාරයක්. මේ සඳහා පර්ල් කුඩු තේ හැඳි තුනක් රෝස වතුර තේ හැඳි දෙකක් එක්ක කලවං කරලා ආලේපයක් විදියට සකස් කරගෙන මූණෙ ගල්වලා විනාඩි දහයක් පමණ තියලා මද උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කරන්න ඕන.
පර්ල් කුඩු තේ හැඳි හතරක් දියර කිරි තේ හැඳි තුනක් සහ මී පැණි තේ හැඳි එකක් මිශ්‍ර කරලා හදාගන්න පර්ල් කුඩු හා කිරි සත්කාරයත් පෙර විදියටම මුහුණේ ගල්වා මද උණුසුම් ජලයෙන් සෝදා හැරීමෙනුත් මුහුණට දීප්තියක් ළඟා කරගන්න පුළුවන්.
මුහුණ, බෙල්ල අත් හා ශරීරය පැහැපත් කරගන්න, ඒවයෙ තියෙන ලප කැළැල් අවම කරගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවානම් පර්ල් කුඩු තේ හැඳි හතරක් පිරිසිදු පොල්තෙල් තේ හැඳි දෙකක් හා ඔලිව් තෙල් තේ හැඳි දෙකක් සමඟ හොඳින් මිශ්‍ර කරලා ශරීරයේ ඒ ඒ ප්‍රදේශවල ගැල්වීම මගින් පැහැපත් හා දීප්තිමත් සමක් ලබාගැනීමේ හැකියාව තියෙනවා.
පර්ල් කුඩු හා තල තෙල් සත්කාරය කියල කියන්නෙ සමේ වියපත් බව අවම කර කොලැජන් නිෂ්පාදනය වේගවත් කරලා සමේ ප්‍රත්‍යස්ථභාවය සහ තෙතමනය රැකගන්න පුළුවන් සත්කාරයක්. මේ සඳහා පර්ල් කුඩු තේ හැඳි පහක් තල තෙල් තේ හැඳි දෙකක් සහ එළඟිතෙල් තේ හැඳි තුනක් සමඟ මිශ්‍ර කරලා ශරීරයේ ආලේප කරලා විනාඩි විස්සක් පමණ තියලා සෝදාහරින්න ඕන.
සමේ තෙල් සහිත ස්වභාවය පාලනය කරලා මැරුණු සෛල ඉවත් කරලා නව සෛල නිපදවන්න, සමේ සිනිඳු බව ආරක්ෂා කරන්න, සමේ තියෙන කැලැල් අඳුරු ලප ආදී සියල්ල මකා දමන්න හැකියාවක් ද මුතු සතු වෙනවා. ඒ වගේම නින්දේ ගැටලු තියෙන පුද්ගලයන්ට මුතු කියන්නේ එම ගැටලු මගහරවා ගන්න හොඳ ඖෂධයක්. ඒ වගේම මානසික පීඩනය අවම කරන්නත් මුතුවලට හැකියාව තියෙනවා.
බාහිර ආලේප කිරීම මගින් මෙන්ම හිසකෙස්, සම, ඇස් සහ නියපොතුවල අභ්‍යන්තර පෝෂණයටත් මේ පර්ල් කුඩු උදෑසන තේ හෝ කෝපි සමඟ මිශ්‍ර කරලා පානය කරන්න පුළුවන්.
මේ සත්කාරය අත්හදා බලන්න කැමති අයට ආයුර්වේද ඖෂධහලකින්, ඔසුසලකින් හෝ රූපලාවණ්‍ය මධ්‍යස්ථානයකින් මේ පර්ල් කුඩු මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.
උපදෙස්
වෛද්‍ය එස්.එම්.මධුෂාණි වත්සලා කුමාරි
(ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී )
ප්‍රධාන වෛද්‍ය නිලධාරී – ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික්, මාවනැල්ල
පවනි වාසනා
නෙත්මි තෂාරා