නවතම ප්‍රවෘත්ති

‘ජපන්’ කියලා කිව්වොත් ඒ කාලෙ ඉන්දියානු හමුදාව පේමන්ට් එකේ බඩුත් සල්ලි දීලා ගත්තා

මුලතිව් උපන් සදාෂිවම් ශකිලා පාසල් සමයේදී අධ්‍යාපනය, ක්‍රීඩාවට හා කලාවට උපන් හපන්කම් ඇති
සිසුවියක වූවාය. සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත්වෙන ඇයට පියාගේ අසනීප තත්ත්වය
හේතුවෙන් විශ්වවිද්‍යාල සිහිනය අමතක කර රැකියාවකට යන්නට සිදුවන්නීය. ඒ අතර කාලයේදී
ඉන්දියානු සාම සාධක හමුදාවේ ආගමනය ද සිදුවිය. අද එතැන් සිට…
“ඉන්දියන් හමුදාවයි එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර ගැටුම් සිද්ධ වෙද්දි සාමාන්‍ය
මිනිස්සුන්ට හරියට කරදර සිද්ධ වුණා. ඔය අතර දවසක ඉන්දියන් හමුදාව
ඇවිත් අපේ මුද්‍රණාලයේ වැඩ කරපු සේවකයෙක් අත්අඩංගුවට ගත්තා. තව
දෙයක් කියන්න ඕන. ඉන්දියන් හමුදාව එල්.ටී.ටී.ඊ. එකත් එක්ක සටන් කරද්දි
උතුරේ තිබුණු ඊ.පී.ආර්.එල්.එ‍ෆ්. සංවිධානය ඉන්දියන් හමුදාවට උදව් උපකාර
කළා. ඒ නිසා කිසිම දෙයක් නොදැන උතුරට ආපු ඉන්දියන් හමුදාවට
මගපෙන්නුවේ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ සාමාජිකයෝ. ඒ නිසා සමහර
වෙලාවට පෞද්ගලික පලිගැනීම්වලට අත්අඩංගුවට ගැනීම් සිද්ධවුණා. අපේ
මුද්‍රණාලයේ වැඩ කරපු තරුණයාව මොන හේතුවකට අත්අඩංගුවට ගත්තද
දන්නෙ නැහැ. එයාගෙ නම වේල්තුරේ. ඒ පැත්තෙ සෙල්වපුරම් කියන ගමේ
පදිංචිකාරයෙක්. එයා ගැන අද වෙනතුරු ආරංචියක් නැහැ. එයා මැෂින්
ඔපරේටර් (ක්‍රියාකරවන්නා) විදියට වැඩ කළේ. එයා තමයි මැෂින් වැඩ ගැන
දන්නෙ. ඒ නිසා එයා නැති වුණත් එක්ක මුද්‍රණාලයේ වැඩත් අඩාල වුණා.
තාවකාලිකව කට්ටිය ගෙනත් වැඩ කරත් හරි ගියේ නැහැ. ගොඩක් දවස්වල
මුද්‍රණාලය වහනවා. මටත් කරන්න දෙයක් තිබුණෙ නැහැ. ඔහොම ඉද්දි

