නවතම ප්‍රවෘත්ති

පූජාව ඉවර වෙන්නෙ කොයි වෙලාවෙද එතකන්ම එයත් හොඬවැල උස්සගෙන වඳිනවා

1602 අවුරුද්දේ අපේ රට ආක්‍රමණය කරපු ඕලන්දකාරයින් අපේ තිබුණු වෙහෙර විහාර ගණනාවක්ම මුළුමනින් විනාශ කරලා දැම්මා. ඒ සා විශාල විනාශයක් කරමින් ඔවුන් රුහුණට ආවට පස්සේ වැඩියෙන්ම කලබල වුණා කියන්නේ ඒ කාලේ කතරගම දේවාලය බාරව හිටපු පාරම්පරික කපු මහත්වරු. ඒ, මේ පිට දේශක්කාරයින් අතින් කතරගම දෙවියන් සතු වස්තුවට හානියක් වෙයි කියලා. ඒ නිසා මේ කපු මහත්වරු දැනට යාල වනෝද්‍යානය විදියට සැළකෙන කැලයේ, කුඹුක්කන් ඔය අසබඩ සියඹලා ගහක් ළඟ ජීවත්වුණු කැබිලිත්තේ රාළ කියලා කෙනෙකුගෙන් ඉල්ලීමක් කළාලු; දෙවියන්ගේ වස්තුව පරිස්සම් කරලා දෙන්න කියලා. ඔය කැබිලිත්තේ රාළ කියලා කියන්නේ දේහධාරී ශරීරයක් තිබුණු, කැලේ දුවන කුළු මී හරක් පවා අල්ලලා ගස්‌ බැඳලා හීලෑ කරන්න පුළුවන් ජාතියේ හයිහත්තිය තිබුණු මනුස්සයෙක්ලු. 

කොහොමහරි මාස කීපයක් යද්දි ඕලන්දකාරයින් එතැනට ඇවිත්. ඔවුන් එක්ක ද්වන්ධ සටනක් කරන්නත් කැබිලිත්තේ රාළට සිදුවෙලා. ඒ සටනින් ඕලන්දයින් විනාශ වුණත් සටනින් දැඩිව තුවාල ලබපු කැබිලිත්තේ රාළ එතැනම මියගිහින්. මියයන වෙලාවේ ඔහු එක ප්‍රාර්ථනයක් කළාලු. ඒ තමන් මිය ඇදුනත් කුමක්ම හෝ විදියකින් කතරගම දෙවියන්ට අයත් වස්‌තුව රැකගන්නවා කියලා. කාලයක් ගියාට පස්සේ කතරගම කපුමහත්වරුන් පැමිණ සියඹලා ගසේ බෙනයක සඟවා තිබූ දෙවියන්ගේ වස්තුව අරන් ගිහින් යළි දේවාලයේ තැන්පත් කරලා. ඒ අතරෙම සියඹලා ගස පිහිටි ස්ථානය කැබිලිත්තේ රාළට කරන ගෞරවයක් විදියට ‘කැබිලිත්ත’ කියලා නම් කරලා. පස්සේ කාලෙක තමයි එතැන අර සියඹලා ගස මූලික කරගෙන ‘කැබිලිත්ත දේවාලය’ නමින් දේවාලයක් ඉදිකරලා තියෙන්නේ. කැබිලිත්තේ රාළ අදෘෂ්‍යමාන බලවේගයක් වෙලා අදත් එතැන ආරක්ෂා කරනවා කියලයි බොහෝදෙනා විශ්වාස කරන්නේ. ඇතැමුන් කළු බණ්ඩාර කියලා හඳුන්වන්නේත් මේ කියන කැබිලිත්තේ රාළම තමයි.

