ඇමති බිරිඳක් වෙච්ච නිසා මේ දවස්වල මං හැමෝගෙන්ම බැණුම් අහනවා පබසරා මදුෂානි
මෑත කාලයේ පුංචි තිරයේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි දෙරණ නාලිකාවේ විකාශනය වන ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යය. ඒ ටෙලිනාට්‍යයේ ඇමති බිරිඳක් වන නිමාලි මැඩම්ගේ චරිතයට රංගනයෙන් දායකවෙන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම නිළියක් වෙන පබසරා මදුෂානි. පබසරා කියන්නේ කාලයක් FM දෙරණෙත් හිටපු නිවේදිකාවක්. හැබැයි රංගනයට පැමිණීමත් එක්ක පබසරාට නිවේදනය මගහැරුනා. ඒත් ඇය රංගන ක්ෂේත්රයේ ඉහළටම පැමිණියා. ඉතින් ඒ හැමදේම ගැන කතා කරන්න මෙවර අපි පබසරා මදුෂානිට කතා කළා.
*දැන් පබසරා කියන්නේ ලේසිපහසු චරිතයක් නෙවෙයි නේද?
(සිනාසෙමින්) ඔව් ඔව් දැන් මම ඇමති බිරිඳක්නේ.
*ඉතින් ඒ අත්දැකීම කොයි වගේද?
ඇත්තටම මම TV දෙරණ ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ තමයි ඒ විදියට නිමාලි කියන ඇමති බිරිඳ චරිතය කරන්නේ. ඒ අත්දැකීම නම් වෙනම එකක්. කොතැන ගියත් බැණුම් තමයි. ඇත්තම කිව්වොත් මේ ටිකේ බැණුම් අහලා ඉවරයක් නෑ.
*පබසරා මුලින් ගුවන්විදුලි නිවේදිකාවක් නේද?
ඔව් මං නිළියක් වෙන්න කලින් ගුවන්විදුලි නිවේදිකාවක්. FM දෙරණේ තමයි නිවේදිකාවක් විදියට වැඩ කළේ.
*එතකොට ඔබ රංගන ක්ෂේත්රයට ආවේ කොයි විදියටද?
නිවේදන කටයුතු කරමින් ඉන්නකොට මට දෙරණේ විකාශනය වුණු ‘අරුන්දතී’ කියන ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් ලැබුණා. ඒ තමයි මම ප්‍රධාන චරිතයක් කරපු පළවැනි ටෙලිනාට්‍යය. හැබැයි ඊට කලින් මං ස්වාධීන රූපවාහිනී සේවයේ ‘සඳවතක සේයා’ කියන ටෙලිනාට්‍යයේ රඟපාලා තිබුණා.
*පබසරා පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?
(සිනාසෙමින්) ඒ කාලේ මගෙන් කවුරු ඇහුවත් කිව්වේ මං ලොකු වෙලා ටීවී එකේ ඉන්නවා කියලා. හැබැයි චණ්ඩියා වගේ එහෙම කිව්වට පාසලේදිවත් මං කලා කටයුතුවලට සහභාහි වුණේ නෑ.
*අවසානේ පුංචි කාලේ තිබුණු ආසාව සැබෑකරගත්තා?
ඔව්. අවසානේ මට නිළියක් වෙන්න ලැබුණා. මේ දවස්වල මම ටෙලිනාට්‍යය කීපයකම වැඩ කරනවා. එකක් දෙරණ නාලිකාවේ ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යය. ඒ වගේම සියතේ ‘සංසාරේ’ ටෙලිනාට්‍යය.
*පබසරා ඕනෑම චරිතයක් කරන්න ඔට්ටු නිළියක්ද?
මම වැඩිහිටියන්ට පමණයි ලේබලයේ නිර්මාණ බාරගන්නේ නෑ. ඒ හැරුනම වෙන ඕන චරිතයකට ඔට්ටුයි. හැබැයි මට නිර්මාණයකට ආරාධනා කරද්දි ඒ චරිතයට මට සාධාරණයක් කරන්නත් පුළුවන්ද කියලා බලනවා. බැරි නම් මම ඒක ප්‍රතික්ෂේප කරනවා.
*අද ගොඩාක් නිළියන්ට ඕන ප්‍රධාන චරිත. පබසරාටත් එහෙමද?
අපොයි නෑ. මට ලැබෙන්නේ මොකක්ද ඒක මං කරනවා. මට ඕන චරිතේ දිග පළල නෙවෙයි, උපරිමය දීලා චරිතයට හොඳ සාධාරණයක් කරන්න.
*අලුත් මුහුණු බොහෝමයක් කලා ක්ෂේත්රයට ඇවිත්. අභියෝගයක් නේද?
කොහෙත්ම නෑ. එහෙම අභියෝගයක් වුණා නම් මං කොහොමද තාමත් රටේ ජනප්‍රියම නිර්මාණවල ඉන්නේ? නිළියක් විදියට අපිට ලැබෙන චරිතවලට අපි උපරිමය කරනවා නම් කවුරුත් එහෙම අභියෝගයක් වෙන්නේ නෑ.
*ප්‍රේක්ෂකයින්ගෙන් ආදර යෝජනා එහෙමත් ඇවිත් ඇති?
(සිනාසෙමින්) අපොයි ඕනතරම් ඇවිත් තියෙනවා. මට විතරක් නෙවෙයි ඉතින් ඒවා ප්‍රසිද්ධ හැම පුද්ගලයෙක්ටම පොදු දෙයක්නේ.
*පබසරා නිළියක් වෙන්න නිවේදන වෘත්තිය අත්හැරපු එකට පසුතැවීමක් එහෙම නැද්ද?
පුංචි කාලේ ඉඳලා තිබුණු ආසාවක්නේ නිළියක් වෙන්න හිතපු එක. ඒක නිසා එහෙමට පසුතැවීමක් නෑ. හැබැයි අදත් මං නිවේදන වෘත්තියට ආදරෙයි.
*පබසරා ඔය තරම් හොඳට පෙනුම රැකගෙන ඉන්න රහස මොකක්ද?
රහසක් නෑ. මං කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ. මේ ගාණමයි. සමහරු මට කියනවා ඔයාට ඉස්කෝල ළමයෙකුගේ චරිතයක් වුණත් තවම කරන්න පුළුවන් කියලා.
*මේ වෙනකොට පබසරා කියන්නේ පෙම්වතියක්ද?
ඔව් පෙම්වතියක්. ඒත් තවම විවාහයක් ගැන නම් හිතලා නෑ.
රුවන් එස්.සෙනවිරත්න