නවතම ප්‍රවෘත්ති

පරෙවි රැජිනියේ එදා වගේ අදත් ඇමරිකාවම ආදරෙයි

ලෝකයේ ඇතැම් රටවල ප්‍රසිද්ධ පුද්ගලයින් මියගිය පසු ඒ සිරුරු කල්
තබාගැනීමට සකසා කෞතුකාගාරවල ප්‍රදර්ශනයට තැබුවත් සත්ව සිරුරක් ඒ
අයුරින් සකස් කර ප්‍රදර්ශනය කරන්නේ බොහෝ කලාතුරකිනි. එසේ තැබුවත්
ඒ තබන්නේ අලි ඇතුන් සිංහයින් කොටින් වැනි සතුන්ගේය. නමුත්
අමෙරිකාවේ ජාතික කෞතුකාගාරයේ පරවියෙකුගේ සිරුරක් එසේ ප්‍රදර්ශනය
කර තිබේ. කුඩා පරෙවි සිරුරක් එරටට කල්තබාගැනීමට තරම් වටින්නේ නම්
එම පරෙවියා සතුව විශේෂ කතාවක් තිබිය හැකිය. ‘චර් අමි’ (Cher Ami) නම්
ඒ පරෙවියාගේ කතාවයි මේ.

———-
පළමු ලෝක යුද්ධයේදී අමෙරිකානු හමුදාව සතුව පුහුණු කරනු ලැබූ පිරිමි
පරෙවියන් 600කට ආසන්න ප්‍රමාණයක් සිටියේය. මේ පරෙවියන්ගේ ප්‍රධානතම
රාජකාරිය වුණේ යුද කටයුතුවලට අදාළ පණිවිඩ හුවමාරුව සිදුකිරීමයි. චර්
අමි ද ඒ අතර සිටි පරෙවියෙකි. අමි බ්‍රිතාන්‍යයේ පක්ෂීන් පුහුණු කරන්නන්
යටතේ යුද පුහුණුව ලබා අමෙරිකානු හමුදාවේ 77 රෙජිමේන්තුවට අනියුක්තව
සේවය කළේය.
ඒ 1918 ඔක්තෝබර් 03 වැනිදාය. එදා 77 රෙජිමේන්තුවේ සෙබළු 600කට
ආසන්න ප්‍රමාණයක් යුද මෙහෙයුමක් අතරවාරයේ ප්‍රංශයේ කඳුකර ප්‍රදේශයක
කොටුවිය. එවකට එම කණ්ඩායම මෙහෙයවූයේ මේජර් ‘චාර්ල්ස් විට්ල්සි’
විසිනි. ඒ වනවිටත් ජර්මානු හමුදාව හතරවටින්ම ඔවුන්ට ප්‍රහාර එල්ල

