නවතම ප්‍රවෘත්ති

හිතේ හයියෙන් කරන වැඩ සාර්ථක කරගන්න මේ විශ්වය ඕනෑ තරම් මාවත් විවර කරලා දෙනවා –

රූපවාහිනී වැඩසටහන් ඇසුරේ හා ඇතැමුන්ගෙන් අසා දැනගත් තොරතුරු අනුව
කිසිදාක නොගිය නමුත් කෙදිනක හෝ යා යුතු යැයි හැඟීගිය ගම්, නගරවල
ලැයිස්තුවක් මා සතුව තිබිණි. විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ දා පටන් ගොඩනැගුණ
මිතුරු හවුලට පිංසිදුවන්නට ඒ ලැයිස්තුවේ තිබූ සමහර ගම්දනව් සියැසින්
දැකබලාගන්නට වරින් වර මට හැකිවිය. සීතල මන්දාරම් නුවර ද තිබුණේ ඒ
ලැයිස්තුවේ ඉහළින්මය. නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් මන්දාරම් නුවරට
අසන්නයේ වූ මතුරට පිහිටා ඇති ඉරේෂා අක්කාගේ නිවස නිසා ඒ සිහිනය ද
සැබෑ කරගන්නට කලකට ඉහතදී මට හැකිවිය.
එහි ගොස් වසර කිහිපයක් ගත වී තිබුණත් මන්දාරම් නුවර මතකය අමතක කළ
නොහැකි වූ නිසාදෝ පසුගිය සතිඅන්තයේ දීර්ඝ නිවාඩුවටද එහි යන්නට අපි
කතිකා කරගත්තෙමු. සිකුරාදා සැඳෑවේ කොළඹ කොටුවෙන් බස් රියට නැගගත්
අප පදියපැලැල්ලෙන් බසිද්දී අලුයම 3.30ත් පසු වී තිබිණි. එතැන් සිට මතුරටට
යන්නට විනාඩි පහළොවක් ගතවෙයි. ඒ අනුව අප ඉරේෂා අක්කාගේ නිවස
අසළින් බහිනවිට වෙලාව පාන්දර හතරටම කිට්ටුය. සීතල මන්දාරම් නුවර සිසාරා
හමා ආ පාන්දර මීදුම අපව සෙනෙහසින් වැළඳගත්තේ හරියට කලකට පසු
පැමිණි ආගන්තුකයින් පිළිගන්නට මෙනි. ඒ නිසාමදෝ එහෙමකට කියා ගමන්
වෙහෙසක් ද අපිට දැනුණේ නැත.

උදෑසන බටර් ගෑ පාන් සමඟ උණු උණු කෝපිත් දහවල රතු හාලේ බත් සමඟ
නයිමිරිස්, තිබ්බටු හා මඤ්ඤොක්කා දළු එකට කොටා මලවා තිබූ මැල්ලුමත්,
රතු මස් කරියත්, බීට්රූට් ව්‍යංජනයත් හිතේ හැටියට කටට රහට අනුභව කළ
අප දවල් ආහාරයෙන් පසු කෙටි නින්දකට වැටුණෙමු. ඒ නිසා සිතූ තරම්
ඉක්මනින් රාත්‍රී නින්ද මා වෙත ළඟා වුණේ නැත. ඒ අතරතුරේ රාත්‍රී 10 කණිසම
පසුවී තිබියදී ඉරේෂා අක්කාගේ නිවසේ සාලයෙන් නික්මුණ මහන මැෂිමක
ශබ්දය මගේ දෙසවනට බාධා කරමින් තිබිණි. මේ සීතලේ හොඳට ගුලි වී
නිදාගන්නවා මිස මැෂිමක් පාගමින් මසන්නට තරම් ධෛර්යයක් ඇත්තේ කාටද?
මට එය දැනගැනීමට අවශ්‍ය වූ නිසාම පොරෝනාව ද ගත දවටාගෙනම මා
විසිත්ත කාමරයට එබුණෙමි. ඒ අන්කවරෙකුත් නොව ඉරේෂා අක්කාගේ
නැගණිය රශ්මි වත්සලා බව මා දුටුවේ එවිටයි.
රශ්මි එලෙස ඇඳුම් මසන්නේ පෞද්ගලික ආයතනයක ලිපිකාරිනියක් ලෙස
සේවය කරනා ගමන්ය. ඒ නිසා දහවලට රැකියාවට ගොස් රාත්‍රියට ඇඳුම් මැසීම
දැන් අවුරුද්දක පමණ කාලයක සිටම ඈ කරන්නීය. රශ්මිට තවමත් වයස අවුරුදු
23කි. නමුත් බොහෝදෙනා සුව සේ නිදන ඒ මන්දාරම් නුවර සීතල රාත්‍රීන්වල ඈ
නොනිදා ජීවිතය දිනන්නට අනවරත අරගලයක නිරතව සිටින්නීය. ඉතින් ඇගේ ඒ
ධෛර්යවන්ත කතාව නොඅසා කොහොමද? ඒ නිසාම සීතල ද නොතකා
පුටුවකට හරිබරි ගැසී මා ඇගේ කතාවට සවන් දුනිමි.
“ජොබ් එක කරන්න පටන් අරන් දැන් අවුරුද්දක් විතර වෙනවා. ඒත් මහන්න
පටන්ගෙන නම් දැන් අවුරුදු තුනක් විතරක් වෙනවා.”
එය එසේ සිදුවුවත් මුලදී මැහුම් කලාව පිළිබඳ අංශුමාත්‍රික දැනුමක් තබා
ආසාවක්වත් ඇය සතුව නොවුණි. බොහෝදෙනෙකුට මෙන් ඇගේ ද එකම
අරමුණ වුණේ උසස්පෙළින් පසු විශ්වවිද්‍යාල වරම් හිමිකරගැනීමටය. නමුත් ඒ
සිහිනය සඵල නොවූවා කියා ජීවිතය පිළිබඳව මැසවිලි නගන්නට හෝ දෙස්
දෙවොල් තබන්නට ඇය කාලය මිඩංගු කළේ නැත. ඒ වෙනුවට ඇය ඒ
මොහොතේ කළ හැකි රැකියා කිහිපයකම නියුතු වෙමින් නිවසේ ආදායමට
රුකුළක් වන්නට පියවර ගත්තාය.
එලෙස රැකියාවල නිරත වුණත් රශ්මි අපේක්ෂා කළ තරමේ ආදායමක් ඇයට
ඉපයිය නොහැකි විය. ඒ නිසාම ඇගේ ඊළඟ තීරණය වී තිබුණේ රැකියාව
අත්හැර ඇගේම කියා ව්‍යාපාරයක් ඇරඹීමය.

