නවතම ප්‍රවෘත්ති

යුද්ධෙ පටන්ගත්තට පස්සෙ මටත් ඊළාම් අධිකරණයේ රස්සාවක් ලැබුණා

මුලතිව් උපන් සදාෂිවම් ශකිලා කුඩා කාලයේ සිට අධ්‍යාපනයට, ක්‍රීඩාවට, කලාවට දක්ෂකම්
දක්වන්නීය. සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වුවද පියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් සිය
අධ්‍යාපන කටයුතු අතරමග නවතා මුද්‍රණාලයක රැකියාවට යන්නට ඇයට සිදුවිය. මේ අතර කාලයේඉන්දු-ලංකා ගිවිසුම අනුව ලංකාවට ආ ඉන්දියානු හමුදාවෝ නැවත පිටත්ව ගියහ. එල්.ටී.ටී.ඊ.ය හා එවකට
ජනාධිපති ප්‍රේමදාස අතර පැවති සාම සාකච්ඡා ද බිඳ වැටිණි. අද එතැන් සිට…

“සාම සාකච්ඡා බිඳවැටුණට පස්සේ උතුරු නැගෙනහිර ප්‍රදේශ කීපයකම සටන්
පටන් අරගෙන කියලා දැනගන්න ලැබුණා. අපට අහන්න ලැබුණ දේවල්වල
හැටියට ගොඩක් පොලිස් ස්ථාන එල්.ටී.ටී.ඊ. යටතට පත්වෙලා තිබුණා.
එයාලා යටත්වුණ නිසා තමයි එහෙම වෙලා තිබුණෙ. හැබැයි යුද හමුදාවෙන්
එ‍‍හෙම යටත් නොවී සටන් කරලා තිබුණා. ඒ නිසා ගොඩක් හමුදා කඳවුරු
ළඟ සටන් පවතිනවා කියලා අපට ආරංචි ලැබුණා.” ශකිලා කීවාය.
සටන් විරාමය බිඳවැටීමත් සමඟ ඉහළ බලධාරීන්ගෙන් පොලිසියට උපදෙස් ලැබී තිබුණේ එල්.ටී.ටී.ඊ.යට
යටත් වන ලෙසයි. එසේ යටත් වූ පොලිස් ස්ථානවල තිබූ ගිනිඅවි දහස් ගණනක් හා උණ්ඩු ලක්ෂ ගණනක්
එල්.ටී.ටී.ඊ. සංවිධානය අතට පත්විය. නමුත් දේශපාලන අධිකාරිය ලබාදුන් උපදෙස් යුද හමුදාව
පිළිපැද්දේ නැත. ඔවුහු යටත් නොවී සටන් කිරීමට තීරණය කළෝය. එහි ප්‍රතිඵලය වූයේ ප්‍රදේශ
රැසක යුද හමුදාව හා එල්.ටී.ටී.ඊ. අතර සටන් ඇවිලීයාමයි. එම සටන්වලදී බොහෝ හමුදා කඳවුරු ආරක්ෂා
කරගැනීමට යුද හමුදාවෝ සමත් වූහ. මුලතිව් හමුදා කඳවුරේ ද මේ තත්ත්වය ඇතිවිය. ඇතිවූ අවදානම
වටහාගත් හමුදා ප්‍රධානීහු කඳවුරු වල පිරිස් බලය හා සන්නද්ධ බලය වැඩි කිරීමට කටයුතු කළහ. එහිදී
කඳවුරු භූමිය ද විශාල කරන ලදි. මුලතිව් හමුදා කඳවුරට ආසන්නතම හමුදා කඳවුර කිලෝමීටර් 50ට වැඩි

දුරකින් පිහිටීම නිසා කඳවුර පැවතියේ සම්පූර්ණයෙන්ම හුදකලා කඳවුරක් ලෙසයි. යළිත් හඬ අවදි කළ
ශකිලා.
“යුද්ධය ආරම්භ වුණත් එක්ක යුද හමුදාවේ අය ගොඩක් මුලතිව්වලට ආවා.

