පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කරන පළමු ආබාධිත කාන්තාව මමයි!
2018 වසරේදී අමෙරිකානු සෙනට් සභාවට එහි සභිකයෙකු සිය දරුවා රැගෙන
ගිය බවට පළ වූ පුවතක් පිළිබඳව ඇතැම්විට ඔබට මතක ඇත. අමෙරිකානු
සෙනට් සභාව තුළින් ප්‍රථම වතාවටයි එවැනි පුවතක් වාර්තා වූයේ. එදා රෝස
පැහැති බ්ලැන්කට්ටුවකින් මේලී නමැති තම බිළිඳිය වසාගෙන සෙනට් සභාවට
රැගෙන ගිය ඒ සභිකයා අන්කවරකුත් නොව අමෙරිකානු දේශපාලන
ක්‍රියාකාරිනියක වන ටැමි ඩක්වර්තු ය. එදින බිළිඳියත් රැගෙන සෙනට් සභාවට
ගිය සිදුවීම නිසා බොහෝදෙනෙකු ඇය පිළිබඳව විශේෂයෙන් කතා වුණත්
සැබෑවටම ඇගේ විශේෂත්වය වුණේ ඈ තනි කකුලෙන් සෙනෙට් සභාවට ගිය
එකම මන්ත්‍රීවරිය වීමයි. එක් පදයක් අහිමි වීම නිසා ඇගේ අනෙක් පාදයක
සවිකොට තිබුණේ බොරු කකුලකි. ඒ බොරු කකුල නිසාම ඇය අමෙරිකාවේ
මැතිවරණයකට මුහුණ දුන් පළමු ආබාධිත කාන්තාව සේම මැතිවරණයකින්
ජයගත් පළමු ආබාධිත කාන්තාව බවට ද පත්වුණේ ඉහත සිදුවීම වන්නට වසර
දෙක තුනකට ඉහතදීය.
අවසානයේ තම ආබාධය දේශපාලන ගමනට බාධාවක් කර නොගත් ටැමී
අමෙරිකාවේ දේශපාලන ඉතිහාසයම කණපිට හරවන්නට සමත් වූ චරිතයක්
බවට පත්විය. අමෙරිකාවට ටැමී සිටියත් ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ
එවැනි බල පරාක්‍රමයක් විදාහල හැකි ආබාධිත කතක් පිළිබඳ මෙතෙක් වාර්තා
වී නැත. නමුත් ඒ ඉතිහාසය වෙනස් කරන්නට එළැඹෙන නොවැම්බරයේදී
පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී එක් අයෙකුට නිසැක
වශයෙන්ම හැකිවනු ඇත. ඇය අන් කවරෙකුත් නොව මීට පෙර ද සතුටින්
ජීවිතය දරන්නියක ලෙස අප ඔබට හඳුන්වා දී ඇති සමාජ සේවිකාවක්, චිත්‍ර
ශිල්පිනියක් මෙන්ම නීතිඥවරියක ද වන හෂිනි හිමාෂා චන්ද්‍රසිරි ය. ටැමී සේම
හෂිනි ද දේශපාලනයට පිවිසෙන්නට තම ආබාධය බාධාවක් කර නොගත් නිසා
ඇගේ ඒ ධෛර්යසම්පන්න බවට පිරිනැමෙන ගෞරවයක් වශයෙන් මෙවර ‘ධරණී’
කවරය සරසන්නට අපි ඇයට ඇරයුම් කළෙමු.
“නටන්න, චිත්‍ර අඳින්න, කරාතේ සෙල්ලම් කරන්න වගේම ජිම්නාස්ටික්වල
නිරත වෙන්නත් පුංචි කාලේ ඉඳලම මම ගොඩක් ආසා කළ කෙනෙක්. අත්
කොට ටී ෂර්ට් එකක් වගේම රැළි වැටුණ සායකින් සැරසිලා ජිම්නාස්ටික්
ස්ටේඩියම් එක ඇතුළේ සැහැල්ලුවෙන් දුව පනින එක තරම් සතුටක් මට ඒ
කාලේ තිබුණේ නැහැ. ඒත් ඒ සතුට මට වැඩිකලක් අත්විඳින්න බැරිවුණේ ටික
කාලයක් යද්දී කකුලේ ඇතිවුණ වේදනාවක් නිසයි.”