කරමින් සිටි අතර ඒ ප්‍රහාර වලින් 77 රෙජිමේන්තුවේ සෙබළුන් බොහෝ
පිරිසකට ජීවිත අහිමි විය. අවසානයේ දිවි ගලවාගත හැකිවුණේ සෙබළුන්
200කට ආසන්න පිරිසකට පමණි.
එලෙස ඉතිරි වූ සෙබළුන්ට ඒ වනවිටත් උදව් අවශ්‍යව තිබුණි. අඩුම තරමේ
බොන්නට කියා වතුර ටිකක්වත් ඔවුන් සතුව තිබුණේ නැත. උපකාර ඉල්ලා
පණිවිඩ රැගෙන ගිය සියලු සෙබළුන්ට අතරමගදී ජර්මානු හමුදාවෙන් වෙඩි
කා මියයන්නට සිදුවිය. ඒ අතරවාරයේ මේ පිරිස කබලෙන් ලිපට ඇද දමන
අන්දමේ සිදුවීමක් ද සිදුවිය. ඒ ඔවුන් එහි ඇති බවක් නොදත් අමෙරිකා
හමුදාව එම කඳුකර ප්‍රදේශයටම බෝම්බ හෙලීමයි. ජර්මානු හමුදා
ඉලක්කකොට ඔවුන් එසේ බෝම්බ හෙලුවත් ඉන් ඔවුන්ගේම හමුදා
කණ්ඩායමටත් දැඩිව හානි සිදුවිය.
කණ්ඩායමේ නායකයා වූ මේජර් චාර්ල්ස් විට්ල්සිට කරන්නට කිසිවක්ම ඉතිරිව
තිබුණේ නැත. ඔහුගේ අවසන් වෑයම වුණේ ඔවුන් රැගෙන පැමිණි පරවියන්
අතරින් එක් පරෙවියෙකුගේ කකුලක ඔවුන් සිර වී සිටින බවටත් වහා
බේරාගන්නා ලෙසටත් උදව් ඉල්ලා පණිවිඩයක් ගැට ගසා යැවීමයි. නමුත්
අවාසනාවක මහත! ජර්මානු හමුදාවේ ඇස් වසා ඉගිලෙන්නට ඒ පරෙවියාට ද
නොහැකි විය. ඌටත් සිදුවුණේ වෙඩි කන්නටය. ඉන්පසු දෙවැනි පරෙවියා ද
පිටත්කර හැරියත් ප්‍රතිඵලය වෙනස් වූයේ නැත. ඒ පරෙවියා ද අහසට
නැගෙත්ම වෙඩි කෑවේය. අවසානයේ ඒ භාරදුර වගකීම පැවරුනේ
කණ්ඩායමේ ඉතිරිව සිටි අවසන් පරෙවියා වූ ‘චර් අමි’ටය.
චර් අමි ද අහසට පියාසර කරද්දී වෙනසක් නැතිව ජර්මානු හමුදා ඌට ද වෙඩි
තැබුවේය. ඒ සියලු වෙඩි පහරවල් මගහැර යන්නට තරම් චර් අමි දක්ෂ
වුවත් දිගින් දිගටම එල්ල වූ වෙඩි ප්‍රහාර හමුවේ ඉන් ගැළවී යන්නට අමිටද
නොහැකි විය. ඉන් එක් වෙඩි උණ්ඩයක් පැමිණ අමිගේ පපු පෙදෙසෙහි නතර
වුණේය. නමුත් ඒ වේදනාවත් දරාගෙන අමි තවත් සැතපුම් 25ක් පියෑඹුවේය.
ඒ උගේ පුංචි පරෙවි හිතේ තිබූ හයියට මිස ගතේ හයියට නම් නොවේ.
එලෙසින් දහසකුත් එකක් බාධක මධ්‍යයේ අමි, අමෙරිකා හමුදා පණිවිඩ
මධ්‍යස්ථානයක් වෙත පියඹා ගියේය. නමුත් ඒ වනවිටත් අමිගේ එක් කකුලක්
වෙන්වී එල්ලෙමින් තිබුණි. පපු පෙදෙසින් දැඩිව ලේ ගොස් තිබුණු අතර එක්
ඇසකටද බරපතළ අන්දමින් තුවාල සිදුව තිබුණි. එහෙත් අමිගේ නොපසුබට
වීර්යය හේතුවෙන් ජර්මානු හමුදාවට කොටු වී මරණය පෙනි පෙනී උන් හමුදා
සෙබළුන් 194කගේ ජීවිත බේරුනි.
මේ වික්‍රමය නිසා සම්මාන රැසකින්ම පිදුම් ලැබීමට අමිට හැකිවිය. ඒ අතරින්
අමි සතු වූ වීරත්වය වෙනුවෙන් Croix de Guerre සම්මානයත්, යුද කටයුතුවලට
සහභාගී වූ සත්වයින් ඇගයීමේ ‘Animals in War & Peace Medal of Bravery’

සම්මාන උළෙලේදී හිමිවුණු සම්මානයත් සුවිශේෂී සම්මානයන් බව කිව
යුතුමය. ඊට හේතුව එවන් සම්මානයක් ඉතිහාසයේ කිසිඳු දිනයකදී
පරෙවියකුට හිමිවී නොතිබීමයි.
කෙසේ වුවත් වෙඩි ප්‍රහාරයෙන් සුවය ලැබුවත්, අමිට එතරම් කාලයක්
ජීවත්වීමට හැකියාව ලැබුණේ නැත. ඒ අනුව ඊට මාස කිහිපයකට පසු එනම්
1919 ජූනි 13 චර් අමි මියගියේය. එහෙත් අමිගේ සිරුර මිහිදන් කෙරුනේ
නැත. ඒ වෙනුවට එම සිරුර කල්තබා ගැනීමට හැකිවන ලෙසින් සකසා
අමෙරිකාවේ ජාතික කෞතුකාගාරය තුළ තැන්පත් කළේය. එදා සිරුර සකසද්දී
වෛද්‍යවරුන් අමිගේ ලිංගිකත්වය දැක පුදුම විය. ඒ එතෙක් කලක් පිරිමි
පරෙවියෙකු ලෙස හඳුනාගෙන සිටි චර් අමි ගැහැනු සතෙකු බව හෙළිවීම
නිසාය.
රුවන් එස්.සෙනවිරත්න