නවතම ප්‍රවෘත්ති

මම ඉංග්‍රීසි කතා කරන විදිය දැකලා ගොඩක් අය අහනවා මම පිටරට ආයතනයකට සම්බන්ධ කෙනෙක්ද කියලා හැබැයි මම කුරුඳු තලන කෙල්ලෙක් සාමාන්‍යපෙළ ඉංග්‍රීසිත් ෆේල්

  

තරමක් කාර්යබහුල සහ විඩාබර වූ සතියක අවසානයේ කොළොම්පුරේ බෝඩිමේ සිට ගාලුපුරේ නිවස බලා නික්මෙන්නට සිතා මා පසුගිය සෙනසුරාදා උදෑසනම රජරට රැජින දුම්රියට නැගගත්තෙමි. දුම්රිය කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කොට පානදුර, දකුණු කළුතර, අලුත්ගමත් පසුකර අම්බලන්ගොඩට පැමිණියා පමණි මට මිතුරියකගෙන් දුරකතන ඇමතුමක් ලැබුණි. මිත්‍ර සමාගමය සමඟ මාදු ගඟේ සවාරියක් ගොසින් ඉන්පසු නිවෙස බලා යාමට මීළඟට එළැඹෙන බලපිටිය ස්ටේෂමෙන් හැකි නම් බසිනා ලෙස ඇය ඇවිටිලි කළාය… කොළොම්තොට කාර්යබහුලත්වයෙන් වෙහෙසට පත්ව සිටි මට ඒ යෝජනාව ඉබ්බා දියේ දැම්මාක් මෙන් වූ නිසා බලපිටිය ස්ටේෂමෙන් බැසගත් මා මිතුරු හවුලට එක්වුණෙමි. ඒ මාදු ගඟ සවාරියේදී පුවත්පත් ලියමනකට කතාවක් ද සොයාගැනීමේ අටියෙනි. 

කිරළ ගස් යායටත් ඊට මැදි වූ මාදු ගංකොමළියටත් ඉහළින් ඉර සේවය සිදු වී හෝරා තුනක් පමණ ගතවන තැන අප සිටියේ ජීවිත ආරක්ෂක ජැකට්ටු ද පැළඳ මාදු ගඟ මැද බෝට්ටු සවාරියේ නිරතවෙමින්ය. පළමුව අප කොද්දූව දූපතට ගොස් කොද්දූව රජමහා විහාරය වැඳපුදාගත්තෙමු. ඉන් අනතුරුව මාදු කිරළ කිරමක රස බලා මාදු ගඟ අවට වූ එකින් එක දූපත් කරා ගොස් ඒවායේ සුන්දරත්වය වින්දෙමු. ඉන් එක් දූපතක සිටියේ කුරුඳු තලනා පිරිසකි. එහි වරිච්චි බිත්තිවලින් බැඳි කුඩා ගෙපළක ලා තැඹිලි පැහැ මල් මල් විස්කෝස් ගවුමකට උඩින් දම් පැහැ චිත්තයක් ඇඳ සිටි තරුණිය දුටුවත්ම මට දැනුණේ හුරුපුරුදු බවකි. සැබෑය. ඒ මුහුණ ඒ තරමටම මතකයේ ළැගුම්ගෙන තිබුණේ පසුගිය දිනක සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝවක් නිසාවෙනි. ඒ වීඩියෝ පටයේ ඇය ගවුමට උඩින් චීත්තයක් හැඳ ඉතාමත් චතුර ලෙස විදේශිකයන්ට කුරුඳු තැලීමේ ක්‍රියාදාමය පිළිබඳව පැහැදිලි කරමින් සිටියාය. දැන් මේ මා ඉදිරිපස සිටින්නේ සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය වූ ඒ වීඩියෝ පටයේ සිටි යුවතියයි. වීඩියෝවේ දුටු පරිදිම ඇය ඒ මොහොතේත් ඉංග්‍රීසි බසින් කුරුඳු තැලීමේ ක්‍රියාවලිය විදේශිකයන්ට පැහැදිලි කරමින් සිටියාය. ඇය ඉසිඹුවක් ලැබූ මොහොතක් බලා මා ඈ සමීපයට ගියේ ඇය සමඟ වචනයක් දෙකක් කතා කරන්නට සිතාය.

“මම ඩී.එච්.සුදේශිකා ප්‍රියානි. මගේ වයස අවුරුදු 25ක්. දැන් මාස දෙක තුනක් විතර වෙනවා මම මේ විදියට කුරුඳු තලන්න පටන්අරගෙන. පුංචි කාලේ ඉඳලම මේ වැඩේ අපිට හුරුයි. ඒකට හේතුව අවුරුදු 32ක් තිස්සේ  අපේ සීයගේ එකම රස්සාව වුණේ කුරුඳු තලන එක. ඉතින් පුංචි කාලේ ඉඳලම සීයට උදව් වුණු නිසා අපිටත් දැන් මේ වැඩේ හොඳට පුළුවන්.”