එදා හිටිහැටියේ පාදයෙන් මතුවුණ වේදනාව අවුරුදු නවයක පුංචි දැරියක් වූ
හෂිනිව සදාකාලික ආබාධිත තත්ත්වයට පත් කර තිබුණි. එතැන් පටන් දුව පැන
ඇවිදපු ජිම්නාස්ටික් ස්ටේඩියම් එක වෙනුවට බොහෝ කාලයක් යනතෙක් ඇගේ
නවාතැන වුණේ රෝහලක සයනයකි.
“මම රෝහලේ ඇඳකට වෙලා බලාගත්ත අත බලාගෙන ඉද්දී මට මතකයි
අපේ තාත්තා ඇවිත් මට ඇහෙන්න නිකලෝ ඔස්තොව්ස්කිගේ වානේ පන්නරය
ලැබූ හැටි පොත කියවනවා. ඒ පොතේ හිටපු පාව්කා කොර්චාගින් කියන
තරුණයා ආබාධිත තත්ත්වෙට පත්වෙලා වුණත් ජීවිතේ ජයගන්න හැටි ගැන
තාත්තගේ කටින් කියැවෙද්දී මගේ හිතටත් පුදුම ශක්තියක් ආවා. එදා ඉඳන්
වානේ පන්නරය ලැබූ හැටි පොතේ පාව්කා වගේ මමත් තීරණය කළා මට
උරුම වුණ ආබාධිත බව ජීවිතේට ආශිර්වාදයක් කරගන්න.”
ඇය එකී තීරණය ගත්තා පමණක් නොව එය ක්‍රියාත්මක කරන්නට ද වගබලා
ගත්තාය. ආබාධිත බවත් සමඟ ඇගේ පාසල් ගමන අතරමග ඇනහිටියද ඒ
හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය සේම උසස් පෙළ විභාගය ද ඇය
මගහැරගත්තේ නැත. එම විභාග සඳහා පෞද්ගලිකව අයැදුම්කරුවෙකු ලෙස
මුහුණ දුන් හෂිනි ඉන් විශිෂ්ටතම ප්‍රතිඵල ද අත්කරගත්තාය.
ආබාධය බාධාවක් කර නොගෙන හෂිනි එලෙස ජීවිතේ අඩියෙන් අඩිය ඉදිරියට
ඇදුණද නොසිතූ බාධක කම්කටොලු රැසකට ද ඇයට මුහුණදෙන්නට සිදුවිය.
“මම අසනීප වුණ දවසේ ඉඳන් මගේ පිටුපස යෝධ සෙවණැලි දෙක වුණේ
මගේ අම්මයි තාත්තයි. ඒත් මම උසස් පෙළ ලියලා ඉවර වෙද්දීම වකුගඩු
රෝගය නිසා අසාධ්‍ය මට්ටමේ හිටපු අම්මගේ වියෝව මට දරාගන්න බැරි
දෙයක් වුණා. ඒත් අමාරුවෙන් වුණත් හිත හදාගෙන අම්මා නැතුව තාත්තා
එක්ක ජීවත්වෙන්න මම පුරුදු වුණ.”
අහිමිවීම් බාධක කම්කටොලු බොහෝමයකට පසුව අවසානයේ හෂිනිට ඇගේ
ඉරණම්කාරයා මුණගැසී තිබුණේත් ඇගේ සමාජ සේවා වැඩකටයුත්තකදීමය.
“මුදිතත් සමාජ සේවා වැඩකටයුතුවල නිරත වුණ කෙනෙක්. අපි දෙන්නා
එකතුවෙලා මුඩුක්කු නිවාසවල දරුවන්ට ලෝකය දකින්න ඉඩ හදලා දෙන්න
පදනමක් පවත්වාගෙන ගියා. ”
සමාජ සේවිකාවක්, නීතිඥවරියක් ලෙස පමණක් නොව චිත්‍ර ශිල්පිනියක් විදියටත්
බොහෝ දුර පැමිණි හෂිනි ඉදිරියේදී දේශපාලනඥවරියක් වන්නටද තීරණය
කොට ඇත්තේ මෙවර මැතිවරණයට නාමයෝජනා භාර දෙමිනි. ඒ පදක්කම
ලකුණෙන් දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් ‘සර්වජන බලය’ කණ්ඩායම
යටතේය. ලංකා ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ
වදින එකම ආබාධිත කාන්තාව වන්නේ ද ඇයයි.
