හිතට දුකක් දැනුණ වෙලාවට මම ගොඩක්ම කැමති ගෙදර අයත් එක්ක කාලය ගත කරන්න
රදීෂ් කියන්නේ කොළඹ ප්‍රදේශයේ ජීවත්වුණ ව්‍යාපාරික තරුණයෙක්. අවුරුදු
කිහිපයක ඉඳන් ඔහුගේ හිතගිය තරුණියක් හිටියා. ඒ තමයි ලිහිණි. රදීෂ්ගේ
හිතගිය ඒ තරුණිය වැඩිදවසක් නොයාම ඔහුගේ පෙම්වතිය බවටත් පත්වුණා.
දවසින් දවස දළු ලා වැඩුණ ඔය පෙම්කතාවට රදීෂ්ගේ පියාගෙන් විරුද්ධත්වයක්
නොතිබුණත් ඔහුගේ අම්මාගෙන් වගේම අක්කා වුණ දිල්රුක්ෂිගෙනුත් ලැබුණේ
එතරම් හොඳ ප්‍රතිචාරයක් නම් නෙවෙයි. ඒ ප්‍රතිචාරයට මූලිකවම හේතුවෙලා
තිබුණේ ඔවුන් දෙදෙනාගේ මාන්නක්කාර ගති පැවතුම්. ඒ මාන්නක්කාර
ගතිපැවතුම් අතර තිබුණු පුරාජේරු කියවිල්ල වගේම එරවිලි ගෙරවිලි ගැනත්
කාලයකට ඉහතදී දෙරණ නාලිකාවේ විකාශය වෙච්ච දෙවෙනි ඉනිම පළමු
කොටසින් දැකබලා ගන්න පුළුවන් වුණා. ඒත් එක්ක රංගන ක්ෂේත්රයට අලුත්
මුහුණුවරක් වුණ රදීෂ්ගේ අක්කා හෙවත් දිල්රුක්ෂිගේ රංගනය ගැන
බොහෝදෙනෙක් කතාබහ කරන්න පටන්ගෙන තිබුණා. ඒකට හේතුව වුණේ
බොහෝදෙනෙකුට නුරුස්සන විදියට අර කියපු මාන්නක්කාර ගතිපැවතුම්වලට
ඇය උපරිම සාධාරණයක් ඉටු කරලා තිබීමයි. ඉතින් මේ රදීෂ්ගේ අක්කා වෙන
කවුරුත් නෙවෙයි, ඇය තමයි රූමලී කේශීඩා. මේ වනවිට නිළියක් විදියට වගේම
නිරූපණ ශිල්පිනියක් විදියටත් කලා ක්ෂේත්රය තුළ නම් දරනා ඒ රූමලීටයි මෙවර
‘ධරණී’ කවරය දරන්න අපි ඇරයුම් කළේ.
“අද වෙද්දී රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් විදියට ඉදිරියට
ආවත් පාසල් කාලයේ නම් මං ගොඩක් ප්‍රසිද්ධ වෙලා හිටියේ ක්‍රීඩිකාවක්
විදියටයි. ඊට අමතරව පාසල් කාලයේදී මම නර්තනයත් හැදෑරුවා. පාසලේ
පැවැත්වුණ නාට්‍ය උළෙලවල්වලට වගේම පාසල් අතරේ පැවැත්වුණ නාට්‍ය
තරඟවලට සහභාගී වෙන්නත් ඒ හරහා මට අවස්ථාව ලැබුණා.”
පාසල් කාලයේදී වුණත් රූමලී වැඩි වෙලාවක් වෙන් කළේ නොදන්නා දේවල්
ඉගෙනගන්නලු. ඒ විදියට නොදන්නා දේවල් පසුපස හඹාගිය රූමලීට නිරූපණ
ක්ෂේත්රය ගැනත් ඔය අතරේ දැනගන්න ලැබිලා.
“පුංචි කාලේ රූපවාහිනියෙන් වගේම පත්තරයෙන් එක එක විදියේ නිරූපණ
වැඩසටහන් මම දැකලා තිබුණා. ඒ දේවල් එක්ක මටත් නිරූපිකාවක් වෙන්න
හිතේ කොනක පුංචි ආසාවක් තිබුණා.”
පාසල් ගමනට සමුදීලා ටික කාලයක් යද්දී ඇගේ හිත ඇතුළේ පැළපදියම් වෙලා
තිබුණ නිරූපණ ආසාව ගැන රූමලී ගෙදර උදවියටත් සැළ කරලා තිබුණා.
