රූපලවන්‍ය

කොටා බීපිය මදිනම් කාපිය පිපිඤ්ඤා…! – පිපිඤ්ඤා වලින් ලස්සන වෙමු!

ආගම් අර්බුද, ආර්ථික අර්බුද අස්සෙ තවත් අරුම පුදුම අර්බුදයක් පහුගිය දවසක අයිස්ලන්තෙ ඇතිවෙලා තිබුණා. ඒක පිපිඤ්ඤා අර්බුදයක්. මේ පිපිඤ්ඤා අර්බුදයට හේතුව වෙලා තිබුණේ පිපිඤ්ඤා සමඟ තලතෙල්, සුදුලූනු, සහල් විනාකිරි, සෝයාසෝස් සහ චිලි ඔයිල් එකතු කරලා හදන පිපිඤ්ඤා සලාද වට්ටෝරුවක් ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම. ඒකත් එක්ක අයිස්ලන්තෙ වැසියෝ වැල නොකැඩී වෙළෙදසැල්වලට ගිහින් පිපිඤ්ඤා මිලදී ගත්තලු. ඒ මේ අලුත් සලාද වට්ටෝරුව අත්හදා බලන්න හිතාගෙන. අයිස්ලන්තයේ ගොවි සංගමය බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කරලා තියෙන විදියට මේ ටික්ටොක් රැල්ලත් එක්ක පෙරට වඩා දෙගුණයකින් පිපිඤ්ඤා අලෙවි වෙලා. 

මේ පිපිඤ්ඤා සලාදය තවත් ජනප්‍රිය වීමෙන් අයිස්ලන්තයේ පිපිඤ්ඤා අර්බුදය අතිශයින් උග්‍ර වෙනවා කියලයි බොහෝදෙනා පවසන්නේ. දැන හෝ නොදැන මේ විදියට දවසට පිපිඤ්ඤා ගෙඩියක් හෝ දෙකක් ආහාරයට ගැනීමෙන් සිරුරේ බර ඉක්මනට අඩුවෙන බව, සම පැහැපත් වෙන බව සහ හිසකෙස් වැටීම වැළකෙන බව සමහරවිට අයිස්ලන්ත වැසියෝ නොදන්නවත් ඇති මයෙ හිතේ…

පිපිඤ්ඤාවල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය සහ සිලිකා බහුලත්වය නිසා ඉක්මනින් පහසුවෙන් සහ ආරක්ෂිතව මුහුණේ ඇතිවෙලා තියෙන අඳුරු පැල්ලම් ඉවත් කරගන්න පුළුවන්. ඒකට පිපිඤ්ඤා පෙති දෙකක් දෑස් මත තබා එය මතින් පිපිඤ්ඤා යුෂ ගැල්වූ පුළුන් කැබලි දෙකක් තියලා මිනිත්තු විස්සකට පමණ පසුව සෝදා හැරීමයි කළ යුත්තේ. ඇස් යට ඉදිමීමට ලක්වෙලා ඉන්න කෙනෙක් නම් මේ විදියටම පිපිඤ්ඤා පෙති දෙකක් ඇස් මත තබාගෙන හිඳීමෙන් ඉදිමුම් අවම කරගන්න පුළුවන්.

මුහුණේ ඇති අඳුරු පැල්ලම් මකා හරින්න පිඤ්ඤා පාවිච්චි කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි පිපිඤ්ඤා අයිස්කැට කියන්නෙ. මේ සඳහා ලෙමන් බෑයක යුෂ, කුඩා ප්‍රමාණයේ පිපිඤ්ඤා ගෙඩියක් සහ කුඩා අර්තාපල් ගෙඩියක් එකට අඹරලා ලබාගත් යුෂ අයිස් ට්‍රේ එකකට දාලා ශීත කරගැනීමයි මුලින්ම කරන්න ඕනෑ. පැය හත අටකට පස්සේ හොඳින් කැට බවට පත්වුණු පිපිඤ්ඤා යුෂ ඇස්වට සහ මුහුණේ, බෙල්ලේ අඳුරු ප්‍රදේශවල ආලේප කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. 

මුහුණේ සහ බෙල්ලේ ඇති වී තිබෙන ලප කැලැල් අවම කරගැනීමට ග්‍රේටරයක් ආධාරයෙන් ගාගත් පිපිඤ්ඤා ස්වල්පයක් මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 20ක් පමණ තැබීම වඩාත් සුදුසුයි. මේත් සමඟම සම පැහැපත් කරගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ගාගත් පිපිඤ්ඤාවලට නැවුම් ලෙමන් යුෂ ස්වල්පයක් එක් කරලා ආලේප කරන්න පුළුවන්. 

කුරුලෑ කරදරෙත් එක්ක ඔට්ටු වෙන කෙනෙක්ට පිපිඤ්ඤා සහ ඕට්ස් මිශ්‍ර මාස්ක් එකක් ගෙදරදීම පහසුවෙන් හදාගන්න ගන්න පුළුවන්. කුඩා පිපිඤ්ඤා ගෙඩියක භාගයක්, ඕට්ස් තේ හැඳි තුනක්, ලෙමන් යුෂ තේ හැඳි දෙකක් සහ කෝමාරිකා මදයක් හොඳින් අඹරාගෙන සැකසෙන පල්පය කුරුලෑ සහිත ප්‍රදේශවල ආලේප කරන්න ඕනෑ. පස්සේ මිනිත්තු දහයක් පහළොවක් පමණ පල්පය මුහුණේ තිබෙන්නට හැරලා උණුසුම් ජලයෙන් සෝදා හැරීම සුදුසුයි. මේ ක්‍රමයෙන් මුහුණේ ඇති කුරුලෑ අවම වෙනවා විතරක් නෙවෙයි. සම පෝෂණය කිරීමටත්, පිරිසිදු කිරීමටත් වගේම සමේ මියගිය සෛල ස්ථර ඉවත් කිරීමටත් හේතුවක් වෙනවා.