එයාලට නවතින්න තැන් නැති නිසා මුලතිව් නගරයම යුද හමුදා කඳවුරක්
වුණා. නගරයේ ඉඳපු ව්‍යාපාරිකයෝ වගේම සාමාන්‍ය මිනිස්සු නගරය
අත්හැරලා ගියා. රජයේ කාර්යාලත් ඒවල තිබුණ ලිපි ලේඛන අරගෙන ඉවත්
වුණා. කොහොමහරි තැපැල් කාර්යාලය, කච්චේරිය, කඩ වීදිය, ලංගම
ඩි​පෝව වගේ මුලතිව් නගරයේ සේරම වැදගත් ස්ථාන ඇතුළත් වෙන්න තමයි
හමුදා කඳවුර විශාල කළේ. ඒ නිසා ඒක කිලෝමීටර් ගාණක් දිග හමුදා
කඳවුරක් වුණා. එයාලට සැපයුම් සේරම ලැබුණෙ මුහුදෙනුයි ගුවනිනුයි.
සැපයුම් ලබාගන්න නාවික හමුදා කඳවුරක් වගේම කුඩා ගුවන් ධාවන
පථයකුත් හදලා තිබුණා කියලා අපට ආරංචි වුණා.
පොලිසිය තිබුණෙත් හමුදා කඳවුරු භූමියේ ඇතුළෙමයි. මේ තත්ත්වයත් එක්ක
කඳවුරට කිලෝමීටර් ගාණක් ඇතුළත හිටපු සාමාන්‍ය මිනිස්සු සේරම ප්‍රදේශය
අත්හැරලා යන්න පටන්ගත්තා. එල්.ටී.ටී.ඊ. එකෙන් උපදෙස් ලැබුණෙ අවතැන්
වෙලා යන අයට පුදුකුඩිරිප්පුවලට යන්න කියලා. එයාලා පුදුකුඩිරිප්පු
තෝරාගත්තේ කිට්ටුවක හමුදා කඳවුරක් නැති නිසාත් මුහුදට ඈත නිසාත්
වෙන්න ඇති. මුහුද ළඟ හිටියොත් නාවික හමුදාවෙන් එකපාරම ඇතුල්වෙලා
ප්‍රහාර එල්ල කරාවි කියලා සැකයක් තිබුණා.
කොහොම වුණත් කිලෝමීටර 25ක් විතර දුරින් තිබුණ පුදුකුඩිරිප්පුවලට යන
එක ලේසි වුණේ නැහැ. වාහන තිබුණ අය ගෙවල්දොරවල වහලවල තහඩු
එහෙම ගලවගෙන ගියා. අපට වාහන තිබුණෙ නැති නිසා අත්‍යවශ්‍ය බඩු
මුට්ටු, රෙදි, ලියවිලි වගේ දේවල් අරගෙන ට්‍රැක්ටරයක නැගලා ගියා. එදා ලබපු
අත්දැකීම අමතක වෙන්නෙ නැහැ. හරියට දැන් රූපවාහිනියේ පෙන්නන්නෙ
ඊශ්‍රායලයේ ගාසා තීර​යේ මිනිස්සු අනාථ වෙලා පාරවල් පිරිලා යන්නෙ ඒ
වගේ තමයි. හැබැයි ඒ තරම්වත් වාහන පහසුකම් තිබුණෙ නැහැ. කරත්තවල,
ට්‍රැක්ටර්වල නැගලා ගියේ. පයිනුත් ගොඩක් අය ගියා. පුදුකුඩිරිප්පුවලට
50,000ට වැඩි සෙනඟක් ගියාම එච්චර සෙනඟකට ඉන්න පහසුකම් තිබුණෙ
නැහැ. එල්.ටී.ටී.ඊ. එකෙන් පුළුවන් විදියට පහසුකම් දුන්නා. අපේ පවුලෙ අය
දුරින් ඥාති වෙන ගෙදරක නැවතුණා. ටික දවසක් යද්දි තේරුණා අපට
නවාතැන් දුන්නට එයාලත් කරදරෙන් ඉන්නෙ කියලා. ඒ වෙද්දි එල්.ටී.ටී.ඊ.
සංවිධානය එක්ක පවුලෙ සම්බන්ධකම් තිබුණා. ඒ නිසා එයාලා අපට

