නවතම ප්‍රවෘත්ති

ජීවිතේ කියන්නේ හාස්කම් සිද්ධ වෙන තැනක් මගේ ජීවිතේ පස්ගෝරස වගෙයි… ඒ තරම් රහයි

වෘත්තියෙන් හෝමියෝපති වෛද්‍යවරියක් වන ජනාලි මදුරසිංහ, ස්ලිම් ලේඩි
ෆිට්නස් ඇන්ඩ් බියුටිකෙයාර් නමින් මහනුවර නගරයේ වසර දහසයක පමණ සිට
කාන්තාවන් සඳහාම වෙන්වූ ව්‍යායාම සහ රූපලාවණ්‍ය මධ්‍යස්ථානයක්
පවත්වාගෙන යයි. රැකියාව සහ ව්‍යාපාර කටයුතුවලට අමතරව වැඩිමහල්
දියණියකගේ සහ පුතෙකුගේ මව ලෙසිනුත් දයාබර සැමියෙකුට ආදරණීය බිරිඳ
ලෙසිනුත් සතුට පිරුණු කැදැල්ලක ඇය ගෙවන ජීවිතය ‘සතුටින් ජීවිතය දරන්නී’
යන ධරණී තේමාවට ඉඳුරාම සම වන ජීවමාන උදාහරණයකි. සොබාදහමට,
සතාසීපාවට මෙන්ම දම් පැහැය සමඟ ද ආත්මීයව බැඳුනු ජනාලි, ඈ ගත කරන
සතුට පිරුණු ජීවිතයේ රසමුසු තැන් ඔබ සමඟ බෙදාගන්නා ඉඩකඩයි මේ…

“අපි අවදිවෙන්න ඕන බ්‍රහ්ම මූර්තියෙන්.”
රෑ නිදාගන්න ඇඳට ගිහින් දවසක මම එයාට එහෙම කියනවා. එයා කියලා
කිව්වේ මගේ සැමියාට. එතකොට එයා මගෙන් අහනවා “ඒ මොකක්ද ඒ..?”
කියලා. ඔන්න ඉතින් මම පැහැදිලි කරනවා.

