පිල්ලෑවේ බෝ සමිඳුනි අවසරයි ඈ ගැන නොකියා හිටියොත් හිත බරයි -පිල්ලෑවේ මල් විකුණන විශාඛාගේ කතාව
අම්මාට අනුව මේ දිනවල මාගේ ජන්ම පත්‍රයේ කුජ නීච වී රාහු බලගැන්වී
තිබේ. එය මහා අතුරු අන්තරාවලට ද නිමිත්තක් විය හැකි බව ඇය මා සමඟ
පවසා සිටියේ පසුගිය සතිඅන්තයේදීය. ඒ නිසාම ඊට පිළියම වශයෙන් අම්මා
මාහට යෝජනා කළේ අසළ ඇති විහාරස්ථානයකට ගොස් මා අතින්ම බෝධි
ජූජාවක් සිදුකරගන්නා ලෙසයි. ඒ අනුව මාගේත් මා මිතුරියගේත් තෝරාගැනීම
බවට පත්වුණේ බොරැලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි පිල්ලෑව රජමහා විහාරයයි. ඒ
පිළියන්දලත් කොහුවලත් අතර පිහිටි පිල්ලෑව පන්සලට අප පසුගිය සෙනසුරාදා
උදෑසන 09 වෙද්දී ළඟාවූයේ කොළඹ සිට පිළියන්දල දක්වා දිවෙන 120 බස්
රථයකින්ය.
බසයෙන් බැසගත් වහාම මා නෙතට හසුවුණ වැලි අතුළ පළල් මංතීරුවත් ඊට
පසුපසින් වූ දිය අගලත් උද්‍යානයක සිරි ඒත්තු ගැන්වීය. නිල්වන් කෙත්යාය
මධ්‍යයේ තනි ඉරට වූ වැලිපාරේ පළින් පළ මල් කඩ කිහිපයක් දිස්විනි. වැලිපාරට
පිවිසෙන තැනම ඉදිකොට තිබූ තොරණ පසුකොට වැලිපාර දිගේ ඉදිරියට ඇදෙද්දී
මල් කඩ පේළිය ද අපට මුණගැසුණි. එකී මල්කඩ පේළියේ පළමුවට මල්
විකුණුවේ විශාඛා ය. අවසානයේ අප ද ගොඩවැදුණේ සුදු නෙළුම්, මානෙල් සහ
රතු නෙළුම්වලින් ද අඩුවක් නොවුණ විශාඛාගේ මල් කඩයටය. ඇගේ මල්
කඩයට ඉහළින් සෙවිලි කර තිබූ ටකරමත් මහපොළොවත් අතර හිදැසෙන්
පෙනුණ ගොයම එකිනෙකා පරයා නැගීසිටින්නට නොනිම් තරඟයක නිරතව
සිටියත් විශාඛාට ඒ ගැන වගක්වත් නොවුණි. ඇය සිටියේ නිසොල්මනේ මල්
පොහොට්ටු කිහිපයක් අතින් පුබුදුවන ගමන්ය.
සුදු නෙළුම් මිටකුත් මානෙල් මිටකුත් ඇය මාගේ දෝතට පිරිනමනා ඇසිල්ලෙහි
මා ඇය හා කතාවට අරඇද්දෙමි. ඒ කතාබහේදී මා ඇගෙන් අසා දැනගත් ඇගේ
ජීවන අන්දරය ඔබ වෙනුවෙන් ලියා තබන්නට සිතුවේ ඉන් ඔබට ගත යුත්තක්
තිබේයැයි සිතුණ නිසාය.
“දැන් අවුරුදු 12ක් තිස්සේ මම මේ මල් විකිණීමේ රස්සාව කරගෙන යන්නේ.
උදේ 08 වෙද්දී මලුත් අරගෙන මම මෙතැනට එනවා. ඒ ඇවිත් රෑ 07, 08
වෙනකන්ම මල් විකුණනවා.”
එලෙස අවුරුදු 12ක් තිස්සේ විශාඛා මල් විකුනන්නේ ත්‍රී රෝද රථ රියැදුරෙකු වූ
ඇගේ සැමියාට ද සවියක් වන්නට සිතාගෙනය.
“මේ අවුරුදු ගාණටම මේ ටකරම් මඩුවට වැටෙන අව්ව වගේම වැහිපොදත්
මට හොඳට හුරුයි. ඒ හුරුව නිසාමද මන්දා ජීවිතේට එන මොන ප්‍රශ්නෙකදී
වුණත් හිතේ හයිය ඇතුව ඒ හැමදේකටම මුහුණදෙන්න පුළුවන් හැකියාවක්
මට තියෙනවා. ප්‍රශ්න කියන දේවල් හරි තාවකාලික දේවල් කියලයි මට
හිතෙන්නේ. ඒ දේවල්වලට ඒ මොහොතේ මුහුණ දුන්නාට පස්සේ ඊළඟට
එළැඹෙන්නේ අලුත් මොහොතක්. මම නම් නිතරම හිතන්නේ එහෙමයි.”
