එක දවසක් හරි පොළට නාවොත් මට සංකාව වගේ… අවුරුදු 22ක් නුගේගොඩ පොළේ වෙළඳාම් කරන ඉන්ද්‍රානි නැන්දා
එදිනෙදා සිදුවන දැන හැඳිනගැනීම් මත එකම දුම්රියේ වුව එක් එක් කෝච්චි පෙට්ටිවල හදාගත් විවිධ කල්ලි ඇත. ආණ්ඩු පෙරළන්නට හෝ වෙනයම් පෙරළියක් කිරීමේ අරමුණින් බිහි නොවූ ඒ කල්ලි බොහෝ හෘදයාංගම බව මා කියන්නේ මා ද එවැනි කෝච්චි පෙට්ටි කල්ලියක සාමාජිකාවක් වන බැවිනි. ඒවායේ ඇත්තේ උදේ සහ හවස නොවරදවාම මුණගැහෙන සාමාජිකයින් සමඟ කෑමබීම බෙදාහදා ගැනීම් සහ එදිනෙදා රස රිසි තොරතුරු බෙදාහදා ගැනීම්ය. එසේත් නැතිනම් එකිනෙකාට විහිළු තහළු කරගැනීම්ය. ඒවා කොහෙත්ම ඇස් රතුවෙන විහිළු නොවේ. දුම්රියේ මා අයත් වූ කල්ලියටද මේ කාරණාව පොදුය. මේ කියන්නට යන්නේ ද අපේ කල්ලියේ එවැනි කතාවකි.
බාලාංශ පන්තියක දරුවන් මෙන් අප කෝච්චියේ විවිධ චරිත රඟදක්වන අවස්ථා ද නැතුවාම නොවේ. අපේ කල්ලියට අනුව දුම්රියේ යන එන අතරතුර එය අප සැමගේ නිවහනයි. ඒ පවුලේ බාල දැරිවිය වන්නේ හීන්දෑරි මා ය. ඉන්අනතුරුව මාගේ අම්මාත්, තාත්තාත්, බාප්පාත්, නැන්දාත් යන නෑදෑ සනුහරේ තීරණය කෙරෙන්නේ දුම්රිය සගයින්ගේ වයස් මට්ටම් අනුවය. අපේ මේ නාට්‍යට අනුව පනස්හතර වියැති ඉන්ද්‍රාණි නැන්දා මගේ අම්මා ය. මා ඇයව හැඳිනසිටියේ කෝච්චියේ ඉන්ද්‍රාණි නැන්දා යනුවෙනි. ඉන්ද්‍රාණි නැන්දාගේ ගම පාදුක්කේ කිරිඳිවැල ය. පාදුක්කෙන් දුම්රියට ගොඩවදින ඉන්ද්‍රාණි නැන්දා නුගේගොඩ දක්වාම ගමන් ගන්නීය. ඒ යන ගමනේදී ඇගේ තනියට විසල් මලු තුනක් ද ඇය අසළම ඇත. පොලොස් ගැට, වතුමුව සේම මුකුණුවැන්න, ගොටුකොළ වැනි පලා මිටිවලින් ද පිරී ඇති එකී මලු නුගේගොඩ පොළට ගෙන ගොස් විකිණීම අවුරුදු 22ක් තිස්සේ ඇගේ රැකියාවයි.
නුගේගොඩ ස්ටේෂමෙන් බැසගත් වහාම එක බඩු මල්ලක් හිස මතටත් අනෙක් මලු දෙක දෑතටත් ගෙන තනිව නුගේගොඩ පොළ දෙසට ඇවිදයාම ඇගේ පුරුද්දයි.
ඉඳහිටක හෝ ඇගේ සහායට කවුරුන් හෝ පැමිණියොත් මිස ඇගේ ඒ පුරුද්දෙහි වෙනසක් වන්නේ නැත. එකී සෑම මොහොතකම ඇගේ මුව පුරා ඇඳී යන සිනාරැල්ල කියාපෑවේ ඇය සතුටින් ජීවිතය දරනා බවය. ඒ නිසාම ඇය ගැන තතු ඔබට නොකියා බැරියැයි සිතුණෙන් දුම්රියේ ගමන් ගත් මොහොතකම මා ඈ සමඟ ආගිය තොරතුරු කතා කළෙමි.
“මේ මම බඩු විකුණන්න පොළට යන 22 වැනි අවුරුද්ද. ඒ අවුරුදු ගාණට එක දවසක් හරි මගහැරුණ නම් මගඇරුණේ ලෙඩක් දුකක් හැදුණොත් විතරයි.”
ලෙඩක් දුකක් නැතත් ඕනෑනම් පොළට නෑවිත් සිටින්නට ඉන්ද්‍රාණි නැන්දාට අනන්තවත් හේතු ඇත. ඒ හේතු නම් මිනිසුන්ගේ එරවිලි, ගෙරවිලි හා කඩාවැට්ටවීම්ය. ඒත් ඒවා තඹ දොයිතුවකට හෝ මායිම් නොකර අදත් ඇය නුගේගොඩ පොළට පැමිණෙන්නී සියලු අභියෝගවලට නොබියව මුහුණදෙමින්ය.
“මම පොළේ බඩු විකුණන්න එන්න කලින් රැකියා කිහිපයකම නිරත වෙලා හිටියා. ගාමන්ට් එකක වැඩ කළා. රෙදි බිස්නස් එකකුත් ඒ අතරේ කර කර හිටියා. ඒත් කිසිම දේකින් හිතපු තරම් ලාබයක් ලබන්න බැරිවුණා. ඔය අතරේ ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ වුණේ දරුවෝ තුන්දෙනාවත් උස්මහත් කරගෙන කාලා ඇඳලා ඉන්න තිබුණ මහත්තයාගේ රස්සාව නැති වුණා.”
