නවතම ප්‍රවෘත්ති

දැමුවත් හිස ගසා ගුණ වනමි කස කසා

ලෝක ඉතිහාසයේ සිද්ධ වුණ දරුණු ගණයේ යුද්ධ ගැන ඔබ අහල තියෙනවනේ.
ට්‍රෝජන් යුද්ධය කියන්නෙත් අන්න එහෙම එකක්. ග්‍රීසියේ සිද්ධවුණු මේ යුද්ධයට
හේතුව බවට පත්වුණා කියන්නේ ටිකක් දුරදිග ගියපු පෙම් පළහිලව්වක් කියලයි
ග්‍රීක මිථ්‍යා කතාවල සඳහන් වෙන්නේ.
ඒ කතාවල කියැවෙන විදියට ග්‍රීසියේ හිටපු ලස්සනම කුමාරිකාව වුණ හෙලන්
ට්‍රෝයි කියන කුමාරිකාව ලබාගන්න රජවරු දෙන්නෙක් අතරලු මේ යුද්ධය
ඇතිවුණේ. ඒ දෙන්නා තමයි ග්‍රීසියේ රජකම් කරපු මෙලනියස් කුමාරයා සහ
පැරිස් කුමාරයා. අන්තිමේදී මිනිස්සු දස දහස් ගණනකට මරු කැඳවලා අවසන්
වුණ ඒ යුද්ධයෙන් ජයග්‍රහණය කරලා තියෙන්නේ පැරිස් කුමාරයා. ඒ වෙලාවේ
හෙලන් කුමරිය අඬපු කඳුළු එකතුවෙලා මහපොළවෙන් පුංචි පැළයක් පැන
නැගුණලු. අන්න ඒ පැළය තමයි අද අපේ බියුටි කත්නදරේට මුල් වෙන්නේ.
මේ පැළය තමයි අපි කවුරුත් දන්න ‘බැසිල්’. පස්සෙන් පහු මේ ගහේ ඇට
උයනපිහන වැඩවලට විතරක් නෙවෙයි බෙහෙත්හේත්වලටත් පාවිච්චි කරලා
තියෙනවා.
ඊටපස්සේ කාලයත් එක්ක රූපලාවණ්‍ය අමුද්‍රව්‍යයක් විදියටත් මේ ඇට ජාතිය
ලෝකේ පුරා ප්‍රසිද්ධ වුණා. ඉන්දියවේ සබ්ජා කුෂ් කුෂ් විදියටත් වෙනත් රටවල
ටුක්මාරියා විදියටත් ලංකාවේ කස කසා ඇට විදියටත් හඳුන්වන්නේ ඔය ඇට
වර්ගයම තමයි. කස කසා ඇට ගැන අහල තිබුණට ඒවායින් කරන රූපලාවණ්‍ය
සත්කාර ගැන බොහෝදෙනෙක් දන්නේ නැති නිසා අන්න එහෙම අයටයි අද මේ
කස කසා ඇට පාඩම වෙන් වෙන්නේ.
ඖෂධීය වටිනාකමෙන් වැඩි දෙයක් නිසා කස කසා ඇට අභ්‍යන්තර සත්කාරයක්
විදියට වගේම බාහිර ආලේපනයක් විදියටත් හිතකරයි කියලා ආයුර්වේද වෛද්‍ය
විද්‍යාවේ සඳහන් වෙනවා. අභ්‍යන්තර වශයෙන් කස කසා ඇට බහුලවම වැදගත්
වෙන්නේ විවිධ රෝග සඳහා භාවිත කළ හැකි ඔසුවක් විදියටයි. ඊට අමතරව
කැල්සියම්, මැග්නීසියම්, මැංගනීස්, විටමින් E හා විටමින් B ආදිය අඩංගු නිසා