එහෙව් අතීතයක් තියෙන මේ කැබිලිත්ත දේවාලය අපේ රටේ තියෙන ප්‍රසිද්ධම දේවාලයක්. ඒක නිසයි සමහරු කියන්නේ ඉන්දියාවට තිරුපති දෙවොල වගේ ලංකාවට තියෙන්නේ කැබිලිත්ත දේවාලය කියලා. ඒකට හේතුව තමයි කැබිලිත්ත දේවාලයේ ඇති බවට පැවසෙන හාස්කම්. හාස්කම් ඉහළ භූමියක් විදියට සැළකෙන මේ දේවාල බිමේ හිතාමතා වැරදි සිදුකරන අයට ඒ මොහොතේම දඬුවම් ලැබෙන බව තමයි බොහෝදෙනා කියන්නේ. හො‍ඳම උදාහරණය 1978 අවුරුද්දේ මේ දේවාල සීමාවේ වැලි කුකුළෙකුට වෙඩි තැබූ පුද්ගලයෙකුට සිදුවුණු බව කියන සන්තෑසිය. එදා ඔහු ඒ මස් ආහාරයට ගනිමින් ඉන්නැද්දි හිටපු ගමන් ඔහුට ලේ අතීසාරයක් වැළඳුනා ලු. පසුව ඔහු රෝහලට ගෙනයාමට ජිප් රථයකට දමා ගනිද්දීම ජිප් රථය ගිනි ගත්‍තලු. ඒක අදටත් ප්‍රසිද්ධ කතාවක්.

හැබැයි මෑත කාලෙනම් කැබිලිත්තේ හාස්කම් පරයමින් එහි පුවත් මවන්නේ අලි ඉලන්දාරියෙක්. ගොඩක් වෙලාවට මේ අලි ඉලන්දාරියගේ වැඩේ දේවාල භූමියට වත්පිළිවෙත් නොපිළිපැද පැමිණෙන අය සහ දේවාල සීමාව තුළ නොගැළපෙන අයුරින් හැසිරෙන උදවියව පන්නලා දාන එක. ‘මද්දු’ නමින් හැඳින්වෙන මේ අලි කොල්ලා වඩාත් ප්‍රසිද්ධ වුණේ මීට අවුරුදු කීපයකට කලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ සගයින්ගේ පස්සෙ පැන්නූ සිදුවීමෙන්. එහෙම කතා ගොඩාක් මද්දුගේ නමට තියෙනවා. දින ගණනාවක ඉඳන් අපි මද්දු ගැන ලියන්න හිතුවත් ඒ ගැන අහන්න සුදුසු කෙනෙක් අපට මුලිච්චි වුණේ නෑ. ඒත් පසුගියදා ඊට ගැළපෙනම කෙනා අපට මුණගැහුනා. ඒ තමයි මද්දුට වඩාත්ම සමීප කැබිලිත්ත දේවාලයේ සුභාෂ් මේනුවරගේ කපු මහත්තයා. ඔහු කියපු මද්දුගේ කතාව තමයි මේ.

“මම කැබිලිත්ත දේවාලයට ආවේ 2014 අවුරුද්දේ. දැන් අවුරුදු 10ක්. ඒ එද්දිත් මද්දු දේවාලෙට යනවා එනවා. ඒ කාලේ මං ලොකු කපු මහත්තුරුන්ගෙන් මද්දු ගැන විස්තර ඇහුවා. ඔවුන් කිව්වා දන්න කාලෙක ඉඳන් මද්දු එනවා දැන් එයාගේ වයසත් අවුරුදු 32ක් වගේ වෙනවා ඇති කියලා. ඒ කියන්නේ මේ වෙද්දි මද්දුගේ වයස 42ක් වගේ ඇති. අවුරුදු 30ක් පුරා තිබුණු යුද්ධයත් එක්ක මිනිස්සු මෙහෙට ආවේ නෑ. යුද්ධය අවසන්වීමත් එක්කයි ආයෙත් ඔවුන් කැබිලිත්තට එන්න පටන්ගත්තේ. දන්න විදියට ඒ කාලේ ඉඳන්ම මද්දු දේවාලෙට එනවලු. කොහොමහරි යුද්ධයෙන් පස්සේ දේවාලයට මිනිස්සු එන්න පටන්ගැනීමත් එක්ක කතරගම දෙවියන්ගේ අනුහස් තියෙන මේ භූමිය ආරක්ෂා කරන්න ඕන කියන හැඟීමෙන් මද්දු එනවා කියලයි මං නම් හිතන්නේ.”

