නවතම ප්‍රවෘත්ති

පෙරහරේ යන අලි ගැන දුක හිතිලා අනුර කුමාර රොබෝ අලියෙක් හදලා

 

 

ගවයා තරම් ඉන්දීය සංස්කෘතිය එක්ක හරි හරියට බද්ධ වුණු තවත් සත්වයෙක් තමයි ඇතා. සාමාන්‍යයෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය කියන්නේ කෝවිල් පෙරහර ඇතු‍ළු විවිධ ආගමික කටයුතු වෙනුවෙන් ඇතුන් යොදාගන්න ප්‍රාන්තයක්. ඒත් මේ වසරේ මුල එරටේ සත්ව හිංසනය සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇතිවීම නිසා කේරළයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ ඇති ඉරින්ජදප්පිලි ශ්‍රී ක්‍රිෂ්ණ කෝවිලේ වාර්ෂික පෙරහරට ඇතෙක් යොදාගැනීම ගැටලුකාරී වුණා. ඒ මොහොතේ එරටේ ‘People for Ethical Treatment of Animals’ කියන සංවිධානය පෙරහර ඇතුළුව කෝවිලේ අනෙකුත් චාරිත්‍ර සඳහා යොදාගැනීමේ අරමුණින් ඇතෙක් පරිත්‍යාග කළා. හැබැයි ඔවුන් ඒ විදියට කෝවිල වෙත පරිත්‍යාග කළේ ඔවුන් විසින්ම නිර්මාණය කෙරූ රොබෝ (යාන්ත්‍රික) ඇතෙක්. එම රොබෝ ඇතා නිර්මාණය කරන්න ඔවුන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 5ක් ගියාලු. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 20කට ආසන්නයි. කොහොම හරි ඒ ප්‍රවෘත්තිය ලෝකයේ හතරදික්බාගෙම ප්‍රසිද්ධ වුණා.

“ඉස්සරහට මෙහේ තියෙන පෙරහරවල යන්නත් ඔහොම අලි හදන්න වෙයි.”

ඒ තමයි රොබෝ ඇතාගේ විස්තරේ මෙරට මාධ්‍යවල අහපු දැකපු අපේ රටේ උදවිය කියපු කතාව. හැබැයි ඔබ දන්නවද දන්නෙ නෑ අල්ලපු රටේ ඔය කියපු රොබෝ ඇතා හදන්න කලින් ඒ හපන්කම කරලා තිබුණේ අපේ රටේ මනුස්සයෙක්. ඒ මෑතකදි නෙවෙයි මීට අවුරුදු 9කට කලින්. හරියටම කිව්වොත් 2015 අවුරුද්දේ. ඔහු බොරලැස්ගමුවේ එගොඩවත්තේ පදිංචි 55 හැවිරිදි ඩී.එස්.අනුර කුමාර මහත්තයා. මේ වෙනකොට පෙරහරක ධාතු කරඬුව වැඩමවන්න පවා හැකි විදියට නිර්මාණය කළ අපේ රටේ පළමු සහ එකම රොබෝ හෙවත් යාන්ත්‍රික ඇතාගේ අයිතිකාරයා ඔහු. හිටි ගමන් පෙරහර කාලවලට අපේ රටෙත් අලි ඇත්තුන්ගේ ප්‍රශ්නය ලොකුවටම මතුවෙන එකේ මෙදා සැරේ අපට හිතුණා අනුර කුමාර මහත්තයාව මුණගැහිලා ඔහු ළඟ ඉන්න රොබෝ ඇතාගේ කතාව මුළු රටටම කියන්න.

“මම අනුර කුමාර. වෘත්තියෙන් චිත්‍ර සහ මූර්ති නිර්මාණ ශිල්පියෙක්. ඒ වගේමයි මම දරු දැරියන්ට නොමිලේ උගන්වන ගුරුවරයෙක්. බොරලැස්ගමුවේ එගොඩවත්තේ තියෙන හංස කලායතනය මම කරන්නේ. එහි මං දරු දැරියන්‍ට චිත්‍ර සහ මූර්ති නිර්මාණ ශිල්පය උගන්වනවා. ඒ දේවල් කරන අතරේ තමයි රොබෝ ඇතා නිර්මාණය කළේ.”