හිසකෙස් ගැලවී යාම පාලනය කිරීම, හිසකෙස් වර්ධනය කර ශක්තිමත් කෙස්
කළඹක් ලබාදීම වගේ ප්‍රයෝජන රැසක් අත්කරගත හැකියි. සමේ තෙතමනය
ආරක්ෂා කරමින් සම වියැළීම වළක්වාගැනීමට, සමේ නිරෝගී පැවැත්මට වගේම
ශරීරයේ ඇති අතිරික්ත මේදය ඉවත් කිරීමටත් හැකියාවක් කස කසා ඇටවලට
තිබෙනවා. ශරීරයේ සිසිල් බව ආරක්ෂා කර විජලනය වැළැක්වීමට, ශරීරයේ
ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට වගේම ශරීරයේ උදාසීන බව නැති කරගැනීමටත්
කස කසා ඇට පාවිච්චියට ගන්න පුළුවන්.
ආහාර මාර්ගය ආශ්‍රිත රෝග වන ගැස්ට්‍රයිටීස්, අර්ශස්, මළ බද්ධය විතරක්
නෙවෙයි දාඩිය, දැවිල්ල නැති කිරීමටත් කස කසා ඇටවලට හැකියාවක්
තියෙනවා. මේවා භාවිතයෙන් අත් හා අස්ථි පද්ධතිය ශක්තිමත් වීම, ස්ත්‍රී
ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝගවලින් වැළකීම (පැලෝපීය නාල ආශ්‍රිත රෝග හා
මදසරුභාවය) ශරීරයේ බර වැඩිබව පාලනය කර මනා BMI අගයක්
පවත්වාගැනීමටත් හැකියාව ලැබෙනවා. ඊට අමතරව මානසික ආතතිය අඩු
කරලා සුවදායී නින්දක් ලබාගැනීමට, ශරීරයේ කෝටිසෝල් නමැති හෝමෝනය
පාලනය කිරීමට අමතරව ශරීරයේ තුවාල ඉක්මනින් සුවකිරීමේ හැකියාවකුත්
කස කසා ඇට සතුයි. බෝ නොවන රෝග විදියට සැළකෙන දියවැඩියාව,
අධිරුධිර පීඩනය, කොලෙස්ට්‍රෝල් වගේ රෝග සෑදීමේ අවදානම අඩු කර මෙහි
අඩංගු විටමින් B6 මගින් රක්තහීනතාවය ඇතිවීම වළක්වාගන්නත් හැකියාවක්
තිබෙනවා. ඒ වගේම කස කසා ඇට කියන්නේ රුධිරය ආශ්‍රිත විවිධ රෝගවලට
ගුණදායක ඔසුවක් කියලත් හඳුන්වනවා.
ඉහත කියපු ප්‍රතිලාභවලට අමතරව රුව ලස්සන කරගන්නත් කස කසා ඇට
භාවිත කරන්න පුළුවන්. ඒකට කස කසා ඇට පානයක් විදියට සතියට වතාවක්
පමණ ලබාගැනීමයි සිදුකළ යුත්තේ. පෙඟෙන්නට තබා බ්ලෙන්ඩ් කරගත් කස
කසා ඇට ස්වල්පයක් අරගෙන වතුර වීදුරුකට දමාගන්න ඕනෑ. ඊටපස්සේ ඒකට
දෙහි යුෂ තේ හැඳි 2ක් සහ මී පැණි තේ හැඳි 2ක් කලවම් කරලා උදෑසන හිස්
බඩට පානය කළා නම් පැහැපත් වගේම නීරෝගී සමක් ලබාගන්න පුළුවන්.
පානය කිරීමෙන් විතරක් නෙමෙයි කස කසා ඇට ආලේපනයක් විදියට භාවිත
කිරීමෙනුත් හොඳ ප්‍රතිඵල අත්කරගන්න පුළුවන්. ඒ සඳහා කළ යුත්තේ වතුර
කෝප්පයකට පිළිවෙලින් කෝමාරිකා මද තේ හැඳි එකක්, කස කසා ඇට තේ
හැඳි දෙකක්, මී පැණි තේ හැඳි එකක් වගේම බිත්තර සුදු මදයක් එක් කරලා
ජලය භාජනයකට දමා රත් කරගැනීමයි. අවසානයට බිත්තර සුදු මදය එක්කරලා
විනාඩි 2ක් විතර ගතවෙද්දි මිශ්‍රණය ලිපෙන් බාගන්න ඕනෑ. ඊටපස්සේ ඒකට කස
කසා ඇට, කෝමාරිකා මද, මී පැණි එක්කර මිශ්‍ර කරගෙන මුහුණේ ආලේප

කරලා විනාඩි 10ක් විතර තියලා උණුවතුරින් සෝදා ඉවත් කරගත්තා නම් හරි.
මෙම සත්කාරය පැක් එකක් විදියට සතියකට සැරයක් සිදු කිරීමෙන් ලප
කැළැල්වලින් තොර පැහැපත් සමක් ලබාගන්න පුළුවන්.
හිසකෙස් වර්ධනය කරගැනීමට කස කසා ඇට තේ හැඳි දෙකකට පොල්වතුර
කෝප්පයක් වගේම සහල් වතුර කෝප්ප 1/2 ක් එක්කරලා හිසකෙස්වල වගේම
හිස්කබලෙත් ගා ගැනීමයි සිදුකළ යුත්තේ. එම මිශ්‍රණය සකසා ගැනීමේදී සහල්
රැයක් පෙඟෙන්නට තබා උදෑසන එය පෙරා ඊටම පොල්වතුරයි, කස කසා ඇටයි
එක්කරලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනෑ. ඊටපස්සේ හිසකෙස්වල වගේම
හිස්කබලෙත් එය ආලේපකර විනාඩි 10ක් විතර තියලා හොඳින් හිසකෙස්
සම්බාහනය කර ජලයෙන් සෝදා ඉවත් කරගන්න. මෙය සතියකට සැරයක්
සිදුකිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

නෙත්මි තෂාරා

උපදෙස් – වෛද්‍ය එස්.එම්.මධුෂාණි වත්සලා කුමාරි
(ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී )
ප්‍රධාන වෛද්‍ය නිලධාරී – ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික්, මාවනැල්ල