රූමලීගේ අම්මා ඒ ආසාවට ඉඩ දුන්නත් ඇගේ පියා නම් මුලදී මේ
සම්බන්ධයෙන් එතරම් මනාපයක් දැක්වුවේ නැහැලු.
“අපේ තාත්තා ව්‍යාපාර කටයුතුවල නිරත වුණ කෙනෙක් නිසා පුංචි කාලේ
ඉඳලම අපේ ගෙදර තිබුණේ ව්‍යාපාරික පසුබිමක්. ඒ වගේ පසුබිමක හැදී
වැඩෙද්දී කලාව කියන දේත් එක්ක ලොකුවට ගනුදෙනු කරන්න අපිට ඉඩක්
ලැබුණේ නැහැ. මට නිරූපණ ශිල්පිනියක් වෙන්න ආසයි කියද්දී තාත්තා ඒ
ගැන කැමැත්තක් නොදක්වන්න ඇත්තෙත් ඒ නිසා වෙන්නැති. මුලදී අකමැති
වුණත් පස්සේ තාත්තා මගේ ආසාවට ඉඩ දුන්නා. ඒත් එක්කම මට පුංචි
අවවාදයක් දෙන්නත් අමතක කළේ නැහැ. ඒ අවවාදේ තමයි ඔයා නිරූපණ
ක්ෂේත්රය හදාරන්න, හැබැයි ඒ ගමන් අධ්‍යාපන කටයුතුත් සමබර කරගෙන
යන්න කියලයි. අධ්‍යාපනය කියන්නේ කෙනෙක්ට පළඳින්න තියෙන හොඳම
ආභරණය කියලා තාත්තා මට වගේම නංගීටත් මල්ලීටත් නිතරම කිව්වා.”
තාත්තාගේ අවවාදය හිස් මුදුනෙන්ම පිළිගත්ත රූමලී කලා ක්ෂේත්රයට ආවත් ඒ
අනුව කටයුතු කරන්න අමතක කළේ නෑ.
“ඊටපස්සේ අම්මාගේත් උදව් ඇතුව නිරූපිකාවක් වෙන්න අවශ්‍ය සුදුසුකම් ටික
මම ටික ටික සම්පූර්ණ කරගත්තා. ඊටපස්සේ Miss Earth, Miss world In Sri
Lanka වගේමMiss Asia කියන රූ රැජින තරඟ කිහිපයකටම සහභාගී වුණා. ඒ
අතරින් Miss world ගෙන් අවසන් දහදෙනා අතරට තේරී පත්වෙන්න වගේම
Miss Earth තරඟය ජයග්‍රහණය කරන්නත් මට හැකි වුණා. නිරූපණය
පැත්තෙන් මම ඒ විදියට කොයිතරම් කාර්යබහුල වුණත් ඒ හේතුව මත
කවදාවත් අධ්‍යාපන වැඩකටයුතු මගහැර ගත්තේ නැහැ. ඒ නිසාම නිරූපණ
වැඩකටයුතුවල නිරතවෙන ගමන්ම නීතියත් වැඩිදුරට ඉගෙනගත්තා.”
ඒ අතරේ නීතියෙන් වගේම නිරූපණයෙන් ඉදිරියට ආපු රූමලීගේ කකුලෙන්
අදින්න ප්‍රශ්න, බාධකත් මදි නොකියන්න ඇය අභියසට ඇවිත් තිබුණා.
“මට නිරූපණ ක්ෂේත්රයට පිවිසෙන්න ලොකු ආසාවක් තිබුණත් ඒකට
ගැළපෙන පෙනුමක් මුලදී තිබුණේ නැහැ. ඒකනිසා මට ඒ වෙනුවෙන් මහන්සි
වෙන්න සිද්ධ වුණා. ඊටපස්සේ නිරූපණ වැඩකටයුතුවලට යද්දී මගේ පරිස්සම
මටම බලාගන්න සිද්ධ වුණා. ප්‍රශ්න බාධක එල්ල වුණත් මම ඒවා බාධාවක්
කරගත්තේ නැහැ.”
ඒ හැම මොහොතකටම ශක්තිමත්ව මුහුණදෙන්න පුංචි කාලේ ඉඳලම ඇය
ප්‍රගුණ කරපු පොත් කියැවීමේ පුරුද්දත් බලපාලා තිබුණලු.