එතෙක් නිවසේ එකම ආදායම් මාර්ගය බවට පත්ව තිබූ සැමියාගේ රැකියාව අහිමිවීමත් සමඟ ඇය දසඅතේ දුව තිබුණේ දිවි ගැටගහගන්නට රැකියාවක් සොයාය.
“පුතාලා තුන්දෙනා ඒ වෙද්දී ගොඩක් පොඩියි. මහත්තයාත් අසනීපෙන් හිටපු නිසා මට ඕනෑ වුණේ එයාලගේ වැඩත් කරන ගමන් කරන්න පුළුවන් රස්සාවක් හොයාගන්න. හැබැයි මට ඒ වගේ රස්සාවක් හොයාගන්න බැරි වුණා. ඔය අතරේ මහත්තයාගේ අම්මා ගමේ එළවළු, පලතුරු එකතු කරගෙන පොළට ගිහින් විකුණලා කීයක් හරි හොයාගෙන ආවා. ඒක දැක්කට පස්සේ මටත් හිතුණා රස්සාවල් හොය හොයා කාලේ නාස්ති කරන්නැතුව මමත් එහෙම කරා නම් හරි කියලා.”
ඇය එලෙස සිතුවා පමණක් නොව ඊට පසු දිනම බඩු රැගෙන පොළට ද ගියාය. ගමේ කොරටුවල කමත්වල වැඩුණ ඵලදාව එදා සිට ඇගේ පොළේ ගමනට එකම ආශිර්වාදය විය.
“පහුවෙද්දී මම ගෙදර එළවළු, පලතුරු වවන්න ගත්තා. මොකද එතකොට කොරටුවලට ගෙවන ගාණ ඉතුරු වෙනවා වගේම ගෙදර කෑමටත් ඒ එළවළුම ගන්න පුළුවන් නිසා. උදේ 8.00 වෙද්දී පොළට ගිහින් ආපහු හවස පහ වෙද්දි මම ගෙදරට එන්නේ මම වවපු එළවළු වගේම ගමේ තියෙන පලතුරුත් එකතු කරගෙන ඊළඟ දවසේ ආපහු පොළට යන්න බඩු ලෑස්ති කරගන්න. අදටත් ඒ දේ වෙනසක් නැතුව ඒ විදියටම සිද්ධ වෙනවා.”
ඉන්ද්‍රාණි නැන්දාගේ ඔය කතාව ඇසූ පසු මට සිහිවුණේ කරුණාසේන ජයලත් සූරීන්ගේ ‘ගැහැනු ළමුන්’ නවකතා පොතේ සිටිනා කුසුම්ගේ අම්මාය. කුසුම්ලා උස්මහත් වූ පසුවත් පොළට බඩු ගෙන ගොස් විකිණීමේ රස්සාව ඇය අත්නොහැරියාය. ඒ ලෙසම ඉන්ද්‍රාණි නැන්දාගේත් දරුවන් උස්මහත් වී රැකියාවල නිරතව සිටියත් අදටත් ඇයට ඒ රැකියාව අත්හරින්නට සිතක් නැත.
“එක දවසක් හරි පොළට නෑවිත් හිටියොත් මට නිකන් සංකාව වගේ. මොකද පොළේ ගමන නිසාම මට මුණගැහුණ දුම්රියේ පිරිසක් ඉන්නවා. ඒ අය එක්ක විහිළු තහලු කරලා කන බොන දේ බෙදාහදාගෙන යන මේ ගමන මට මසුරන් තරම් වටිනවා. ඉස්සරහටත් මගේ මේ ගමනේ වෙනසක් නැහැ. මම සතුටින් මගේ රැකියාවේ නිරත වෙනවා.”
වැටුප් මදි යැයි කියා හෝ පහසුකම් මදියැයි කියා හෝ මාස තුන හතරෙන් රැකියා අත්හරින බොහෝදෙනෙක්ට ඇගේ කතාවෙන් ගන්නට බොහෝ දේ ඇත. උගුර ලේ රහ වනතුරු කෑගැසීමත්, දුම්රියේ සෙනඟ මැද තෙරපී යන ගමනත්, වැඩ ඇරී කකුල් ගෙවෙනතුරු එළවළු පලතුරු සොයා යාමත් සිතනා තරම් පහසු දේවල් නොවේ. එසේ යැයි කියා ඇය ඇගේ ගමන අතරමග අත්හැරියේ නැත. අරමුණක් ඇතිව ඇය ඒ සියල්ලටම සතුටින් මුහුණදුන්නාය. දැන් ඇය ජීවිතයේ ආපස්සට හැරී ආ ගමන ගැන සතුටු වන්නීය.
“ජීවිතේ එක එක කාලවලදී අපිට ප්‍රශ්න එනවා. ඒත් ඒ ප්‍රශ්න මත්තෙම නැහෙන්නේ නැතව පුළුවන් විදියට විසඳුම් හොයාගන්න එකයි අපි කරන්න ඕනෑ. මගේ ජීවිතෙත් අමාරුම කාලයක් තිබුණා. ඒත් මම ඒ හැමදේකටම මුහුණ දුන්නා විතරක් නෙවෙයි මට හැකි පමණින් විසඳුම් හොයාගත්තා. අදටත් ප්‍රශ්න එනවා. හැබැයි ප්‍රශ්න ආවම කරන්න තියෙන්නේ කලබල වෙලා දුවන එක නෙවෙයි. නතර වෙලා උත්තර හොයන එකයි.”
නෙත්මි තෂාරා