එයා ඒක රතු පලසට ගෙනිච්චා කියලා දැනගත්තහම මට පිස්සු හැදුනේ නෑ විතරයි
ජීවිතේ පළවැනි වතාවට ඔස්කාර් සම්මාන උළෙලකට සහභාගී වෙන්න ලැබෙන කෙනෙකුට දැනෙන හැඟීම මොනවගේ එකක්ද කියලා ඔබට හිතන්න පුළුවන්ද? ඉතින් මේ කියන්න යන්නේ එහෙම කෙනෙක් ගැන කතාවක්. ඇගේ නම තෙන්යා වෙන්ඩ්වා. පසුගිය වසරේ පැවැත්වුණු ඔස්කාර් සම්මාන උළෙලට ඇය සහභාගී වුණේ කලාකරුවෙක් හැටියට හෝ සම්මානයක් අපේක්ෂාවෙන් පසුවන්නියක් විදියට නම් නෙවෙයි. ඇය ගියේ ව්‍යවසයිකාවක් විදියටයි.
කෙන්යා ජාතික විලාසිතා නිර්මාණ ශිල්පිනියක් වන තෙන්යාට ජීවිතයේ ප්‍රථමවරට ඔස්කාර් උළෙලකට සහභාගි වන ලෙස ලොස් ඇන්ජලීස් නුවරින් ඇරයුමක් ලැබිලා තිබුණා. තෙන්යා කියන්නේ ඒ වෙනකොට අත්බෑග් මසමින් තමන්ගේ ජීවිකාව සරිකරගත්තු අතිශය සාමාන්‍ය මට්ටමේ ව්‍යවසයිකාවක්. ඉතින් අපි ඔබට මේ කතාව කියන්නෙම වාසනාව තමන්ගේ පැත්තට කැරකෙන වෙලාව මේ මොහොත නොවුණත් ඒක කොයි මොහොතක හෝ සිද්ධ වෙන්න පුළුවන් බව කියන්නයි.
සාමාන්‍යයෙන් ඔස්කාර් වැනි සම්මාන උළෙලවල්වල දකින්න ලැබෙන සුලභ අංගයක් තියෙනවා. ඒ තමයි ඊට සහභාගි වන රංගන ශිල්පීන්ට, හෝටල්වලදී නොමිලේ විවිධ නිෂ්පාදන හා අත්කම් තෝරාගැනීමට ඉඩ ප්‍රස්තාව ලැබෙන තිළිණ කුටි (Gift suite) සංවිධානය කර තිබීම. රංගන ශිල්පීන්ට ඒ විදියට භාණ්ඩ නොමිලේ ලබා ගැනීමට අවස්ථාව සැලසීමෙන් සම්මාන උළෙලේ සංවිධායකවරුන් බලාපොරොත්තු වන්නේ අදාළ රංගන ශිල්පියා තමා තෝරාගත් නිෂ්පාදනයට හොඳ රෙකමදාරුවක් ලබාදේවි කියලයි. බැරිවෙලාවත් ඒ නිෂ්පාදන රතු පලස මත ප්‍රදර්ශනය කිරීමට රංගන ශිල්පියා හෝ ශිල්පිනිය කටයුතු කළොත් ඒ නිෂ්පාදනයට එයින් ලැබෙන ප්‍රසිද්ධිය හා ගෞරවය කොච්චරද කියන එක කියල නිම කරන්න බෑ. ඉතින් නොහිතපු වෙලාවක තෙන්යා වෙන්ඩ්වාටත් අන්න ඒ වගේ කියලා නිම කරන්න බැරි ප්‍රසිද්ධියක් ලැබුණා.
ඒක වුණේ මෙහෙමයි.
මේ ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වීමට පෙර ගිය වසරේ පෙබරවාරියේ පැවති ග්‍රැමී සම්මාන උළෙලේ තිළිණ කුටියක තෙන්යාගේ අත්බෑගයක් ප්‍රදර්ශනයට තියලා තිබුණා. ග්‍රැමී සම්මාන උළෙල කියන්නේ ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයේ නම ගිය තාරකා රැසක් සහභාගි වන සම්මාන උළෙලක්නේ. ඉතින් මේකට ආපු සුප්‍රකට අමෙරිකානු ගායන ශිල්පිනියක් වන බියන්කා ඇටර්බරි නොහොත් ‘බ්ලෂ්‘ විසින් එදා ඇගේ රතු පාට පුංචි අත්බෑගය ඇගේ පාවිච්චිය වෙනුවෙන් තෝරාගෙන තිබුණා.
බ්ලෂ් ග්‍රැමී උළෙලේ රතු පලස මත තෙන්යාගේ අත් පසුම්බිය සහිතව පෙනී සිටින ඡායාරූප අන්තර්ජාලයේ පළවෙද්දී තෙන්යා හිටියේ නයිරෝබි නුවර එයාගෙ ගෙදර. ඇත්තටම කිව්වොත් ඒක කෙන්යාවට මධ්‍යම රාත්‍රියත් ගෙවී අවසන් වෙන හෝරාවක්. අන්න ඒ වෙලාවේ තමයි ඇගේ ජංගම දුරකතනයට එක දිගටම පණිවිඩ, සුබපැතුම් ගලාගෙන එන්න පටන්ගත්තේ. ඒ වෙලාවේ තෙන්යාට මේ සතුට බෙදාහදා ගන්න හෝ ඒ සතුට සමරන්න කවුරුවත් ළඟ හිටියෙ නැති නිසා ඇය කළේ ඉහවහා ගිය සතුටින් ව යටිගිරියෙන් කෑ ගහන එක විතරයි.
