රූපලවන්‍ය

ලස්සන කන්නද? හිත ලස්සන නැති ගැහැනිය ගිනිකෙළියයි!

90 දශකයේ මැදභාගය වෙද්දී එවකට ලංකාදීප පුවත්පතේ කර්තෘ වුණ ඩී.බී.ධනපාල මහත්තයාගේ අදහසකට අනුව ‘පංච කල්‍යාණියෝ’ කියලා තරඟයක් සංවිධානය වුණා. පස්සේ කාලෙක ලංකාවේ සුරංගනී, වනමෝහිනී, සංදේශය වගේ චිත්‍රපට බොහෝමයකට රංගනයෙන් දායක වෙලා ජනප්‍රිය නිළියක් බවට පත්වුණු කාන්ති ගුණතුංග කියන්නේ 1956 අවුරුද්දේ පැවැත්වුණ මේ තරඟයෙන් පළමු තැන දිනාගත්තු තරුණිය. ඇයට තරඟයෙන් දිනන්න විශාලම පිටුබලය වුණ දිගු කෙස්කළඹ ගැන පස්සේ කාලෙක කරපු පුවත්පත් සංවාදයකදී ඇය මෙන්නමෙහෙම කතාවක් කියලා තිබුණා.

“මගේ අම්මාත් හරි ලස්සනයි. අම්මා පොල්වත්ත පන්සලේ දානපතිනියක්. ඉතිං දවසක් පන්සලට ගියපු වෙලාවක අම්මා දැකලා තිබුණා පන්සලේ පොත් රාක්කේ දූවිලි පිහිදාන්න මුස්නක් නැහැ කියලා. ඊටපස්සේ අම්මා දිග කොණ්ඩෙ කපලා මුස්නක් හදලා පූජා කළා. අපේ අම්මා ලස්සනට හිතන කෙනෙක්. ඇය නිතරම අපිට කිව්වේත් මේ හැමදෙයක්ම නැතිවෙලා යාවි, ඒත් කවදාවත් හිතේ ලස්සන නැති කරගන්න එපා. හිත් ලස්සන වුණාම අපි කොහොමත් ලස්සන වෙනවා කියලයි.”

කේශ, මාංස, දන්ත, ඡවි, වයඃ යන පංච කළ්‍යාණය ලබාගන්න ආලේපන විතරක් නෙමෙයි හිතේ ලස්සන වගේම පෙර කුසල් අකුසල් පවා බලපාන බව ඒ කතාවෙන් මොනවට පැහැදිලි වෙනවා කියලයි අපිට හිතෙන්නේ. ඒ නිසා මේ ලිපිය කියවන අයටත් පංච කල්‍යාණියක් වගේ හැඩ වෙන්න ඕනෑ නම් මුලින්ම යහපත් සිතුවිලිවලින් හිත ලස්සන කරගන්න. ඊටපස්සේ පහතින් දක්වලා තියෙන ආයුර්වේද සත්කාර කිහිපය අත්හදා බලන්නත් අමතක කරන්න එපා.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව පංච කල්‍යාණය තුළ අන්තර්ගත වන්නේ දික්ව වැඩුණු නිල්වන් කෙස්කලඹ, පැහැපත් නිරෝගිමත් සම, මනාව පිහිටි දත්පෙළ, සිරුරට සරිලන ප්‍රමාණයට සැකසුණු මාංශපේෂී  පිහිටීම වගේම වයසට වඩා තරුණ පෙනුමක් තිබීමයි. ඒ නිසා පංච කල්‍යාණය ලබාගැනීමට වගේම පවත්වා ගැනීමට කායික හා මානසික ශක්තිය නිවැරදිව පවත්වා ගැනීම, නිරෝගීකම, සෞඛ්‍ය සම්පන්න බව වගේ දේවල් වැදගත් වෙනවා. ඊට අමතරව හිරුඑළිය, පිරිසිදු වාතය, මානසික නිදහස, ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම, නැවුම් එළවළු පලතුරු වගේම පලා වර්ග එදිනෙදා ඔබේ ආහාරවේලට එකතු කරගැනීමත් ඉතාම වැදගත්. 