කුඩා කළ සිටම දෙමව්පිය සෙනහස අහිමිව සීයාත් අත්තම්මාත් ඇසුරේ හැදී වැඩුණ ඇය සීයා සමඟ කුරුඳු තලන්නට හුරුව තිබුණේ වයස අවුරුදු 12 සිටය. අවුරුදු 12න් අරඹා සාමාන්‍ය පෙළ ලියනතෙක්ම තම ජීවන රටාවේ අනිවාර්යය අංගයක් බවට පත්ව තිබූ  කුරුඳු තැලීම ඇයට අත්හරින්නට සිදු වී තිබුණේ විවාහ වී නුවර පදිංචියට යාමත් සමඟය. නමුත් නුවර පදිංචිය වලංගු වී  තිබුණේ වසර කිහිපයකට පමණි.

“ඊටපස්සේ සීයාට තනියම කුරුඳු ව්‍යාපාරය කරගෙන යන්න අමාරු නිසා සීයාට උදව් වෙන්න හිතාගෙන මහත්තයයි මමයි නුවර ඉඳන් ආපහු බලපිටියට ආවා. ඒ ආපු ගමන තමයි  තාමත් මේ ව්‍යාපාරය කරගෙන යන්නේ.”

සීයාට උදව්වට කුරුඳු තැලීමට පැමිණියා වුණත් කුරුඳු තැලීමට අමතරව සුදේශිකාට තවත් වැඩක් පැවරී තිබුණි.

“කුරුඳු ටිකත් අරන් මෙතනට ආවට වැඩක් නැහැ. අපිට මේවා විදේශිකයන්ට විකුණගන්න බැරි වුණොත් අපේ අතට ගාණක් ලැබෙන්නෙත් නැහැ. ඒකනිසා සංචාරකයින් එක්කරගෙන මේ දූපත්වලට ආවාට පස්සේ අපිට ගයිඩ්ලා කියනවා පුළුවන් විදියට කුරුඳු තලන විදිය, ඒවගේ වැදගත්කම පැහැදිලි කරන්න කියලා. මුල් දවස්වල නම් මට ඒක කරන එක ගැන ලොකු වැටහීමක් තිබුණේ නැහැ. මගේ ඉංග්‍රීසි භාෂාව ඒ තරම් දියුණු මට්ටමක තිබුණේ නැහැ. ඒත් සංචාරකයින් එක්ක එතැනට එන ගයිඩ්ලා අපිට ඉංග්‍රීසි වචන කියලා දුන්නා. හදිස්සියෙවත් විස්තර කරගෙන යද්දී වැරදුණොත් ඒ අය වැරදි තැන් කියලා දෙනවා. ඊටපස්සේ ඒ වැරදි හදාගෙන ආපහු විස්තර කරනවා.”

වැරදි වැරදි හෝ සුදේශිකා කුරුඳු පිළිබඳ සිදුකළ විස්තරය පසුයත්ම සංචාරකයින්ගේ පමණක් නොව එතැනට ආගිය ඇත්තන්ගේ ද පුදුමයට හේතු වී තිබුණේ ඇගේ භාෂා හැසිරවීම බ්‍රිතාන්‍ය උරුවක් ගත් නිසාය.

“ගොඩක් අය මගෙන් අහනවා ඔයා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ආයතනයකට අනුබද්ධවද වැඩ කරන්නේ කියලා. මොකද මම ඒ තරම් හොඳට ඉංග්‍රීසි භාෂාව හසුරනවා කියලා ඒ අය කියනවා. ඇත්තටම මම මෙහෙම ඉංග්‍රීසි කතා කරන්නේ පාඨාමාලාවක් හදාරලා නෙමෙයි. පාසලේ මට ඉගෙනගන්න ලැබුණෙත් සාමාන්‍ය පෙළ වෙනකන් විතරයි. ඒත් මේ රස්සාවත් එක්ක වැරදි වැරදි හරි මට ඉංග්‍රීසි කතා කරන්න සිද්ධ වුණා. මුලදි ඒකට බයක් නොතිබුණාම නෙමෙයි. ඒත් කොහොමහරි කුරුඳු ටික සංචාරකයින්ට විකුණගන්න ඕනෑ නිසා පුළුවන් විදියට කුරුඳු ගැන විස්තර කළා. කාලයක් යද්දි භාවිතයත් එක්ක ඒ විස්තරය හොඳටම පුළුවන් වුණා.”

ඇගේ ඒ විස්තරය නිසාම එහි පැමිණෙන බොහෝ සංචාරකයින්ට ඇගේ කුරුඳු මගහැරන්නේ නැත. සංචාරකයින් කණ්ඩායම් කිහිපයක් එන දවසට සුදේශිකාට වැඩ වැඩි වන්නේ ද ඒ නිසාය.