“අපි හිතමුකො හිරු උදාව උදේ හයට කියලා… අපි නැගිටින්න ඕන අන්න ඒ හිරු
උදාවට විනාඩි හතළිස් අටකට කලින්… ඒ කියන්නේ පාන්දර 4.34ත් 5.12ත් අතරෙ
අපි අවදිවෙන්න ඕන… දන්නවාද ඒ වෙලාව තමයි දවසේ සුන්දරම වෙලාව,
ගහකොළ ලෝකෙට මල් දෙන්න සූදානම් වෙන වෙලාව, සීතලම සීතල පිරිසිදු
සුළං හමන වෙලාව, රෑ අහසේ පායපු දිස්නෙ දෙන තරු හෙමිං හෙමිං නොපෙනී
යන වෙලාව, සිකුරු තරුව ලස්සනටම පේන වෙලාව… හඳ ටික ටික ඉරට ඉඩ
දීලා යන්න හදන වෙලාව… භාවනාවට, ආධ්‍යාත්මික සුවයට, යෝග අභ්‍යාසවල
යෙදෙන්න, පොතපත පාඩම් කරන්න, දරුපල ගැන උනන්දු වෙන යුවතිපතීන්ට
ලිංගික කටයුතුවල යෙදෙන්න, ආදරය කරන්න හොඳම වෙලාව තමයි ඔය බ්‍රහ්ම
මුහුර්තිය…”
“ඉතින් ඔය මොකුත්ම නොදැන මම කොහොමත් පුංචි කාලේ ඉඳලම
නැගිටින්නේ හතර හමාරටනේ…” මගේ පිළිතුර අහගෙන ඉඳලා එයා එහෙම
කියනවා…
“බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වුණාම දීර්ඝායුෂ, නිරෝගී බව, යෝධ හයිය
මනුෂ්‍යයෙකුට ලැබෙනව කියලා අෂ්ටාංග හෘදය සංහිතා ග්‍රන්ථයේ
තියෙනවා…” එතකොට මම එහෙම කියනවා… ඒ විතරක් නෙවෙයි මම තවත්
බොහෝ දේවල් කියනවා… හැබැයි ටිකකින් බලනකොට එයාට නින්ද ගිහින්…
ඇත්තටම මට මගේ සැමියා හරි අපූරුවට පෙනෙන්නේ ඔහු නිස්කලංකව නිදා
සිටින විට. ඔහු නිතර පවසන දෙයක් තමයි නිදන ඇඳ ප්‍රශ්න පත්තරයක් නොවී
සුවදායී ගං ඉවුරක් විය යුතු බව. නිදන ඇඳ මිනිසෙකුට සුවදායී ප්‍රීතිමත් තැනක්
වන තුරු ඒ මිනිසාත් ඔහු වටා සිටින මිනිස්සුත් ආදරයෙන් සුවපත් වෙන බව.
ඔව්…ඒක සත්‍යයක්… එවන් මිනිසෙකු ලබන ගැහැනියක් නිතර ප්‍රේමයේ බන්ධනය
තුළ සිරවෙනවා. තමන් රකින මිනිසාට දිවිහිමියෙන් ප්‍රේම කරනවා, ඔහුව
රකිනවා, අගය කරනවා, සුව නින්දක පසු වෙද්දිත් නළල මත පුංචි හාදුවක් තබා
ඔහුට ස්තූති කරනවා.
ඒ වගේම ඔහු නිතර පවසන දෙයක් තියෙනවා. ඒ තමයි අපේ සතුටු කූඩුව
නැත්නම් පුංචි නිවහන වාහනයකට සම කළොත් ඔහු එහි ඇක්සිලරේටරය නම්
මම තමයි ඒ වාහනේ බ්‍රේක් එක කියලා. ගැහැනියක් වුණාම සෑමවිටම පවුල
කියන වාහනයේ බ්‍රේක් එක වගේ වෙන්න ඕනේ. ඒක වැරදි තැන්වල ක්‍රියාත්මක
වුණොත් අපේ ගමනාන්තයට යන්න ප්‍රමාද වෙනවා. ඒ වගේම ඒක හරියට
ක්‍රියාත්මක වුණොත් හරි පරෙස්සමෙන් අපේ ගමනාන්තයට යන්න පුළුවන්.