මුලතිව් වෙළඳ සංගමයේ කෙනෙක් මට කීවා ඔයාට ගැළපෙන රැකියාවක්
තියෙනවා. කැමතිනම් වැඩට ගන්නම් කියලා.”
යුද සමයේදී උතුරේ බොහෝ ප්‍රදේශවලට පැහැදිලිව රූපවාහිනී දර්ශන බැලීමට හැකියාවක් තිබුණේ
නැත. ගුවන්විදුලි ශ්‍රවණ තත්ත්වය ද එලෙසම විය. උතුරේ ඇතැම් ප්‍රදේශවලට ශ්‍රී ලංකා රූපවාහිනී
සේවා හොඳින් දර්ශනය විය. මෙම තත්ත්වය නිසා උතුරේ බොහෝ නගරවල සාමාන්‍ය ස්පීකර් යන්ත්‍ර
ආධාරයෙන් ගුවන්විදුලි නාලිකා ක්‍රියාත්මක විය. මෙහිදී සිදුවන්නේ එකිනෙකට රැහැන්වලින් සම්බන්ධ
කරන ලද ස්පීකර් යන්ත්‍ර නගරය පුරා සවි කිරීමයි. අනතුරුව ප්‍රධාන පාලක මැදිරියකින් වැඩසටහන්
විකාශනය කිරීම සිදුකිරීමයි. ශකිලාට රැකියාවක් සඳහා ආරාධනා ලැබී තිබුණේ එවැනි ස්ථානයකිනි.
“මම ඉස්කේලේ යන කාලයේදී පාසලේ නිවේදන කටයුතු වගේම විවාද
කණ්ඩායමේ හිටපු බව දන්න කෙනෙක් කියලා තමයි රස්සාවට එන්න කිව්වේ.
රස්සාවක් නැතිව හිටපු නිසාත් මාධ්‍යට අදාළ රක්ෂාවක් නිසාත් මම දෙපාරක්
හිතන්නෙ නැතිව කැමැත්ත දුන්නා. මුලතිව් නගරයේ උඩ තට්ටුවක කඩ
කාමරයක තමයි ගුවන්විදුලි මධ්‍යස්ථානය තිබුණෙ. ගුවන්විදුලි මධ්‍යස්ථානයක්
කිව්වට Amp එකක් මයික් දෙකක් වගේ සරල උපකරණ කිහිපයක් තිබුණෙ.
මාත් එක්ක තව ගෑනු ළමයෙක් වැඩ කළා. නාලිකාව උදේ 5.00 ඉඳලා රෑ 7.00
වෙනකම් තිබුණා. අපි දෙන්නා උදේ 7.00 ඉඳලා හවස 5.00 වෙනකම් වැඩ
කළා. අපි නැති වෙලාවට රෙකෝඩ් (පටිගත) කරපුවා දාන්න පිරිමි ළමයෙක්
හිටියා.”

*එතකොට නඩත්තු කරන්න ආදායම් කොහෙන්ද?
“වෙළඳ දැන්වීම් දාන්න කඩවලින් මාසිකව මුදලක් අය කළා. ඊටපස්සෙ ඒ
දැන්වීම දවසට කීප සැරයක් ප්‍රචාරය කරනවා. ස්ථිර දැන්වීම් අපි හඬකවලා
හදනවා. තාවකාලික වෙළඳ දැන්වීම් එවෙලෙට කියනවා. මුලතිව් ඉඳලා
පිටරට පදිංචියට ගිහින් මැරෙන අයගේ මරණ දැන්වීම් වගේම එ​හේ
මළගෙවල්වල මරණ දැන්වීම් මුදල් අය කරලා නිවේදනය කරනවා. ඊට
අමතරව අපේ ප්‍රවෘත්ති වගේම ජාතික මට්ටමේ නාලිකාවල ප්‍රවෘත්තීත්
ප්‍රචාරය කරනවා. මේ වැඩේනම් හොඳට ගියා.”

*එතකොට ලැබුණ විශේෂ අත්දැකීම් තියෙනවද?
“විශේෂ අත්දැකීම් කියන්නෙ ඉන්දියන් හමුදාව ඉඳපු නිසා වෙනම වෙළඳ
සංස්කෘතියක් බිහිවෙලා තිබුණෙ. ඒ කාලයේ ඉන්දියාව තුළ විදේශීය භාණ්ඩ

ආනයනය සීමා කරලා තිබුණෙ. ඒ නිසා ඉන්දියාවේ වර්ණ රුපවාහිනී, ඩෙක්
යන්ත්‍ර, කැමරා වගේ ජපන් නිෂ්පාදනවල ලොකු හිඟයක් තිබිලා තියෙනවා.
ලංකාවේ කාන්තාවෝ මැදපෙරදිග ගිහින් එද්දි විදුලි උපකරණ ගේනවා වගේ
ඉන්දියානු හමුදාව මාස කීපයකට සැරයක් නිවාඩුවට ගෙවල්වලට යද්දි
රූපවාහිනී, විදුලි උපකරණ එක එක අරුමෝසම් බඩු අතින් කටින් එල්ලගෙන
යන්නෙ. ඒ නිසා දකුණෙ සංචාරකයෝ ඉලක්ක කරලා වෙළඳසැල්වල භාණ්ඩ
විකුණනවා වගේ උතුරේ ඉන්දියානු හමුදාව ඉලක්ක කරලා කඩවල භාණ්ඩ
පුරවලා තිබුණෙ. ඒ කාලයේ කඩවලට එන ඉන්දියානු හමුදාව විදුලි උපකරණ,
ඔරලෝසු වගේ දේවල් පෙන්නලා එකම දෙයයිලු අහන්නේ.”