ඔබට මතකද දන්නෑ 2015 අවුරුද්දේ නුවර ඇසළ පෙරහර කාලේ ළංවෙනකොට අපේ රටේ අලි ප්‍රශ්නයක් ආවා. අලි ප්‍රශ්නයක් කිව්වේ අලි නැති ප්‍රශ්නයක් නෙවෙයි පෙරහරවලට අලි යොදාගැනීම ගැන ප්‍රශ්නයක්. ඒක සත්ව හිංසනයක් කිව්වා. දංවැල්වලින් අතපය බැඳගෙන පෙරහරවල ගෙනියන්න බුදු හාමුදුරුවෝ දේශනා කරලා නෑ කිව්වා. ඒ වගේම අලි ඇත්තු ඉන්න ඕන කැලෑවල කිව්වා. ඔය වගේ දහසක් කතා කිව්වා. ඒ එක්ක අපේ රටේ බොහෝදෙනෙක් අලි ඇතුන් පෙරහරවලට යොදාගන්න එකට සෑහෙන්න විරුද්ධ වුණා. ඔය අතරේ අපේ අනුර කුමාර මහත්තයට හිතුණලු ඒකට විසඳුමක් විදියට රොබෝ තාක්ෂණයෙන් ඇතෙක්ව නිර්මාණය කරන්න.

“ඒත් ඉතින් එහෙම දෙයක් හදන්නේ කොහොමද කියලා ලොකු අදහ‍සක් තිබුණේ නෑ. ඔය අතරේ දවසක් නිදාගෙන ඉන්නකොට හීනෙන් ඇතෙක්ව හදන හැටි මට පෙනුණා. ඒ එක්ක මට ඇතාව හදන්නේ කොහොමද කියලා අදහසක් ආවා. ඒ වෙද්දි ළඟම තියෙන්න තිබුණේ බෙල්ලන්විල පෙරහර. ඊටපස්සේ මං ඒ වෙනුවෙන් ඇතා හැදුවා.”

කොහොම හරි යකඩවලින් ඇතා හදන්න ඔහුට මාස එකහමාරක විතර කාලයක් ගිහින්. ඒ වගේමයි ලක්ෂයකට කිට්ටු මුදලකුත් ගිහින්. අන්තිමේ සියලු වැඩ අවසන් කරලා ගේ ඉස්සරහා ඇතා තියලා තියද්දි ගමේ මිනිස්සුත් රැවටිලා.

“ඇතා හැදුවේ අඩි 7ක් උසට. හොඬවැල, අත්, කකුල්, කන්, වලිගය හැමදේම වගේ හොළවන විදියටයි හැදුවේ. බැට්‍රියක් ආධාරයෙන් ඒක කළේ. ආයෙත් ඉතින් ඇතාමයි. අඩුපාඩුවකට කියලා තිබුණේ පණ නැති ටික විතරයි. රෑට යද්දි පත්තු වෙන්න බල්බ් පවා දැම්මා. රන්සිලු ගේත් හැදුවා. ඔක්කෝම කරලා අන්තිමේ ‘රාජු’ කියලා නම තිබ්බා.”

බෙල්ලන්විල රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහරටලු රාජුව මුලින් සහභාගි කරවලා තියෙන්නේ. එදා පටන් අද වෙනතෙක් රොබෝ රාජු ලංකාව වටා තියෙන පෙරහර 40කට කිට්ටු ගාණකට සම්බන්ධ වෙලා. ඒ අතරින් සිව්වතාවක් බෙල්ලන්විල ඇසළ පෙරහරට සහභාගි වෙන්න ලැබීම ලොකු භාග්‍යයක් බවයි අනුර කුමාර මහත්තයා ‘ධරණී’ට කිව්වේ.

“රාජු පෙරහරේ යද්දි සෑහෙන්න ප්‍රතිචාර ලැබෙනවා. ගොඩාක් පොඩි දරුවන්ගෙන් ලැබෙන්නේ. රාජුත් එක්ක වයස් භේදයක් නැතුව ෆොටෝස් ගහන අයත් මේ වෙද්දි ඉන්නවා. එහෙම ප්‍රතිචාර නම් සෑහෙන්න ලැබෙනවා.”

අනුර කුමාර මහත්තයා ඒ කතාව කිව්වේ අවුරුදු 9ක් පුරාවට පෙරහරේ ගිය රාජුට ලැබෙන ප්‍රතිචාර ගැන අහලා බැලුවම. ඒ අතරෙයි ඔහු කිව්වේ ගෙවුණු කාලය පුරාවට අමතක නොවන මතක ගොඩකුත් ඒ අතරේ තියෙනවා කියලා.