මද්දු මේ දේවාල සීමාවේ හැසිරෙන විදිය සහ ක්‍රියාකලාපයත් එක්ක සුභාෂ් කපු මහත්තයා විතරක් නෙවෙයි අපි වුණත් හිතන්නේ එහෙමයි. හැබැයි සමහරුන්ගේ විශ්වාසය නම් මද්දු විදියට මේ එන්නේ කැබිලිත්තේ රාළගේ නැත්නම් කළු බණ්ඩාරගේ ආත්මය කියලයි.

“මමත් එහෙම හිතනවා. දෙවියෝ හරිම කැමතියි මිනිස්සු ළංකරගන්න. මොකද මිනිස්සු දෙන පින්වලින් දෙවියන්ට පින් වැඩිවෙනවා. ඒත් මිනිස්සු එන්න ගත්තම මේ තැනට හානිවෙයි කියලා හිතුණු නිසා ඔවුන්ගෙන් මෙතැන ආරක්ෂා කරවන්න යම් බලවේගයක් මේ විදියට මෙතැනට එනවා වෙන්නත් පුළුවන්. මෙතැනට එන ගොඩාක් අයට ඒ විශ්වාසය තියෙනවා.”

සුභාෂ් කපු මහත්තයා ඉදිරියේ මද්දු හීලෑ අලියෙක් විදියට හැසිරුනාට මොකද මද්දු කියන්නේ වන අලියෙක්. ඒ නිසා මීට අවුරුදු 10කට කලින් දේවාලේ රාජකාරියට ආපු සුභාෂ් කපු මහත්තයා මද්දුත් එක්ක හිතවත් වුණේ කොහොමද කියලත් මං අහලා බැලුවා.

“මං ගිහිල්ලා දවසක් දෙකක් යනකල්ම මද්දුට කිට්ටු වුණේ නෑ. ඒත් මට හිතුණා කිට්ටුවෙලා බලන්න. කොහොමහරි මේ කියන දවසෙත් මද්දු දේවාලේ කිට්ටුවට ඇවිත් හිටියා. පස්සේ මං දේවාලේ උයපු මුරුතැන් බතෙන් හකුරු කෑල්ලක් අරන් දුර ඉඳන් මද්දුට දික් කළා. ඒත් එයා මට කිට්ටු වුණේ නෑ. පස්සේ මං ඒක බිමින් තියලා ටිකක් බලාගෙන හිටියා. ඔන්න ඊටපස්සේ එයා ඇවිත් ඒක අරන් කාලා ආයෙත් හිටපු තැනට ගිහින් ස්තූතියි කියන්න වගේ හොඬේ චුට්ටක් වැනුවා. පහුවදා ඉඳන් ඒ විදියට පලතුරු දෙන්න ගත්තා. ටික දවසක් යනකොට මද්දු මගෙත් එක්ක හො‍ඳටම යාළු වුණා.”

ඒ යාළුකම කොයි වගේ එකක්ද කියලා සුභාෂ් කපු මහත්තයාගේ මුහුණුපොත පැත්තට ගියොත් ඔබටම බලාගන්න පුළුවන්. ඉතින් හකුරු කෑල්ලෙන් ඇරඹි ඒ හිතවත්කම මේ වෙද්දි කොයිතරම් දුර ඇවිත් තියනවද කියලා සුභාෂ් කපු මහත්තයාගේ වචනවලින්ම දැනගන්න මට ඕන වුණා.