“දන්න කාලේ ඉඳලා මට තිබුණ එක හීනයක් වුණේ මගේම කියලා
ව්‍යාපාරයක් අරඹන එකයි. ඒත් ඒ ව්‍යාපාරය කරන්නේ මොනවගේ
ක්ෂේත්‍රයකින්ද කියලා හරි අවබෝධයක් මට තිබුණේ නැහැ. එහෙම ඉද්දී
දවසක් ගෙදර පැත්තකට දාලා තිබුණ මැෂින් එක අරගෙන නිකමට වගේ
මහලා බැලුවා. ඊටපස්සෙ යූටිටුබ් ටියුටෝරියල්වලින් මහන විදිය බලාගෙන
පොඩියට ගවුම් මහන්න පටන්ගත්තා. ඒත් මහන එක ගැන ලොකු
අවබෝධයක් මට තිබුණේ නැහැ.”
නොදන්නාකම නිදහසට හේතුවක් කරගෙන ඇය ගවුම් මැසීමෙන් පමණක් නතර
වූයේ ද නැත. ඒ වෙනුවට යූටියුබ් ටියුටෝරියල්වල උදව්වෙන් බ්ලවුස් වැනි
වෙනත් විලාසිතා ද ඇය අත්හදා බැලුවාය. අවසානයේ දැඩි ආත්මවිශ්වාසයත්
නොපසුබට උත්සාහයත් විසින් ඉතා කෙටි කාලයක් තුළ ඇයව සූර ඇඳුම්
මසන්නියක් බවට පත්කොට තිබුණි. ඇය මැසූ ඇඳුම්වල පළමු පාරිභෝගිකයන්
වුණේ පවුලේ උදවියයි. පවුලේ උදවියගෙන් අසා දැනගත් පසු ගමේ
උදවියන්ගෙන්ද නොසිතූ ඉල්ලුමක් ඒ ඇඳුම්වලට ලැබෙන්නට විය.
“ඊටපස්සේ අවුරුදු කාලෙට දෙසැම්බර් මාසයට හුස්මක් කටක් ගන්න බැරි
තරමට ඇණවුම් ලැබුණා. ගොඩක් ඇණවුම් ආපු නිසා ඊටපස්සේ මම කාලයක්
රැකියා කරලා ඉතුරු කරගෙන තිබුණ මුදල්වලින් ජුකී මැෂින් එකක් අරගෙන
මහන්න පටන්ගත්තා.”
හැමදේම හොඳින් සිදුවෙද්දී මේ වැඩේට අකුල් හෙලන අයවලුන් ද රශ්මි ට මුණ
නොගැසුනාම නොවේ.
“මම මහන්න පටන්ගනිද්දීම ගොඩක් අය මගෙන් ඇහුවා ඇයි මෙච්චර
ඉගෙනගෙනත් රෙදි මහන්නේ කියලා. ඒත් මම ඒ වෙලාවේ ඒ අයට උත්තර
දෙන්න ගියේ නැහැ. කවුරුත් කියන දේවල් ගැන හිතන්න යන්නේ නැතුව
මගේම අරමුණකට වගේම සැලසුමකට වැඩ කළා.”
අධ්‍යාපන සුදුසුකම් කොතෙක් තිබුණත් එහෙව් කෙනෙකුටත් ඉඳිආප්ප, වඩේ
ටිකක් වුව විකුණා තමන්ගේම කියා ව්‍යාපාරයක් ඇරඹිය හැකිය. එය අතිවිශිෂ්ට
ව්‍යවසායක ගමනක මූලාරම්භය මිස ලැජ්ජා වීමට කරුණක් නොවේ. කවුරුන්
කෙසේ කීවද රශ්මිට අවශ්‍ය වුණේ එලෙස තමන්ගේම කියා ව්‍යාපාරයක් කරන
ව්‍යවසායිකාවක් බවට පත්වීමටය. ඒ නිසාම අතට එන මුදල් හිතුමතේ වියදම්
නොකර ඇය ඒවා කළමනාකරණය කළාය. ඒ නිසාම කලක් ගතවන විට ජුකී