එහෙම බලද්දී විශාඛාගේ ජීවිතයට උදාවෙන බොහෝ මොහොතවල් අලුත් සහ
නැවුම් මොහොතවල්ය. ඒ නිසාම ඇය බොහෝවිට ඉන්නේ සිනාමුසු මුහුණින්ය.
ඇගෙන් මල් ගන්නට පැමිණෙන සැදැහැවතුන්ට ඇගේ ඒ සිනහව
මගනොහැරෙන්නේ ද ඒ නිසා වන්නට ඇත.
“මම කාටවත් කියන්නේ නැහැ මගෙන්ම මල් ගන්න කියලා. කෙනෙක්ට මගේ
ළඟ තියෙන මල් හොඳ වුණත් තව කෙනෙක්ට හිතට හරියන්නේ නැති වෙන්න
පුළුවන්. ඒකනිසා මම මෙතන්ට එන හැම කෙනෙක්ටම කියන්නේ ඔයාලට
හිතට හරියන තැනකින් මල් අරගෙන යන්න කියලා. ඒ ගැන මගේ කිසිම
තරහක් නැහැ. මට මෙතැන ඉන්න අනිත් මල් විකුණන අය එක්ක කිසි
තරඟයක් නැහැ. මම මේ රැකියාව කරන්නේ ජීවත්වෙන්න මිසක් කාත්
එක්කවත් තරඟ කරන්න නෙමෙයි.”
එකිනෙකා පරයා නැගී සිටින්නට හැල්මේ දුවනා මිනිසුන් අතරේ විශාඛාගේ එකී
කතාවට මට පුදුමත් සිතුණි.
“අපි මේ රස්සාව සතුටින් කළා වුණත් මේක හිතන තරම් ලේසි දෙයක්
නෙවෙයි. මොකද හැමදාම එකවගේ බිස්නස් ලැබෙන්නේ නැහැ. සමහර
වෙලාවට ලාබය වගේම අලාබයත් සමසිතින් විද දරාගන්න සිද්ධ වෙනවා. මල්
විකිණෙන්නේ නැති දවසට අකමැත්තෙන් වුණත් අපිට ඒ මල් විසි කරන්න
සිද්ධ වෙනවා. අපි මේ මල් ගන්නේ මල් වෙළෙන්දොන්ගෙන්. අපි මල්
විකිණුවත් නැතත් ඒ ගාණ දෙන්න වෙනවා. ඒක ඉතිං ලොකු පාඩුවක්.”
එලෙස පැවසූ ඇය මට අතින් පෙන්වූයේ පෙරදින එලෙස ඉවතලූ මල් ගොඩය.
පෙරදින රතට සේම දම් පැහැයටත් විකසිතව තිබූ එකී මල් ගොඩ පසුදින
පඬුපැහැව මුකුලිතව තිබෙනු දුටු විට මාහට දුකක් නොදැනුණාම නොවේ. නමුත්
විශාඛා නම් ඒ දෙස බලා සිටියේ මැදහත් සිතින් යුතුවය.
“ඔය දේවල් ඔහොම තමයි මිස්. මේ ලොකේ කිසිම දෙයක් ස්ථිර නැහැනේ.
එහෙම එකේ මේ මල් හැමදාම තියාගන්න කොහොමත්ම බැහැ. අහිමි වෙලා
යන්න තියෙන දේවල් අහිමි වෙලා යනවමයි. ඒත් එහෙමයි කියලා අපිට ජීවත්
නොවී ඉන්න බැහැනේ. ඒකනිසා මම නම් පරවෙලා විසික් කරන්න වෙන මල්
ගැන දුක් වෙන්න වෙලාව වෙන් කරන්නේ නැහැ. ඒ දේවල්වලට සතුටින්
මුහුණ දෙනවා.”
සියල්ලටම සතුටින් මුහුණ දෙන විශාඛාට සතුටු වන්නට තවත් හේතු
කාරණාවක් තිබුණි. ඒ ඇය මල් විකුණා ජීවත් කරනා ඇගේ එකම දියණියගේ
ඉගෙනුමයි.
“මල් විකුණලා ලැබෙන හැම සතයක්ම වියදම් කරන්නේ ගේ දොර වැඩවලට
වගේම දරුවගේ අධ්‍යපනය කටයුතුවලටයි. දරුවත් ටික ටික අධ්‍යාපනයෙන්
ඉස්සරහට යද්දී දැනෙන සතුට වචන කරන්න බැහැ. ඒක නිසා මම තව
කෙනෙක්ට කියන්නේ මුදල් නැහැ කියලා රට වටේට දෙස්දෙවොල් තියන්න
යන්නේ නැතුව නිකන් ඉන්න හැම තප්පරේකම මොනවමහරි දෙයක් කරන්න.
පිටකොටුවෙන් අඩුවට හඳුන්කූරු ටිකක් අරන් ඇවිත් පැකට් කරලා අපිට හරි
කමක් නැහැ ගෙනත් දෙන්න. මේ කඩවල්වලට දාලා හරි විකුණලා දෙන්නම්.
එතකොට අපිට වගේම සතුටක් ඔය අයටත් දැනේවි.”
නෙත්මි තෂාරා