නවතම ප්‍රවෘත්ති

ඒ කැරළි කොණ්ඩකාරිව හොයලා ගෙනැත් දීපියව්!

මීට කාලාන්තරයකට ඉහත කුණ්ඩසාලේ ශ්‍රී වීර පරාක්‍රම කියලා රජ කෙනෙක් ලංකාව පාලනය කළා.
දවසක් මෙතුමා තමන්ගේ හිතවත් ඇමතිවරු කිහිපදෙනෙකුත් එක්ක ස්නානය කරන්න මහවැලි ගඟේ
ලේවැල්ල කියන තොටුපොළට ගියාලු. ඊටපස්සේ තොටුපොළේ පිනුම් ගලට නැගපු රජ්ජුරුවෝ වතුරට
පැනලා දියබුං ගහන්න පටන්ගත්තාලු. මෙහෙම දියබුං ගහන අතරතුරේ වතුරේ තිබිලා අඩි පහක් විතර
දිග කෙස්ගහක් රජතුමාගේ අතේ පැටලිලා. කෙස්ගහ දැක්කා විතරයි රජතුමා අන්දුන් කුන්දුන් වෙලා ටික
වෙලාවක් ඒ දිහා බලාගෙන හිටියලු. ඒ වෙලාවෙම ඒ කෙස්ගහේ හිමිකාරියව තමන් සන්තක කරගන්න
රජ්ජුරුවන්ට හිතක් පහල වෙලා. ඊටපස්සේ වටේ හිටපු ඇමතිවරු අමතලා රජ්ජුරුවෝ මෙහෙම කිව්වලු.
“මේ කෙස්ගහේ හිමිකාරී රැළි ගැහුණ කෙස්කළඹක් තියෙන ලස්සන
ඇත්තියක් වෙන්න ඕනෑ. ඒ නිසා ගම්දනව් පීරලා හරි ඒ ඇත්තිව හොයාගෙන
එන්න කියලා වහාම රාජපුරුෂයන්ට අණ කරන්න.”
ඒ අණ කළා වගේම රාජපුරුෂයොත් ගමක් ගමක් නෑර කෙස්ගහේ හිමිකාරිව හෙව්වලු. අවසානේ රැයක්
දවාලක් නැතුව වෙහෙසුණ රාජපුරුෂයන්ට ඇගේ වංහුන් දැනගන්න ලැබිලා. හැබැයි ඒ ඇත්තිව රජ්ජුරුවෝ
ගාවට එක්කරගෙන යන්නනම් රාජපුරුෂයන්ට පුළුවන්කමක් ලැබිලා නෑ. මොකද රාජපුරුෂයෝ තමන්ව
හොයාගෙන එන ආරංචියට ඇය කොත්මලේ පැත්තට ගිහින් වහන් වෙලා.
මේ කතාව අහද්දී මටනම් හිතුණේ රජ්ජුරුවෝ ඒ සා දිග කොණ්ඩයක් හිමි කැරළි කොණ්ඩකාරිව
හොයන්න වැය කරපු කාලය තමන්ගෙ කොණ්ඩේ ගැන හොයා බලන්න වැය කෙරුවනම් හරි කියලයි.
මොකද රජ්ජුරුවොත් ඒ කාලේ දිගට කොණ්ඩේ වැවුවා නොවැ!
ඉතින් ඒ වගේ දිගු, නිරෝගී කෙස්කළඹක් ලබාගන්න කළ හැකි සත්කාර ඕනෑතරම් ආයුර්වේදය තුළ හඳුන්වා
දීලා තිබෙනවා. ඒ වගේ සත්කාර කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.
පළමු ක්‍රමය තමයි පිරිසිදු පොල්තෙල් භාවිතා කර හිසකෙස් සම්බාහනය කිරීම. හැබැයි මුලින්ම හිස
හොඳින් සෝදලා හිසකෙස් වියැලුණාට පසුවයි මේ ක්‍රමයට හිස සම්බාහනය කරගන්න ඕනෑ. ඒ මගින්
රුධිර සංසරණය ක්‍රමානුකූලව සිද්ධවෙලා හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය ලැබෙන නිසා ඔබට දිගු සහ
නිරෝගී කෙස්කළඹක් ලබාගන්න පුළුවන්. පොල්තෙල්වලට අමතරව මේ සත්කාරය සිදු කළ හැකි තවත්
ක්‍රමත් තිබෙනවා.
ආමන්ඩ් තෙල් මේස හැඳි 1කට, නිර්ගුංඩි තෙල් මේස හැඳි 1ක් එක්කරලා හිසකෙස්වල සහ හිස්කබලේ ආලේප
කරලා විනාඩි 20ක් විතර සම්බාහනය කරගන්න. එයින් රුධිර සංසරණය ඉතා හොඳින් සිදුවී ඉක්මණින්
නිරෝගී දිගු කෙස්කළඹක් ලබාගත හැකියි.

