නවතම ප්‍රවෘත්ති

මියගිය දීඝදන්තු ගාව අන්සතු වස්තුවකට තිබුණේ ‘රුපියල් දහයක්’ විතරමයි!

අලි රංචුවක වටිනාකම වැඩි කරන්නේ දළකාරයන්ය. දීඝදන්තු 1 එවැනි හැඩකාර දළකාරයෙකි. අලි
ප්‍රේමීන් කම්පනය කරමින් ඔහු අකාලයේ ජීවිතයෙන් සමුගත්තේ දින කිහිපයකට ඉහතදීය. ඔහු
වෙනුවෙන් විවිධ දේ ලියමින්, පිංකම් කරමින් ඔහුට පෙම් කළ සුවහසක් දනන් හඬා වැටුණ ද දීඝදන්තු 1 ආයෙ
එන්නේ නැත. කලාවැව සැරසූ බරණ, රේවත සහ දීඝදන්තු 2 සමඟ ඔහු මේ වනවිට එකතු වී සිටිනවා විය
හැකිය. කලා වැව අවට පරිසරය සැරසූ මේ දැවැන්තන් නැතුව ඒ මුළු පෙදෙසම පාළුවට ගොසින්ය. දීඝදන්තු
1 ඇතුළුව ඉන් තුන්දෙනෙකුම අකාලයේ සමුගෙන ගියේ අනවසර විදුලි රැහැන් නිසාය.
අවුකන පිළිමය පෙනෙන මානයේ සිටින බැවින්දෝ කලා වැවේ ඇත්පන්තිය බොහෝ සාමකාමීය. මිනිසුන්ට
පහරදීමට තැත්කළ බවට ඔවුන්ට චෝදනා නැති තරම්ය. ඔවුන් සමඟ හරි හරියට පාරේ යාමට, සමීපයට
ගොස් පින්තූර ගැනීමට ඒ හැටි අසීරු නැත. දීඝදන්තු 1 ද එවැන්නෙකි. ඔහු මීට වසර හයකට පමණ ඉහතදී
දැඩි ලෙස අසාධ්‍ය වූයේය. ඒ බඳින තුවක්කුවක් පත්තු වී පාදයක් තුවාල වූ බැවිනි. ඉන් පාදයට වූ හානිය
හේතුවෙන් සද්දන්තයාට ගමන් කිරීම ද අපහසු විය. පසුගිය දිනවල අග්බෝ මුහුණ දුන්නා වැනිම
තත්ත්වයකට ඔහු මුහුණ දී සිටියේය. දීඝදන්තු 1ට ප්‍රතිකාර කිරීමේ සැලසුම් වහා සකස් කෙරුණේ
එනිසාය. ඒ වෙද්දී කලා වැව හොඳින් පිරී තිබිණ. දීඝදන්තු 1ට ප්‍රතිකාර කරන කණ්ඩායම් යායුතුව
තිබුණේ කලා වැව තරණය කරමිනි. හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ද නඩයට එකතු
විය. ඔහු සහ පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු පිරිස බෝට්ටුවක නැගී පළමුව ගමන ආරම්භ කළහ.
ඔවුන්ට පසුව මාධ්‍යවේදීන් සහ අනෙකුත් අය රැගත් බෝට්ටු ද ගමන් ආරම්භ කර තිබිණ. පළමු
කණ්ඩායම ගමනාන්තයට ගිය පසු කඩිනමින් සිය කාරිය ආරම්භ කළේය. රෝගී හස්තියා සිටියේ දැඩි
වේදනාවකිනි. ඔහුගේ තුවාල සඳහා ප්‍රතිකාර කරනවා මිස වෙනත් කිසිවක් විමසීමට නඩයට වේලාවක්
නොවීය. එහෙත් කාරිය අවසන් කරනතෙක් වෙනත් කිසිවකු පැමිණියේ නැති බව පශු වෛද්‍ය චන්දන
ජයසිංහ කියයි.
“අපිට ඕන වුණේ ඇතාට ඉක්මනින් ප්‍රතිකාර කරන්න. අපි ඒක ඉතාම
සාර්ථකව ඉටු කළා. ඊටපස්සෙ ආවාමයි අපි දැනගත්තේ වෙලා තියෙන දේ.
අපිට පිටිපස්සෙන් ආපු බෝට්ටුව පෙරළිලා. හැමෝම වතුරට වැටිලා. ඒ අයව
බේරගන්න ආපු අනිත් බෝට්ටුවත් පෙරළිලා. ආපු මාධ්‍යවේදීන්ගේ කැමරා,
ජංගම දුරකතන එහෙමත් වතුරට වැටිලා. තවත් බෝට්ටුවකින් ඇවිත්
බේරගන්නකං එයාලා විනාඩි 45ක් විතර පීනමින් ඉඳලා.”