තරමක් ඝනකමට කැපූ පිපිඤ්ඤා පෙති කැබලි ප්ලාස්ටික් බෑගයක අසුරා අධිශීතකරණයේ ශීත කිරීමෙන් පසුව ඒවා ඍජුව මුහුණට භාවිතා කිරීමෙනුත් විවිධ ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. අධික රස්නෙ කාලවලදී වගේම, සම ඉක්මනින් වියළී යන අවස්ථාවලදී සමේ තෙතමනය ආරක්ෂා කරන්න අධිශීත කළ පිපිඤ්ඤා කැබලිවලට පුළුවන්. මේ ක්‍රමය හරහා සමේ මාංශ පේශී සන්සුන් වෙනවා වගේම ස්නායු ප්‍රබෝධමත් වීමත් සිද්ධ වෙනවා. ඉතින් දරාගන්න බැරි තරම් රස්න කාලවලදිත්, කොයි කාලෙකදි වුණත් සම ඉක්මනින් වියැළෙන කෙනෙක් ඉන්නවානම් එයාලටත් අත්හදා බලන්න සුදුසුම ක්‍රමයක් තමයි මේක. 

සම පැහැපත් කරගන්න වගේම සම සුමුදුව තියාගන්න පිපිඤ්ඤා වතුර එකකුත් ලේසියෙන්ම ගෙදරදි හදාගන්න පුළුවන්. පිපිඤ්ඤා ගෙඩියක් හොඳින් පිරිසුදු කරලා පෙති හෝ කැට ආකාරයට පළමුවෙන්ම කපාගන්න ඕනෑ. වතුර කෝප්පයක් එක්කළ භාජනයක් ලිප තබා මිනිත්තු පහත් හතත් අතර ප්‍රමාණයක් මේ පිපිඤ්ඤා කැබලි ගිල්වා ඉන් පසුව ලිපෙන් ඉවත්කර සිසිල් වීමට තැබිය යුතුයි. අවසානයේ එම පිපිඤ්ඤා කැබලි වතුරත් සමඟම තත්පර විස්සක් පමණ බ්ලෙන්ඩ් කර දියරය හොඳින් පෙරාගෙන ස්ප්‍රේ බෝතලයක ගබඩා කරගත යුතු වෙනවා. මෙම දියරය දින දෙකකට වරක් මුහුණ මත ඉසීමෙනුත්, පුළුං කැබැල්ලක් ආධාරයෙන් මුහුණ මත ගැල්වීමෙනුත්, ෆේස් මාස්ක් එකක් මත ගල්වා එය මුහුණට භාවිතයෙනුත් වඩා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. 

පිපිඤ්ඤා යුෂ තේ හැඳි හතරක්, රෝස වතුර මේස හැඳි දෙකක් සහ මින්ට් යුෂ මේස හැඳි දෙකක් මිශ්‍ර කිරීමෙන් පිපිඤ්ඤා ටෝනර් එකක් සාදා ගැනීමේ හැකියාව තියෙනවා. මෙම ටෝනරය දිනපතා මුහුණට භාවිතා කිරීමෙන් මුහුණ මත ඇතිවී ඇති සිදුරු වැසී ගොස් පැහැදිලි සහ නිරෝගී සමක් ලබාගන්න පුළුවන්. 

නිතර මුඛ දුර්ගන්ධය ඇතිවන කෙනෙක්ට පිපිඤ්ඤා පෙත්තක් තත්පර අනූවක පමණ කාලයක් මුඛයේ තල්ල මත රඳවාගෙන සිටීමෙන් මුඛ දුර්ගන්ධය ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. පිපිඤ්ඤා මගින් නිකුත් කරන ප්‍රභා රසායනික හරහා මුඛ දුර්ගන්ධය ඇතිවීමට බලපාන බැක්ටීරියා විනාශ කිරීම තමයි මේකට බලපාන්නේ. 

දිදුලන නිරෝගී සමක් ලබාගැනීම සඳහා පිපිඤ්ඤා ගෙඩි බාගයක්, අන්නාසි පෙති කීපයක්, ඇපල් ගෙඩි භාගයක් සහ ඉඟුරු කැබැල්ලක් හොදින් බ්ලෙන්ඩ් කර එම යුෂ දිනකට වරක් පානය කිරීම සිදුකළ හැකියි. 

මේ විදියට පිපිඤ්ඤා අපේ ශරීරයේ බාහිරට වගේම ශරීරය අභ්‍යන්තරයටත් බොහෝසෙයින් වටිනා ප්‍රයෝජන ලබාදෙනවා. අපේ මොළයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ස්පින්ගොලිපිඩ් නම් මේද විශේෂය සෑදීමටත් පිපිඤ්ඤා උපකාරී වෙනවා. මේ හරහා අපේ සිරුරේ පවතින ආතති හෝමෝනයක් වෙන කෝටිසෝල් පාලනය කරලා අවශ්‍ය මට්ටමේ පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. 

ඉතින් ගතට සුවදෙන මේ පිපිඤ්ඤා සත්කාර පහසුවෙන්ම අත්හදා බලන්න හැකි නිසා තවත් බල බල ඉන්න එපා. මතකයිනෙ රැල්ලක් එන්න කලින් අදම උත්සාහ කරල බලන්න. 

පවනි වාසනා