“පාසල් කාලයේ ඉඳලම ඉඩක් ලැබුණ හැම මොහොතකම මම කළේ පොත්
කියවපු එක වගේම චිත්‍රපට නරඹපු එක. ඒ දේවල්වල සමහර තැන්
තියෙනවා අපේ ජීවිතවලටත් ගළපාගන්න පුළුවන්. පොත්වල වගේම
චිත්‍රපටවල තියෙන ඒ වගේ තැන් මම මගේ ජීවිතේ ඇතුළෙත් අනුගමනය
කරනවා. ඒ වගේම තමයි ඒවා ඇතුළේ හුස්මගන්න එක එක විදියේ
චරිතවලින් මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න ඕන විදිය ගැනත් ලොකු
අවබෝධයක් ලැබෙනවා.”
පස්සේ කාලේක රංගන ශිල්පිනියක් විදියට විවිධ චරිතවලින් ප්‍රේක්ෂකයින්
ඉදිරියට එන්න රූමලීට පොත් වගේම චිත්‍රපට ඇසුරේ ලබපු අවබෝධයත්
බලපාන්න ඇති කියලා මට හිතුණේ රංගන දිවියට අවතීර්ණ වුණ විදිය රූමලී
මතක් කළ මොහොතේදීයි.
“නිරූපණ කටයුතුවල නියැළෙන ගමන් මම වෙළඳ දැන්වීම් කිහිපයකටත්
පෙනී හිටියා. එහෙම ඉන්න අතරතුරේ මට අවස්ථාව ලැබුණා දෙරණ
නාලිකාවේ තිර පරීක්ෂණයකට මුහුණදෙන්න. ඇත්තටම ඒක අහම්බෙන්
ලැබුණ අවස්ථාවක්. ඒ තිර පරීක්ෂණය සමත් වීමත් එක්ක තමයි දෙරණ
නාලිකාවෙම විකාශනය වුණ පාවෙන වළාකුළේ ඒවිදෝ අම්මා ටෙලිනාට්‍යයට
සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණේ. ඒක මගේ පළවැනි ටෙලිනාට්‍යය
වුණත් නොහිතපු තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මට ඒ වෙනුවෙන් ලැබුණා.”
රූමලී මුලින්ම ප්‍රේක්ෂකයන්ට සමීප වුණේ පාවෙන වළාකුලේ ඒවිදෝ අම්මා
ටෙලිනාට්‍යයේ ටීනා විදියට වුණත් ඇය මෙතෙක් රංගනයෙන් දායක වුණ චරිත
අතරින් ඇගේ හිතට තදින්ම දැනිලා තිබුණේ නම් දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ
රදීෂ්ගේ අක්කා (දිල්රුක්ෂි) විදියට රඟදක්වපු චරිතයලු.
“දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ මම රංගනයෙන් දායක වුණ දිල්රුක්ෂිගේ
චරිතය මැදකදී තමයි කතාවට සම්බන්ධ වුණේ. හැබැයි එහෙම වුණත් ඒ
චරිතයත් එක්ක තමයි ප්‍රේක්ෂකයෝ බොහෝදෙනෙක් මාව අඳුරගත්තේ.
ඇත්තටම ඒ චරිතය මගේ රංගන ජීවිතයට ලොකු ආලෝකයක් වුණා.”
පුංචි තිරයෙන් ඒ විදියට කරළියට ආපු රූමලී ක්ෂේත්රයට ඇවිත් අවුරුදු හතරක්
වෙද්දීම රීදී තිරය නියෝජනය කරන්න තරම් වාසනාවන්තියක් වෙලා තිබුණා.
“මම රංගනයෙන් දායක වුණ පළවැනි සිනමා නිර්මාණය තමයි හර්ෂ උඩකන්ද
අධ්‍යක්ෂණය කරන රෝස ආදරේ සිනමා සිත්තම. ඒ නිර්මාණය මේ මාසේ
බෝහෝදුරට තිරගත වෙයි. ඉතිං මාත් ඇතුළුව දිනක්ෂි අක්කා, පැතුම්
රුක්ෂාන් වාගේ නළු නිළියන් කිහිපදෙනෙක්ම ඒ සිනමා නිර්මාණය සදහා
රංගනයෙන් දායක වුණා. ඊට අමතරව ඉදිරියේදී තිරගත වීමට නියමිත තවත්
සිනමා නිර්මාණ දෙකකින් මාගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට මාව දැක
බලාගන්න පුළුවන් වේවි.”