අවර්ණ සහ දුර්වල කෙස්කළඹකට ප්‍රතිකාරයක් විදියට විටමින් E කරලකට නීල්‍යාදි තෙල් මේස හැඳි
2ක් හොඳට මිශ්‍ර කරලා ඇඟිලිතුඩුවලින් හිස පුරාම ආලේප කරලා සම්බාහනය කරගන්න පුළුවන් .
හිස සම්බාහනය කරගන්න ඉහතින් දක්වපු ද්‍රව්‍ය යොදාගන්නවා වගේම හිසේ ආලේප කරන්නත්
යොදාගන්න පුළුවන් ද්‍රව්‍ය කිහිපයක්ම තිබෙනවා.
ඒ අතරින් බිත්තර සුදු මද 1කට, ඔලිව් තෙල් මේස හැඳි 2ක්, දෙහි යුෂ තේ හැඳි 1ක් එක් කරලා හිසකෙස්වල
ගල්වා විනාඩි 20ක් විතර ඉඳලා මද උණුසුම් උණුවතුරින් සෝදාහරින්න පුළුවන්. දිගු කෙස්කළඹක් සඳහා
මෙයත් ඉතාම හොඳ සත්කාරයක්.
උලුහාල් 10gක්, දෙහිගැට 3ක් සහ ගොඩපර ගෙඩි 2ක් අරගෙන හොඳින් තම්බා හිසෙහි ගල්වා විනාඩි
30කට පසු සෝදා ඉවත් කරගැනීමෙන් හිස්සොරිවලින් තොර නිරෝගී කෙස්කළඹක් ලබාගත හැකියි.
ඊට අමතරව වෙරළු කොළ යුෂවලින් වගේම පේර කොළ යුෂවලින් හිස සේදීමත් හිසකෙස් වර්ධනයට
හොඳ සත්කාර හැටියටයි ආයුර්වේදයේ දැක්වෙන්නේ.
මීට අමතරව හිසකෙස් වර්ධනය සඳහා සත්කාරයක් විදියට කුරුඳු සත්කාරය දක්වන්න පුළුවන්. ඒකට කුරුඳු
කුඩු තේ හැඳි 1කට පොල්තෙල් තේ හැඳි 2ක් එක්කරලා හිස්කබලේ ආලේප කරගන්න. විනාඩි 30ක් හොඳට
සම්බාහනය කරගෙන මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරගන්න.
පොල්තෙල් තේ හැඳි 1කට ලෙමන් යුෂ තේ හැඳි 2කුත් යෝගට් කෝප්පයකින් බාගයක පමණ යෝගට් සහ
බිත්තර සුදු මදයකුත් එක්කර හිස්කබලේ වගේම හිසකෙස්වලත් ආලේප කිරීමෙන් හිසකෙස් වියළීම
වළක්වාගන්න පුළුවන්. මින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගන්න නම් ආලේපනය ගල්වා උණුසුම් තුවායකින්
හිස ආවරණය කරගෙන විනාඩි 20ක් විතර ඉඳලා මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න අවශ්‍යයි.
ඉහත කියපු සත්කාර කරනවා වගේම නිරෝගී කෙස්කළඹක් ලබාගන්න අනුගමනය කළ යුතු කරුණු
කිහිපයක්ම තිබෙනවා. ඒ අතර කෘත්‍රිම ආහාරවලින් වැළකීම, සුවදායක නින්දක් ලබාගැනීම, ප්‍රමිතියෙන්
තොර ඩයි වර්ග, ෂැම්පු භාවිතයෙන් වැළකීමත් වැදගත්. ඊට අමතරව නිතර කොණ්ඩයට මෝස්තර
නොදැමීම, හිසකෙස් කප්පාදු කර හානි වූ කෙස් අග ඉවත් කිරීම, නිතර හිසකෙස් සේදීමෙන් වැළකීම
වගේම උණුසුම් වතුරින් හිසකෙස් සේදීමෙන් වැළකීමත් නිරෝගී දිගු කෙස්කළඹක් ලබන්න හේතු වෙනවා.
නෙත්මි තෂාරා
උපදෙස් – වෛද්‍ය එස්.එම්.මධුෂාණි වත්සලා කුමාරි
ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී (ගෞරව )
ප්‍රධාන වෛද්‍ය නිලධාරී – ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික්, මාවනැල්ල