ඒ වගේම පවුල් ජීවිතයක් සාර්ථක වෙන්න නම් මහන්සි වෙලා මුදල් උපයන්න
ඕන. ඒ මුදල් සාධාරණ වෙන්නත් ඕන. යම් ප්‍රමාණයක් දනට පිනට දෙන්න ඕන.
දරුවන්ට හොඳින් උගන්වන්න ඕන. මේ හැමදේම කරන්න හොඳ ඉවසීමක් සහ
නිවැරදි අවබෝධයක් තියෙන්නත් ඕන.
ඉතින් අර කිව්වත් වගේ අපේ දවස ආරම්භ වෙන්නේ බ්‍රහ්ම මුහුර්තියෙන්. අපි
දෙන්නම රාජකාරි කරන්නේ එකම තැනක. අපේම ව්‍යපාරයක. අපි දෙන්නගේ
උපන්දිනය යෙදිලා තියෙන්නෙත් එකම දවසක. ඒත් එහෙමයි කියලා අපි දෙන්නා
හිතන විදිය හැමතැනම එක සමාන නෑ. එහෙම වෙලාවට අපි විවෘතව කතාබහ
කරනවා. ගැටලුවක් කතාබස් කරද්දී අපේ විශේෂත්වය තමයි ඒක ශබ්දය
පාලනය වුණ සුන්දර කතාබහක් වීම.
චෝදනා අපි අතර ඇත්තෙම නැති තරම්… අතීතයේ කතා නොකර සිටිය යුතු
තැන් ගැන අප කිසිදා කතා කරන්නේ නෑ. සමාව ගැනීම අප අතර නිරන්තරයෙන්
සිදුවෙන දෙයක්. පුංචි හරි වැරද්දක් වුණාම ‘අනේ සොරි මැණිකේ’ කියලා කියන
එක ඔහුගේ පුරුද්දක්. එතකොට දෙවතාවක් නොහිතාම ‘ඒක මට එච්චර ගානක්
වුණේ නෑ’ කියලා සමාව දෙන එක මගේ පුරුද්දක්. මගේ අතින් වැරැද්දක් වුණත්
ඒක එහෙමම තමයි.
අපි දරුවෝ දෙන්නෙක් හැදුවා. එක්කෙනෙක් සුන්දර රාධාවක් වගේ දුවෙක්. එයා
හරිම ලස්සනයි. හරිම ගුණවත් යහපත් දරුවෙක්. දැන් එයා ඉන්නේ විදේශ
රටක. ධර්මාශෝක කෙනෙකුත් අපට ඉන්නවා. මතකනේ චණ්ඩාශොක තමයි
ධර්මාශෝක වුණේ. පිරිමි දරුවෙකුගේ ලේ වල ඔය දෙකම මිශ්‍රවෙලා
නොතිබුණොත් පෞරුෂත්වය හීනවෙනවා කියලයි මට හිතෙන්නේ.
එතකොට මට ඉන්නවා හරිම හුරතල් කිටී බෝලයක්. මගේ ළඟ දුකට සැපට
දැවටෙන, පුරු පුරු ගගා මාව අහගෙන ඉන්න පුලුන් බෝලයක්.
තව ඉන්නවා කානෙ කොර්සො වර්ගයේ බව් අම්මෙකුයි පුතෙකුයි. අම්මා එමී,
පුතා ස්ටීවන්. එමී කියන්නේ මම නිතරම හිතන්නේ පුංචි පවකින් මනුෂ්‍ය ආත්මය
ගිලිහිලා ගිහින් සතෙක් වෙලා ඉපදුණ කෙනෙක් කියලා. ඒ තරම් ගුණවත් ඇය…
මට පුංචි රෝසයායක්, පාන්දරට සුවඳ මල් බිම දාන සේපාලිකා වතියක්, බුදුන්
වඳින්න සමන් පිච්ච මල් දෙන සමන් මල්වැටක්, පාට පාට මල් පිපෙන, සමනල්ලු
බටිත්තො සිංදු කියන පුංචි මල් වත්තක් තියෙනවා. ආ… තව ගෙදර
පරිභෝජනයට එළවළු, පලතුරු, පලා වර්ග මම ඒ අස්සෙම වවාගෙනයි
තියෙන්නේ.

ඉතින් අද ගෙවන මේ සාමකාමී ජීවිතය උපයාගන්න මම බොහෝ කැපකිරීම්
කළා. කාටවත් අත නොපා ජීවත්වෙන ජීවිතයක් හදාගන්න හුඟක් මහන්සි වෙලා
වැඩ කළා. හෝමියෝපති වෛද්‍යවරියක් විදියට මේ අත් දෙකෙන් බොහෝදෙනෙක්
සුවපත් කරලා තියෙනවා. ඒ සියලුම දේ කරන ගමන් ගුණ යහපත් දරුවෝ
දෙන්නෙක් හැදුවා කියලා මතක් වෙද්දී මට දැනෙන්නේ වචනයෙන් කියාගන්න
බැරිතරම් සැනසීමක්. ඉතින් මම දැං මගේ විශ්‍රාම සුවය කරා ටිකෙන් ටික
ළඟාවෙමින් ඉන්නවා. ඇත්තටම කිව්වොත් ආපහු හැරිලා බලද්දී මගේ ජීවිතේ
පස්ගෝරස වගෙයි. ඒ තරම් රහයි.
ජීවිතේ කියන්නේ ඒ වගේ ‘රහ’ කරගන්න පුළුවන් එකක්. ඇත්තටම කිව්වොත්
හාස්කම් සිද්ධවෙන තැනක්. අපි හිතන පතන, වැඩ කරන විදිය චුට්ටක් වෙනස්
කළොත් ජීවිතේ ප්‍රාතිහාර්යක් වුණා වගේ වෙනස් වෙනවා. මම එහෙම කියන්නේ
මගේ ජීවන අත්දැකීමෙන්මයි. ඉතින් මේ ජීවිතේ වැටුණු නැගිටපු අඬපු හිනාවුණු
දිනපු පැරදුනු තැන් ගැන මතක බෙදාහදාගන්න ලබන සතියේ ඉඳලා මේ පිටු අතර
අපි මුණගැහෙමු.

ජනාලි මදුරසිංහ