ප්‍රේක්ෂකයින්ගේ වෙහෙස, කාන්සිය, තනිකම වගේම පීඩනය දුරු කරන්න
හිතාගෙන රූමලීලා ඔය වගේ සිනමා නිර්මාණවල වගේම ටෙලිනිර්මාණවලට
රංගනයෙන් දායක වුණාට සමහරවෙලාවට ඔවුන්ටත් ප්‍රේක්ෂකයන්ට වගේම
වෙහෙස පීඩාව නොදැනෙනවාම නොවේ. ඒ වගේ වෙලාවට රූමලී නම් කරන්නේ
පවුලේ උදවිය එක්ක වැඩිපුර කාලය ගතකරන එකලු.
“මගේ හිතට පීඩාවක් දැනුණ වෙලාවට මම ගොඩක් කැමති ගෙදර අයත්
එක්ක කාලය ගත කරන්න. එයාලා එක්ක නිවීහැනහිල්ලේ හැමදෙයක්ම
බෙදාහදා ගනිද්දී දැනෙන්නේ පුදුම සැනසීමක්.”
ගෙදර අයට අමතරව රූමලීගේ දේවල් බෙදාහදා ගන්න ඇයට තවත් විශේෂ
මිතුරු හවුලකුත් ඉන්න බවයි ඇය පැවසුවේ. ඒ මිතුරු හවුල වුණේ ඇගේ නිවස
අවට වාසය කරන බලුරාළලා කිහිපදෙනෙක් වගේම පූස්හාමිලා කිහිපදෙනෙක්.
“මම සත්තුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඒක නිසා පාරකතොටකදී
බල්ලෙක් පූසෙක් දැක්කොත් අනිවාර්යයෙන්ම කන්න මොනවහරි දීලා තමයි
මම එන්නේ. ඉතිං මම එහෙම කරලා මිතුරු වුණ බලු මල්ලිලා වගේම පූස්
මල්ලිලා නංගිලා දහයක් විතර ගෙදර අවට ඉන්නවා. හැමදාම හවසට ඒ අය
මාව බලලා යන්න ගේට්ටුව ළඟට එනවා. ඒ ආවට පස්සේ ඒ අය එක්ක
ගෙවන තප්පර කිහිපයේ වුණත් මට දැනෙන්නේ පුදුම සතුටක්.”
ඇගේ දේවල් බෙදාහදාන්න පවුලේ උදවිය වගේම පූස්, බලු හවුලත් ඉන්න එකේ
මම ඊළඟට ඇගෙන් ඇසුවේ ආදරය බෙදාහදාගන්න කෙනෙක් නැතිද කියලයි.
“පාසල් කාලයේ ඉඳලා අද වෙනකන් වෙනසක් නැතුව මාත් එක්ක ආදරය
බෙදාගන්න මගේ පෙම්වතා තමයි අම්මා තාත්තා ඇරුණම මගේ පිටුපසින්
ඉන්න එකම හෙවණැල්ල. ක්ෂේත්රයෙන් වගේම නිරූපණ ක්ෂේත්රයේ මේ තරම්
දුරක් එන්න ඔහුගෙන් ලැබුණ සහයෝගයත් මට ලොකු ශක්තියක් වුණා. ඒ
ශක්තියත් එක්ක ඉදිරියටත් මේ ගමන යන එක තමයි දැන් මගේ එකම
බලාපොරොත්තුව.”
ඒ විදියේ බලාපොරොත්තුවකින් ඉදිරිය දකින ගමන් ‘ධරණී’ කියවන පාඨක
ඔබටත් වටිනා පණිවුඩයක් දෙන්න රූමලී අමතක කළේ නැහැ.
“තමන් යන්නෙ මොන ක්ෂේත්රයකින් වුණත් ප්‍රශ්න බාධක කියන දේවල් ඒ
හැමතැනකදිම පොදුයි. ඒක නිසා ප්‍රශ්න බාධක කියන දේවල් තමන්ගේ
ගමනට බාධාවක් කරගෙන ඒ දේවල් ගැන හිත හිත ඉන්නේ නැතුව හිත
හයිය කරගෙන හැමදේකටම මුහුණදෙන්න ඕනෑ. ඒ හැමවෙලාවකම තමන්ගේ
අරමුණු හිතට අරගෙන ඒ වෙනුවෙන් වැඩ කිරීම තමයි වැදගත්ම දේ.
එතකොට නොදැනීම ඔබ ඔබේ ක්ෂේත්රය තුළ හිතනවටත් ගොඩක් දුර ගිහින්
තියේවි.”
නෙත්මි තෂාරා
ඡායාරූප – චමත් ඒකනායක
හැඩගැන්වීම – Salon Chamya and Academy