නවතම ප්‍රවෘත්ති

ධරණී – සෙනෙහසේ ගී සුවඳ

දැයේ මව්වරුන්ගේ මානසික සුවතාව වර්ධනය කිරීම අරමුණු කරමින් ධරණී වෙතින් පිදෙන “සෙනෙහසේ ගී සුවඳ” වැඩසටහනේ එක් අදියරක් පසුගිය 30 වැනි දා උදෑසන 9 සිට වේයන්ගොඩ, නයිවල ද කොවැන්රෝ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණා. වර්තමාන මාතෘ පරම්පරාව අත්විඳින කාර්‍යබහුල ජීවන රටාවෙන් මිඳී සුභාවිත ගීත රසවින්දනය වෙනුවෙන් අවස්ථාව සැලසීම මෙම වැඩසටහනේ අරමුණයි. ඒ සඳහා වැඩසටහනේ දී ගායනා කරන ගීත විචාරය කිරීම සඳහා ප්‍රවීණ ගී පද රචක, ගීත විචාරක ධම්මික බණ්ඩාර විද්වතාණන් සම්පත් දායකත්වය ලබාදුන්නා.

ගී රසවින්දනයට අමතරව අලුත උපන් බිළිඳා නාවා ගැනීම පිළිබඳවත්, දරුවන්ව නිවසේ දී සිදුවන අනතුරු වලින් වැලැක්වීම පිළිබඳවත් දැනුවත් කිරීම සඳහා ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරිණී පුෂ්පා රම්‍යාණි ද සොයිසා මෙනෙවිය සිය සම්පත් දායකත්වය ලබාදුන්නා.

වැඩසටහන සඳහා ප්‍රධාන දායකත්වය ලබාදුන්නේ ‘ස්වාභා බේබි’ සංනාමයයි. ‘ස්වාභා බේබි’ අනුග්‍රහයෙන් වැඩසටහන සඳහා සහභාගී වූ සියලුම මව්වරුන්ට ළඳරු නිෂ්පාදන ඇතුලත් ත්‍යාග පාර්සලයක්  ලබාදුන්නා.

“මවගේ විශ්වාසයයි, සොබාදම් රැකවරණයයි” යන තේමාව රැගත් නවතම ළඳරු නිෂ්පාදන සංනාමයක් වන ‘ස්වාභා බේබි’ ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි ළඳරු නිෂ්පාදන ඔබ වෙත රැගෙන එන ආයතනයක්. බිළිඳු සමට ගැලපෙන බවට සායනික පර්‍යේෂණ හරහා තහවුරු කරන ලද ස්වාභා බේබි නිෂ්පාදන IFRA (International Fragrance Association) සහතිකය සහිත නිෂ්පාදන පෙළක්  වන අතර බිළිඳු සමට සුදුසු  PH අගයක් ද සහිතයි. මිනරල් තෙල්, පැරබන් හා සිලිකන් වැනි අහිතකර සං‍යෝග රහිත, ස්වාභාවික ශාකසාර සංයෝගයන්ගෙන් පිරිපුන්, බිළිඳු සමට ගැළපෙන බේබි ක්‍රීම්, බේබි කොලෝන්, බේබි ඔයිල්, බේබි වොශ්,බේබි සබන් යන නිෂ්පාදන ස්වාභා බේබි සංනාමය යටතේ වෙළෙඳපොලට නිකුත් කර තිබෙනවා.

මීට අමතරව වැඩසටහන සඳහා අනුග්‍රහය දැක්වූ “Dil Foods” ආයතනය විසින් සියලුම ගර්භනී මව්වරුන්ට වියළි ආහාර පාර්සලයක් ලබාදීම ද සිදු කෙරුණා.

මිනුවන්ගොඩ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ වෛද්‍ය මහත්ම මහත්මීන්, පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් සහ සෙසු කාර්‍ය මණ්ඩලයේ සුවිශේෂී සහයෝගය ද සහිතව වැඩසටහන සඳහා සංවිධාන ශක්තිය ලබාදුන්නේ අයිඩියාහෙල් ආයතනයයි.