“ඒක රතු පාට, මත්ස්‍ය සමින් කරපු, අතේ මැණික් කටුවේ එල්ලාගෙන යන්න පුළුවන් පොඩි බෑග් එකක්. බෑග් එකක් කිව්වට ඇත්තටම ඒක පොඩි පසුම්බියක්. ඔයාගේ ලිප්ස්ටික් එකයි, ක්‍රෙඩිට් කාඩ් එකයි, ජංගම දුරකතනයයි විතරයි ඒකට දාන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසාම ඒක පහසුවෙන් අතේ ගෙනයන්න පුළුවන්. ඒක සරලයි. නමුත් ආකර්ෂණීයයි. ඒ කොහොම වුණත් බ්ලෂ් වගේ කෙනෙක් මගේ නිර්මාණයක් තෝරාගැනීම ඇත්තටම මාව පුදුමයෙන් පුදුමයට පත්කළා. එයා ඒක රතු පලසටත් ගෙනිච්චා කියලා දැනගත්තහම මට පිස්සු හැදුනේ නෑ විතරයි.”
තෙන්යා එදා තමන්ට දැනුණු හැඟීම විස්තර කරන්නේ ඒ විදියට.
ග්‍රැමී සම්මාන උළෙලේදී ලැබුණු මේ පිළිගැනීම නිසා තෙන්යා වෙන්ඩ්වාගේ ‘The Label Saba’ සන්නාමය ජාත්‍යන්තරය තුළ කාගෙත් අවදානය යොමුවෙන එකක් බවට පත්වුණා. ඒ නිසාම තමයි ඇයට ඔස්කාර් සම්මාන උළෙලට සහභාගී වෙන්නත් අවස්ථාව හිමිවුණේ. තෙන්යා කියන්නේ සුප්‍රකට ගායන ශිල්පිනී බියෝන්සේගේ නියෝජිතයෙක් පවා ඒ අවස්ථාවේ තමාව දුරකතනයෙන් ඇමතු බවයි.
“ඇත්තටම මිනිස්සු මගේ නිර්මාණවලින් මාව හඳුනාගන්න එක ගැන මට කියාගන්න බැරි සතුටක් දැනුණා. එකපාරටම කෙන්යානුවන්ගේ අවධානයත් මා වටා කේන්ද්‍රගත වුණා. එයාලා හරියට මං දිහා බැලුවේ මම මෙච්චරකල් කොහේද හැංගිලා හිටියේ කියලා අහනවා වගේ බැල්මකින්.”
තෙන්යාගේ අත්බෑග්වල විශේෂත්වයකුත් තිබුණා. ඒ ඒවා ඉවත දමන මත්ස්‍ය සම්, ගව සම් වැනි පරිසර හිතකාමී තිරසාර අමුද්‍රව්‍යයන්ගෙන් නිර්මාණය කර තිබීම. ඒ වගේම මේ අත්බෑග් සංකීර්ණ පබළු රටාවලින් අලංකාර ලෙස වැඩ දමා තිබීමත් ඒවායේ ආකර්ෂණීයත්වය ඉහළ නැංවීමට හේතුවක් වුණා. මේ වගේ පබළු රටා වැඩ දැමීමට තෙන්යා පෙළඹිලා තියෙන්නේ මසායි ගෝත්‍රිකයකු වූ ඇගේ මවගෙන් ලත් ආභාසය නිසයි.
තෙන්යා පවසන්නේ මසායි පබළු රටා අත්කම් හුදෙක් සංචාරකයන්ට අලෙවි කරන සුළු සුළු විසිතුරු භාණ්ඩවලින් ඔබ්බට ගිය, සම්ප්‍රදායානූකූල වටිනාකමකින් යුතු නිර්මාණයක් බවට පත්කිරීම ඇගේ අරමුණ කියලයි.
“ටැන්සානියානුවන්ගේ පබළු රටා එන්නේ සුදු පාටින්. මගේ අම්මගේ ගමේ, ඒ කියන්නේ කජියාඩෝවල පබළු රටා ඊට වඩා වෙනස්. මට ඕනෑ කළේ මේ එක් එක් ජන කණ්ඩායම් එයාලගේ පබළු රටාවලින් කියන්න හදන කතන්දර සංරක්ෂණය කරලා අනාගත පරම්පාවලට දායාද කරන්න. පබළු අත්කම් නිර්මාණයක රටාව දිහා බලලා ඒක අයිති වෙන ජන කණ්ඩායම කියන්න පුළුවන් වීමත් එක්තරා දක්ෂතාවක්.”
කොහොම නමුත් එදා මධ්‍යම රාත්‍රියේ ඒ සිදුවීමෙන් පස්සේ මේ කුඩා බෑග් මසන්නියගේ ජීවිතය එහෙම පිටින්ම වෙනස් වුණා. දැන් ඇගේ අත්බෑගයක් අමෙරිකා ඩොලර් 150ත් 420ත් දක්වා වූ මිල පරාසයක තමයි අලෙවි වෙන්නේ.
ඉතින් හිතන්න… තමන්ගේ ව්‍යාපාරය මොනතරම් කුඩා එකක් වුණත්, බාධක අභියෝග මැද්දේ ඒක අල්ලාගෙන ඉන්න එක කොයිතරම් අපහසු දෙයක් වුණත් අධිෂ්ඨානයෙන් යුතුව අල්ලාගෙන හිටියොත් දවසක ඔබ දිනනවාමයි.
ඩී.පී.වේවැල්පනාව