ඉතින් මේ පංච කල්‍යාණය ලබාගැනීමට සිදුකළ හැකි බාහිර සත්කාර අතර කොහොඹ තෙල් සත්කාරයට හිමිවෙන්නේ විශේෂ තැනක්. ඒ සඳහා කොහොඹ තෙල් සමේ හා හිස්කබලේ ආලේප කරන්න පුළුවන්. කොහොඹ පත්‍ර යුෂවලට දෙහි ස්වල්පයක් එක් කරලා හිසේ ආලේප කිරීමෙනුත් හොඳ කෙස්කළඹක් ලබාගන්න පුළුවන්.

ඒ වගේම ශරීරයේ දුර්ගන්ධය හා වෙහෙසකාරී බව නැතිකොට සුන්දර සමක් ලබා ගැනීමට නම් රෝස පෙතිවලට මී පැණි, සුදු හඳුන් කුඩු මිශ්‍ර කරලා ඒ මිශ්‍රණය  මුහුණේ ආලේප කර විනාඩි 30කට පසු මද උණුසුම් වතුරෙන් සෝදන්න පුළුවන්. 

යෝගට් සහ මී පැණි නැත්නම් මී පැණි එක්ක කහ මිශ්‍ර කරලා මුහුණේ ආලේප කිරීමෙනුත් පැහැපත් දීප්තිමත් සමක් පහසුවෙන්ම ලබාගන්න පුළුවන්.

ඒ වගේම හිසකෙස් වර්ධනය කරගන්න වගේම නිරෝගී කෙස්කළඹක් ලබාගන්න බිත්තර කහමදය ගෙන හිසකෙස් මත හා හිස්කබලේ හොඳින් ආලේප කර විනාඩි විස්සක් තබා සෝදාගන්න පුළුවන්.

සමේ කැලැල්, කොරල, කකුල් පැලීම් නිසාත් ඔබේ සිරුරට එක්වන අවලස්සන නැති කර ගැනීමට එම ස්ථානවල මී කිරි කොටස් එකකට වතුර කොටස් හතරක් (1:4) මිශ්‍රකර ආලේප කර ගත හැකියි.

ඒ වගේම නෑමට පෙර ශරීරයේ තල තෙල් ආලේප කරලා පිරිමදිනවා  නම් කෙටි කලකින්ම දීප්තිමත් සමක් ලබාගන්න පුළුවන්.

කුංකුම රේණු ගෙන හොඳින් අඹරා ඒකටම එළකිරි ස්වල්පයක් සහ අමුකහ කැබැල්ලක් එක් කරලා ආපහු හොඳින් අඹරලා මුහුණේ සහ අත්පාවල ආලේප කිරීම දීප්තිමත් සමක් ලබාගැනීමට සිදුකළ හැකි හොඳ සත්කාරයක්. ඒකට අලේපනය විනාඩි 20ක් විතර තියලා මද උණුසුම් ජලයෙන් සෝදා හැරීමයි කළ යුත්තේ.

හිසකෙස්වලට වගේම හිස්කබලටත් එඬරු තෙල් තේ හැඳි දෙකක් අරගෙන ඒකට මී පැණි තේ හැඳි දෙකක් දාලා හොඳට කවලම් කරලා හිස්කබලේ ආලේප කරගන්න. ඊටපස්සේ හොඳට සම්භාහනය කරලා විනාඩි 20කින් සෝදා හැරියා නම් හරි.

ඒ විතරක් නෙවෙයි කෝමාරිකා මද කිහිපයක් අරගෙන හිස්කබලේ වගේම හිසකෙස්වලත් හොඳින් ආලේප කරලා විනාඩි විස්සක් විතර තබා ඉවත් කරගැනීමෙනුත් හිසකෙස් හොඳින් වර්ධනය වෙලා නිරෝගී දීප්තිමත් හිසකෙස් ලබාගන්න පුළුවන්.

ඉහතින් දක්වපු සත්කාර ස්වභාවික ශාක, මල්, පැලෑටි, පලතුරු යුෂ ආදියෙන් යුක්ත නිසා ශරීරයට හානියක් නොවෙන තරම්. ඒත් වෙනත් අසාත්මිකතා වගේම රෝග ඇත්නම් වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරීම තමයි නුවණට හුරුම.

උපදෙස් – වෛද්‍ය එස්.එම්.මධුෂාණි වත්සලා කුමාරි

(ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී)

ප්‍රධාන වෛද්‍ය නිලධාරී – ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික්, මාවනැල්ල

නෙත්මි තෂාරා