“දැන් අපි දෙන්නටම අපි දෙන්නා නැතුව බෑ. මද්දු මට හරිම හොඳ යාළුවෙක්. කවදාවත් සීරීමක්වත් කරලා නෑ. මං කියන දේ එයා හොඳට අහනවා. මේ මහ කැලේ ඒ වගේ විශ්වාසවන්ත යාළුවෙක් ඉන්න එකම කොච්චර දෙයක්ද? එයා ඉන්න නිසා කිසි පාලුවක් නෑ. දවසක් වුණත් මද්දු මගේ පාලු මක මකා ඉඳියි.”

සමහරෙක්ට අනුව මද්දු කියන්නේ අංක එකේ දඩබ්බරයෙක්. නැත්නම් චණ්ඩියෙක්. මද්දුගේ ඉතිහාස කතාවේ සමහරක් තැන් කියවද්දි අපිටත් එහෙම හිතෙනවා. ඒත් සුභාෂ් කපු මහත්තයාට අනුව නම් මද්දු කියන්නේ ආගම දහමට ලැදි අහිංසකයෙක්. මට ඒ වග තේරුනේ ඔහු මද්දුට දීපු චරිතේ සහතිකය හින්දා. 

“මද්දු අලියෙක් වුණාට මනුස්සයෙක්ට වගේ හොඳ නරක තේරෙනවා. එයා එහෙමට චණ්ඩියෙක් නෙවෙයි. දේවාල සීමාවේ වැරදි කරන අයට තමයි එයා චණ්ඩිපාට් දාන්නේ. වැරදි නොකරන අයට එයාගෙන් කිසිම හානියක් නෑ. ඒ වගේම එයාගේ ලොකුම විශේෂත්වය වෙන්නේ දෙවියන්ට බුදුන්ට ගරුකරන එක. එයා දේවාලේ කිට්ටුව හිටියොත් දේවාලයේ තියෙන පූජාවන්වලට එයත් සහභාගි වෙනවා. ඉවරවෙන්නේ කොයි වෙලාවෙද එතකල් හොඬෙත් උස්සගෙන වැඳගෙන ඉන්නවා. ඒවා අපි හුරු කරලා නෙවෙයි එයාටම හිතිලා කරන්න පටන්ගත්තු දේවල්. හැබැයි පූජාව ඉවරවුණාම එයාට මොනවා හරි කන්න දෙන්න ඕනේ. මම හෝ දේවාලෙට එන බැතිමතෙක් මද්දුට කන්න යමක් දුන්නොත් ඇරෙන්න කිසිම දවසක එයා බලෙන් අරන් හෝ කවුරුත් දේවාලෙට අරගන එන එකක් උදුරගෙන කන්නේ නෑ.”

 

*මද්දු කන්න ආසම පලතුරක් තියෙනවද?

“ඔව් එයා රත් කෙසෙල් කන්න හරි ආසයි.”

 

හැමදාම උදේ මද්දු පහ, පහයි තිහ වගේ වෙද්දි දේවාල සීමාවට එනවලු. ඒ එන්නෙත් නිකන් නෙවෙයි ඒ සමීපයෙන් ගලාබසින කුඹුක්කන් ඔයට බැහැලා හොඳට නාගෙන. හැබැයි මද කිපුණු කාලෙට නම් මද්දු මාසයක් දෙකක් දේවාල බිමට එන්නේ නෑ කියලයි කපු මහත්තයා කිව්වේ. ඒ වුණත් ඒ කාලෙටත් මද්දු ඉ‍ඳලා හිටලා ඇවිත් දුර ඉඳන්ම දේවාලේ ගැන විපරම් කරලා යනවලු.