“එක සැරයක් බෙල්ලන්විල පෙරහරේ යනකොට එක මනුස්සයෙක් උක් ගස් වගයක් කන්න දැම්මා. ඒ පෙරහරේදිම දවසක් කෙනෙක් බඩඉරිඟු කරලක් දික්කළා. තව පෙරහරක් දවසක දන්සලක් ළඟින් යද්දි රාජුටත් බනිසයක් දැම්මා. ඒ ඇත්ත එකෙක් කියලා හිතලා. අනිත් දේ රෑට ගොඩාක් අය රාජු ඇත්ත අලියෙක් කියලා රැවටෙනවා. පෙරහර බලන අය බයේ පස්සට යන හැටි මං ඇස් දෙකටම දැකලා තියෙනවා.”

 

*රොබෝ ඇතාව පෙරහරවලට සහභාගි කරවන්න කීයක් ගන්නවද?

“(සිනාසෙමින්) මුලින් නිකන්ම අරගෙන ගියේ. මං ඌ අරගෙන යනකල් සමහරු දන්නෙවත් නෑ. හරි කැමැත්තෙන් තමයි පෙරහරවලට ගියේ. ඒත් දැන් ප්‍රවාහන වියදම් එහෙම තියෙන නිසා පෙරහර කමිටුවට කැමති ගාණක් බලලා දෙන්න කියනවා. ඇත්තටම අංක එක මුදල් නෙවෙයි.”

රාජු ඇතා නිර්මාණය කිරීමට සහ අනුර කුමාර මහත්තයාගේ අනෙකුත් චිත්‍ර සහ මූර්ති නිර්මාණ අගයමින් 2019 අවුරුද්දේ ඔහුට ජනාධිපති සම්මානත් ලැබිලා.

“මේ වෙනකොටත් අපේ රටේ හීලෑ අලි ඇත්තු ඉන්නේ ටිකදෙනයි. ඇත්තු නම් විස්සකටත් අඩු ඇති. ඒ නිසා රාජු වගේ රොබෝ අලි ඇත්තු අනාගතේ පෙරහර සඳහා උවමනා වෙයි. ඒ නිසා මං හිතන් ඉන්නවා ලබන අවුරුද්දේ වගේ තවත් රොබෝ අලියෙක්ව නිර්මාණය කරන්න.”

 

*පෙරහරවලට අලි ඇත්තු යොදාගන්න එකට ඔබ විරුද්ධයිද?

“අනේ නෑ. පෙරහර කියන සංස්කෘතික අංගයට අලි ඇත්තු ඉන්න ඕන. හුඟාක් අය පෙරහරක් බලන්න යන්නෙත් අලි ඇත්තු හින්දනේ. ඒත් මං ආස නෑ කිසිම අලියෙක් ඇතෙක් දංවැල් දාලා පෙරහරේ එක්ක යනවට. අලියා කියන්නේ පුදුම හික්මීමක් තියෙන සතෙක්. ඒක එහෙම වෙලත් හිරකාරයෝ වගේ අලි ඇත්තු පෙරහරේ එක්ක යනවට මං විරුද්ධයි.”

අනුර කුමාර මහත්තයා එහෙම කියලා ඉදිරියේ රාජුට තියෙන පෙරහර මංගල්‍යය කීපයකුත් මතක් කළේ පණ තියෙන අලි ඇතුන්ට වගේ ඉල්ලුමක් අද වෙද්දි රාජුටත් හැදිලා තියෙන විත්තියත් අපිට පැහැදිලි කරන ගමන්.

“එන 26 වැනිදා අපේ ගම කිට්ටුව එක පෙරහරක් තියෙනවා. 27 රත්මලානේ එකකට ආරාධනා කරලා තියෙනවා. මේ දවස්වල කඨින පෙරහර කාලේ නිසා සෑහෙන්න ආරාධනා එනවා. මමත් ඒවට හරි ආසාවෙන් රාජු අරන් යනවා. මගේ නොම්බරේ 0717097163. කතා කළොත් ඕනම පෙරහරකට අපි එන්න ලෑස්තියි.”

අවුරුදු 9ක් පුරාවට නොකා නොබී පෙරහරේ යන අනුර කුමාර මහත්තයට අයිති ලංකාවේ එකම රොබෝ ඇතාගේ කතාව ඔන්න ඕකයි.

රුවන් එස්.සෙනවිරත්න