“පොල් අත්තක් වියලා ඒක උඩ කුරුඳු තලන හැටි මුලින්ම කියලා දෙනවා. ඊටපස්සේ අපි හදන කුරුඳු විතරක් නෙමෙයි තෙල්, හඳුන්කූරු වගේ දේවල් විකුණනවා. සංචාරක කණ්ඩායම් ගොඩක් එන දවසට ඒ දේවල් විකුණලා ලොකු ලාබයක් ලබාගන්න පුළුවන්. හැබැයි ඒ ලාබය අපි කිහිපදෙනෙක් අතර බෙදිලා යනවා. සංචාරකයින් එන්නෙ නැති දවසට අදායමක් නැහැ. අනිත් එක කුරුඳු විකුණන අය ඉන්න තව දූපත් මාදු ගඟ අවට තියෙන නිසා ලොකු තරඟයකුත් නැතුවම නෙමෙයි.”

එලෙස කුරුඳු නිසා ලාබ ලැබුණ ද නොලැබුණ ද සුදේශිකාගේ සුපුරුදු දින චර්යාවේ නම් කිසිඳු වෙනසක් සිදුවන්නේ නැත.

“උදේ 8.30 වෙද්දි බෝට්ටුවකින් දූපතට එනවා. ආපහු 5.30 වෙද්දි ඒ බෝට්ටුවෙන්ම ගෙදර යනවා. ඒ ගිහිල්ලා ඊටපස්සේ දවසට විකුණන්න අරගෙන එන්න පාන්දර 2.00 වෙනකන් සීයත් එක්ක එකදිගට කුරුඳු තලනවා. ව්‍යාපරයක් කරද්දී ලාබය, අලාබය කියන දෙකටම අපිට හුරුවෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා ලාබ ලැබුණත් නොලැබුණත් කරන්න තියෙන වැඩ මගහැරගන්න බැහැ. ඒ වෙනුවට ඊළඟ දවසේ වැඩිපුර බිස්නස් ටිකක් කරගන්න මහන්සි වෙලා වැඩ කරනවා.”

රෑ මැදියම පසුවන තුරු දෑතේ විරියෙන් සියල්ල සිදුකරන ඇයට කම්මැලිකම යනු බොහෝ දුර වචනයකි. කතාවට මදකට නවතන්නට සිදු වුණේ සුදේශිකාගේ සිඟිති දියණිය පැමිණ ඇගේ ඇකයෙහි තුරුළු වූ නිසාය.

“දුවට දැන් අවුරුදු 03ක් වෙනවා. තව ටික කාලයක් මේ විදියට මේ රස්සාව කරගෙන ගිහින් දුවව ඉස්කෝලේ යවන්න ආපහු නුවර යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මටත් ඉගෙනගන්න වුණේ සාමාන්‍ය පෙළ වෙනකන් විතරක් නිසා දුවට හොඳට උගන්න එක තමයි දැන් මගෙත් මහත්තයාගෙත් එකම අරමුණ. ඒ අතරේ රස්සාවක් කරන ගමන් හරි උසස්පෙළ ලියලා මම මේ භාවිතයත් එක්ක හුරු කරගත්ත ඉංග්‍රීසි කතා කීරිමේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතාගෙන ඉන්නවා.”

ජීවිතය දිනන්නට මහා සැප සම්පත් භවභෝග නොලැබුවාට කම් නැත. තැනේ හැටියට ඇණේ ගහන්නට හයිය හිතකුත් අවබෝධයකුත් ඇත්නම් ඒ හොඳටම ඇතිය.

සුදේශිකා ද ජීවිතය දිනන්ට යොදාගෙන ඇත්තේ ඒ ක්‍රමයමය. බොහෝ දෙනෙකුට අපහසු යැයි කියන ඉංග්‍රීසි බස චතුර ලෙස හසුරුවමින් ඇය ජීවිතය ගැටගහන්නට වෙර දරන්නේ ඒ නිසාය.

“අද සමාජයේ ජීවත්වෙන්න ඉංග්‍රීසි භාෂාව නැතුව බැහැ. ඇත්තටම මම සාමාන්‍යපෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය අසමත්. අඩුම තරමේ මට පාස් එකක්වත් ගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මට ඉංග්‍රීසි බැහැ කියලා පැත්තකට වෙලා හිටියා නම් මට මේ ව්‍යාපාරය කරගන්න ලැබෙන්නේ නෑ. ඉංග්‍රීසි භාෂාව පුළුවන් ඕනෑම කෙනෙක්ට සංචාරකයින්ට වෙනස් විදියේ නිෂ්පාදන හදලා විකුණන්න පුළුවන්. විකුණන්න විතරක් නෙමෙයි ඒ දේවල් එයාලට ගන්න හිතෙන විදියට ඒ ගැන විස්තර කරන්නත් පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. 

ඉංග්‍රීසි භාෂාව දැනගන්න පාඨමාලා හදාරන්න ඕනෙ නැහැ. අවශ්‍ය එකම දේ භාවිතය විතරයි. ඒකට හොඳම උදාහරණය තමයි මම.”

නෙත්මි තෂාරා