“මේ වෙනකොට මෙයා කාටවත් ලොකු අනතුරක් කරලා නෑ. ඒත් දේවාල බිමට එද්දි කරන්න ඕන වත්පිළිවෙත් හරියට පිළිපදින්නේ නැතුව ආපු උදවිය වගේම දේවාල සීමාවේ වැරදි විදියට හැසිරුනු අය පස්සේ මෙයා පන්නලා තියෙනවා. සැරයක් ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් පස්සෙත් පැන්නුවා. මං තමයි ගිහින් බේරගත්තේ. දැන් මෙයත් එක්ක තවත් අලියෙක් එනවා. එයා දඟයා. එයා නම් ටිකක් චණ්ඩියි. මං හිතන්නේ එයාට වයස අවුරුදු 28ක් වගේ ඇති.”

 

*මද්දුගේ අලුත්ම නම ‘කැබිලිත්තේ අලි සිකුරුටි ලොක්කා’ කියන්නේ ඇත්තද?

“(සිනාසෙමින්) ඔව් ඉතින් මද්දු මෙතැන ආරක්ෂා කරන නිසා සමහරු එහෙමත් කියනවා.”

 

කිලි කියන සංකල්පය එක්ක මුල් කාලේ කැබිලිත්ත දේවාල භූමියට ආවේ ගියේ පිරිමි බැතිමතුන් විතරයි. දැන් ඒ තත්ත්වය තරමක් වෙනස් වෙලාලු. හැබැයි ඒ දවස්වල කාන්තාවක් ආවොත් දඬුවම් දුන්නේ මද්දු කියලයි රටේ ප්‍රසිද්ධ වෙලා තිබුණේ. ඒ කොහොම වෙතත් මද්දුගෙන් හානියක් නොවී බැතිමතුන්ට කැබිලිත්ත දේවාලයට එන්නේ කොහොමද කියන දේ ගැන සුභාෂ් කපු මහත්තයා මෙහෙම පැහැදිලි කිරීමක් කළා.

“කැබිලිත්තේ එනවා නම් අනිවාර්යයෙන්ම දින 21ක් පේවෙලා එන්න ඕන. නැත්නම් එන එක අමාරුයි. පේවෙන එක විස්තර කළොත් ඒ කාලේ මස්, මාළු වගේ කිලි සහිත කෑම කන්න බෑ. මත්පැන් මත්ද්‍රව්‍ය බෑ. මළගෙවල්වල ගිහිල්ලා තියෙන්නත් බෑ. වැඩිපුරම කිල්ලෙන් තමයි ආරක්ෂා වෙන්නත් ඕනේ. එහෙම ආවොත් කිසිම අතුරු අන්තරාවක් නැතුව කැබිලිත්තේ දේවාලෙට ඇවිත් වැඳලා පුදලා ආශිර්වාදය අරගෙන යන්න පුළුවන්.”

ඒ විදියට වත්පිළිවෙත් අකුරටම පිළිපැදලා ආවොත් මද්දුගෙන් කිසිම හානියක් වෙන්නේ නැතිලු. එහෙම එන බැතිමතුන්ට දිවා රාත්‍රී ආරක්ෂාව දෙන්න වුණත් මද්දු ආයෙත් දෙපාරක් හිතන්නේ නැතිලු. මගෙත් එක්ක එහෙම කිව්වේ සුභාෂ් කපු මහත්තයා. ඉතින් කතාබහ අවසානේ මද්දු වෙනුවෙන් හිත අස්සේ හංඟගෙන උන් සෙනෙහස වචන කරන්නත් කපු මහත්තයා අමතක කළේ නෑ.

“මද්දු ගැන මගේ හිතේ තියෙන්නේ පුදුම ආදරයක්. ඒක මට වචනවලින් කියන්න තේරෙන්නේ නෑ. ඒ කොහොම වුණත් කතරගම දෙවි හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් අපෙත් ආයුෂ අරන් මද්දු චිරාත් කාලයක් මේ පින්බිම ආරක්ෂා කරන්න ඕන. මමත් ඒ වෙනුවෙන් මද්දුට ආශිර්වාද කරනවා.”

රුවන් එස්.සෙනවිරත්න