*මොකක්ද ඒ?
“ජපන්ද? කියලා. බොරුවට හරි ජපන් කිව්වොත් ගොඩවල් පිටින් ගන්නවලු.
ජපන් කියපු ගමන් ගන්නවා. ඉංග්‍රීසි අකුරක්වත් දන්නෙ නැති අය ආවම චීන
බඩුත් ජපන් කියලා රවට්ටලා දීලා තියෙනවා. ගොඩක්ම එහෙම දේවල් වුණේ
පදික වේදිකා වෙළඳාමේ. රවටලා දීලා අහුවුණාම ෂූට්, ෂූට් (වෙඩි තියනවා,
වෙඩි තියනවා) කිය කියා තුවක්කුව දික්කරගෙන රවට්ටපු මිනිස්සු හොය
හොයා නගරයේ ඇවිදිනවාලු. තව දෙයක් තමයි ඉන්දියාවේ ජනප්‍රියම මත්පැන්
පානය තමයි රම් කියන්නේ. ඉන්දියන් හමුදාවට රම් එන්නෙ හිතන්න බැරිතරම්
තොගවලින්. ඒ නිසා සමහර ඉන්දියන් භටයෝ රම් බීලා ඇතිවෙලා තියෙන්නෙ
කියලා ගමේ මිනිස්සුන්ගේ කසිප්පුවලට රම් බෝතල් මාරු කරනවාලු.
කසිප්පුවලට හොඳට වෙරි වෙනවා කියලා බොහොම කැමැත්තෙන් තමයි
බොන්නෙ. මට මේ තොරතුරු දැනගන්න ලැබුණේ වෙළඳ දැන්වීම් බාරදෙන්න
එන වෙළඳ සංගමයේ අයගෙන්.”
මේ අතර 1989 අගභාගයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට රණසිංහ ප්‍රේමදාස මහතා පත්විය.
ඔහුගේ පත්වීමෙන් පසුව ඉන්දියානු හමුදාව ආපසු යැවීමට කටයුතු කළ අතර එල්.ටී.ටී.ඊ.ය සමඟ සාම
සාකච්ඡා ද ආරම්භ කරන ලදි.
“ප්‍රේමදාස ජනාධිපතිතුමා පත්වෙලා ටික දවසක් යද්දි ඒ කියන්නේ 1990 මුල්
කාලයේදී ඉන්දියානු හමුදාව ලංකාවෙන් පිටත් වෙන්න පටන්ගත්තා. දවසින්
දවස ඉන්දියානු කඳවුරු අඩුවුණා. ඉන්දියන් හමුදාව පිටත්වෙන එකට දෙමළ
ජනතාව බොහොම කැමැත්තෙන් හිටියා. මම අහලා තියෙන විදියට
එල්.ටී.ටී.ඊ. ප්‍රහාර නිසා ඉන්දියානු හමුදාවේ 1000 විතර මියගිහින්. සාම
සාකච්ඡා නිසා එල්.ටී.ටී.ඊ. එකට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඉන්දියානු

හමුදාව පිටත්වුණාම ඒ ප්‍රදේශවලට එල්.ටී.ටී.ඊ. එක ඇතුළු වුණා. එල්.ටී.ටී.ඊ.
සංවිධානය ප්‍රසිද්ධියේම ආයුද අරගෙන නගරයේ සැරිසැරුවා. ලංකාවේ
හමුදාවයි, පොලිසියයි බලාගෙන ඉද්දි තමයි මේ අය මේ විදියට හැසිරුණේ.
හැබැයි කට්ටිය සතුටෙන් හිටියෙ. මේ විදියට මාස කීපයයි හිටියෙ. මගේ
මතකයේ හැටියට 1990 ජූනි මාසයේ දවසක අපට ආරංචි වුණා මඩකලපුව
ප්‍රදේශයේ හමුදාවයි එල්.ටී.ටී.ඊ. එකයි අතර ගැටුම් ඇතිවෙලා කියලා.”

දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වේ. ලබන සතියට…

සනත් ප්‍රියන්ත