සාමාන්‍ය පොඩි ගෙයක් හදලා දුන්නා. ඒ පොඩි ගෙදර තමයි අම්මා, තාත්තා,
පවුලෙ අය ජීවත්වුණේ.”

*එතකොට ජීවත්වෙන්න ආදායම් මාර්ගයක්?

“ඇත්තටම පුදුකුඩිරිප්පු කියන්නෙ නිකම්ම අනාථයෝ ආපු ගමක් නෙමෙයි.
මුලතිව් නගරය එහෙම පිටින්ම පුදුකුඩිරිප්පුවල පිහිටෙව්වා. මුලතිව්
කච්චේරිය, තැපැල් කාර්යාලය, රෝහල වගේම ව්‍යාපාරිකයෝ තමන්ගේ
ව්‍යාපාරික ස්ථානත් පිහිටෙව්වා. වැඩි දවසක් යන්න කලින් පුදුකුඩිරිප්පු

නගරයක් බවට පත්වුණා. ඒ නිසා සුළු සුළු රැකියා කරලා කියක් හරි
හොයාගත්තා. ඔය වෙද්දි තව දෙයක් වුණා.
එච්චර කාලයක් තිබුණ රජයේ පාලනය සම්පූර්ණයෙන් නැතිවෙලා එල්.ටී.ටී.ඊ.
එක නිල වශයෙන්ම පරිපාලනය කළා. 1990 වෙනකම්ම මුලතිව්වල තිබුණෙ
රජයේ අධිකරණය. ඒත් පස්සේ ඒවා සම්පූර්ණයෙන්ම වැහිලා ගියා. ඊටපස්සේ
පටන්ගත්තෙ ඊළාම් අධිකරණය. පුදුකුඩිරිප්පුවලත් එල්.ටී.ටී.ඊ. එකෙන් ඊළාම්
අධිකරණයක් පටන්ගන්නවා කියලා ආරංචි වුණා. ඒ වෙද්දි යාපනයේ තැන්
කිහිපයක ඊළාම් අධිකරණ තිබුණා. අපේ පවුල එල්.ටී.ටී.ඊ. එකත් එක්ක
සම්බන්ධකම් තිබුණු නිසා මටත් ඊළාම් උසාවියේ රැකියාවක් ලැබුණා. තනතුර
වුණේ නඩු භාණ්ඩ ගබඩා භාරකරු. පඩිය රු.3000ක් තිබුණා. සාමාන්‍ය
උසාවියක සිද්ධ වෙන අධිකරණ ක්‍රියාවලිය ඒ ආකාරයට සිද්ධ වුණා.
එල්.ටී.ටී.ඊ. එකේ ඊළාම් දණ්ඩනීති සංග්‍රහයක් සකස් කරලා තිබුණා. ඒ
දණ්ඩනීති සංග්‍රහය අනුව තමයි වැඩකටයුතු සිද්ධ වුණේ.”

*එතකොට විනිසුරුවරු, නීතීඥවරු කවුද?
“ඊළාම් දණ්ඩනීති සංග්‍රහය වගේම නීතිය උගන්වන්න ඊළාම් නීති විද්‍යාලයක්
පිහිටුවලා තිබුණා. එතැනින් තමයි නීතීඥවරු බිහිවුණේ. විනිසුරුවරුන්
එල්.ටී.ටී.ඊ. එකෙන් පත් කරනවා.”

ඊළාම් අධිකරණයේ තොරතුරු ලබන සතියට…

සනත් ප්‍රියන්ත