දීඝදන්තු 1ට ප්‍රතිකාර කිරීමේ මෙහෙයුමේ පළමු අදියර ත්‍රාසජනක අත්දැකිමක් වූයේ එලෙසිනි. එහෙත්
මාස කිහිපයක් පුරා සද්දන්තයාට ප්‍රතිකාර කිරීමට නිලධාරීහු පියවර ගත්හ. එය සම්පූර්ණයෙන්
සාර්ථක විය. දීඝදන්තු 1 සුව වූවා පමණක් නොව, කාලයක් යද්දී කැළලක් පවා සොයා ගැනීමට නොහැකි
විය. එහෙත් එතරම් වෙහෙස වී බේරාගත් හැඩකාරයා ඉන් වසර හයක් ඉක්ම ගිය පසු විදුලි සැරයකට
ගොදුරුව ජීවිතයෙන් සමුගත්තේ පශු වෛද්‍යවරුන්ට ඔහුට ප්‍රතිකාර කිරීමට හෝ වේලාව ඉතිරි
නොකරමිනි.
ඔහු විදුලියට ගොදුරු වූයේ ද කෙසෙල්, පොල් කන්නට ගොස් නොවේ. උණ පඳුරකට ඉව ඇල්ලීමට දඬුවමක්
ලෙසිනි. කඩාගත් උණ කොළ කටේ තිබියදීම ඔහු එලොව ගියේය. වසර හයකට පෙර මාස තුනක් පමණ
දීඝදන්තු 1ට ප්‍රතිකාර කරමින් බේරාගත් පශු වෛද්‍ය චන්දන ජයසිංහටම දැවැන්තයාගේ පශ්චාත් මරණ
පරීක්ෂණයේ වගකීම ද හිමිවිය. එහිදී හෙළිවූයේ අඩි නවයකට මදක් වැඩි අඩි හතරහමාරක පමණ දිග
දළ ඇති හස්තියාට වෙනත් කිසිඳු රෝගයක් නොතිබූ බවයි. ඔහුට තවත් කාලයක් හොඳින් ජීවත්විය හැකි
ලකුණු තිබිණ. නමුත් අනුන්ගේ වත්තකින් කඩාගත් කොළ ටික බඩට දාගන්නටවත් දීඝදන්තු 1ට වේලාව
නොලැබිණ. ඔහු සතුව තිබී ඇත්තේ අන්සතු එකම එක වස්තුවක් පමණි. එය ද රුපියල් දහයේ කාසියකි.
“අපි පෝසට්මෝටම් එක කරද්දී යකඩ කැබැල්ලක් වැනි දේක ආයුධය
ගැටුණා. ඒ සද්දෙට අපි හිතුවෙ වෙඩි උණ්ඩයක් කියලා. ඒ වුණාට බලද්දි ඒක
රුපියල් දහයේ කාසියක්. එයා තණකොළ කද්දී බිම තිබිලා ඒකත් කටට
යන්න ඇති. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් තිබුණේ නෑ. සාමාන්‍යයෙන්
බොහෝ අලින්ගේ වෙඩි පහරවල් දකින්න තියෙනවා. මෙයාගෙ ඒව නැති
තරම්. මොකද එයා හරිම අහිංසක සතෙක්. කාටවත් කරදරයක් තිබුණෙ නෑ.
එයාට අවුරුදු හතළිස් පහක් විතර ඇති. මේ කාලය ඇතුළත කාටවත් පහර
දෙන්න හදපු බවක්වත් දැනගන්න ලැබිලා නෑ. ඒ වගේ සතෙකුගෙ ජාන ඊළඟ
පරපුරට ගෙනියන එක සෑහෙන වටිනවා. තව බොහෝ කාලයක් ඒක කරන්න
මේ ඇතාට ඉඩ තිබුණා. ඉතින් ඒ වගේ සතෙක් අකාලයේ නැති වීම
අපරාධයක්.”
තොරතුරු – පශු වෛද්‍ය චන්දන ජයසිංහ
රෂ්නිකා ලියනගේ