මැෂීමට අමතරව තම ව්‍යාපාරය වෙනුවෙන් ඕවර්ලෝක් මැෂිමක් මිල දී
ගන්නටත් ඇයට හැකි විය.
“ව්‍යාපාරයට අදාළ හැමදෙයක්ම මම ගත්තේ මම ඉතුරු කරගත්ත මුදල්වලින්.
ඒකනිසා මට ණය වෙන්න ඕන වුණේ නැහැ. ලැබෙන මුදල්වලින් ටික ටික
ව්‍යාපාරය දියුණු කරගත්තා.”
කිසිවක් නොදැන බින්දුවෙන් පටන් ගත් රශ්මි මේ වනවිට මැහුම් සම්බන්ධ
පාඨමාලාවක් ද හදාරමින් සිටින්නීය. ඒ සියල්ල කරන අතරතුරයි ඇය රැකියාවක
ද නිරත වන්නේ.
“සීසන් කාලෙට ගොඩක් ඇණවුම් ආවට ඊටපස්සේ ඇණවුම් එන්නේ ටිකක්
අඩුවෙන්. මගේ විවාහ මංගල උත්සවයට මුදල් ඉතිරි කරන එකත් මගේ එක
අරමුණක් වෙලා තිබුණා. ඒක නිසා ඇණවුම් අඩුවුණාම ලොකුවට මුදල් ඉතිරි
කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මුදල් ටිකක් ඉතුරු කරන්නත් හිතාගෙන ගිය
අවුරුද්දේ ඉඳන් පෞද්ගලික ආයතනයක ලිපිකාරිනියක් විදියට වැඩ කරන්නා
ගත්තා. රැකියාවෙන් ලබන වැටුප මංගල උත්සවයේ වැඩ කටයුතු වෙනුවෙන්
ඉතිරි කරනවා. ව්‍යාපාරයෙන් උපයන මුදල් එදිනෙදා වැඩවලට පාවිච්චි
කරනවා. ඊටපස්සේ මගේ එකම බලාපොරොත්තුව ව්‍යාපාරය වෙනුවෙන්
සම්පූර්ණයෙන් අවධානය යොමු කරලා ඒක ගොඩනගාගන්න එකයි.”
පැය එකහමාරකට දෙකකට අසන්න කාලයක් අප දෙදෙනාගේ කතාබහ ගලාගිය
අතර මේ කතාව පුවත්පත් ලිපියක් ලෙස සම්පාදනය කළ හැකි බව අවසන මා
ඇයට කිව්වෙමි. පාඨක ඔබ වෙනුවෙන් මේ පණිවිඩය ද ඇතුළත් කරන ලෙස
රශ්මි මගෙන් ඉල්ලීමක් කළේ එවිටයි.
“මම කියන්නේ කොහෙන්හරි පටන්ගන්න. වැඩක් පටන්ගත්තට පස්සෙ ඒක
හොඳ වැඩක් නම්, ඒක අපි සතුටින්, අවංකව කරන වැඩක් නම් ඒ වැඩේ
සාර්ථක කරගන්න මාවත් ඕනෑතරම් විවර වෙනවා. ඒ නිසා කොහෙන්හරි
පටන්ගන්නයි ඕනෑ.”

නෙත්මි තෂාරා