“දවසක් අපේ ආබාධිත සංගමය තිසර විජේසිංහ මහත්මයත් එක්ක එකතු
වෙලා ආබාධිත අයගේ ජීවිතවලින් අනිත් අයගේ ජීවිතවලට අභිප්‍රේරණයක්
ලබාදෙන්න වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ මොහොතට දිලිත් ජයවීර
මහත්මයත් එකතු වෙලා හිටියා. ඒ වෙලාවේ ඔහු ඇහුවා ඇයි අපිට ආබාධිත
අය විශේෂ වෙන්නේ කියලා. ඊටපස්සේ ඔහුම ඒකට උත්තරයත් දුන්නා.
‘අතපය හතර හොඳට තිබිලත් කිසිම දෙයක් කරගන්න බැරි මිනිස්සු අතර
ආබාධිත වෙලත් ලෝකයේ ජයගන්න උත්සාහ කරන ආබාධිත මිනිස්සු අපට
ගොඩක් වටිනවා. එයාලගේ ජීවිත, අතපය හතර හොඳට තියෙන අයට
අභිප්‍රේරණයක්’ කියලා.
ඊටපස්සේ ටික දවසකින් එතුමා මට යෝජනාවක් කළා මේ පාර ඡන්දේ
ඉල්ලමු කියලා. මේක මගේ ප්‍රජාව නියෝජනය කරන්න හොඳ අවස්ථාවක්
කියලා හිතුණ නිසා අවසානයේ මම එතුමාගේ යෝජනාවට එකඟ වුණා.”
හෂිනි මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නට තීරණයකොට තිබෙන්නේ හිස්
අතින් නොව රට වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නට ප්‍රතිපත්ති ද බොහෝමයක් ද
පෙරදැරි කරගෙනය.
“මම නියෝජනය කරන්නේ මේ රටේ ආබාධිත ප්‍රජාව. මේ රටේ ආබාධිත පිරිස
ලක්ෂ 07ක් බව 2012 සිදුකළ සංගණනයෙන් ඔප්පු වුණාට පස්සේ අද
වෙනකම් කිසිම සංගණනයක් සිද්ධවෙලා නැහැ. ඒකෙන් කියැවෙන්නේ
ආබාධිත අය පිළිබඳව එතරම් අවධානයක් ලංකාව තුළ යොමුවෙලා නැහැ
කියන එකයි. ආබාධිත හැමෝටම තියෙන ප්‍රශ්න එක වගේ නැහැ. ඒක නිසා
ඒ අයට තියෙන ප්‍රශ්න හොයලා බලන්න ඒ වෙනුවෙන් සේවයක් කරන්න මම
බලාපොරොත්තු වෙනවා. මොකද මම වුණත් අද මේ තැන ඉන්නේ ආබාධිත
කෙනෙක් නිසයි. එහෙම නොවුණා නම් අදටත් මම සාමාන්‍ය ජීවිතයක්
ගතකරන සාමාන්‍ය කෙනෙක්. ඒක නිසා ආබාධිත වීම මම දකින්නේ
ජීවිතයට ලැබුණු ආශිර්වාදයක් හැටියටයි. ඒ නිසා අබාධිත වූ සියලු දෙනාටම
ඒ වගේ උසස් ජීවන තත්ත්වයක් උරුම කරලා දෙන එකයි මගේ
බලාපොරොත්තුව. ඊට අමතරව කාන්තාව සහ රට වෙනුවෙන් ප්‍රතිපත්ති
කිහිපයක්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අනිත්
කාරණය තමයි මේ පාර ඡන්දයෙන් මැතිවරණයට තරඟ කරන පළමු ආබාධිත
කාන්තාව මම වුණත් ජාතික ලැයිස්තුවෙන් ආබාධිත අය දෙන්නෙක්ම ඉදිරිපත්
වෙලා ඉන්නවා. ආබාධිත අයටත් ඒ අවස්ථාව ලැබීම ගැන තියෙන්නේ ලොකු
සතුටක්.”
ඇගේ අංකය – අංක 3
බොරැල්ල ආසනය, කොළඹ දිස්ත්‍රික්කය
නෙත්මි තෂාරා
ඡායාරූප – චමත් ඒකනායක
පසුතලය – සෝලිස් හොටෙල්, පිටකෝට්ටේ