නවතම ප්‍රවෘත්ති

ඇතෙක් වගේ පුතෙක් ඉන්නකොට අම්මෙකුට මොන අඩුපාඩු ද!

සමබර ගති තියෙන ශක්තිමත් පුතෙක් හදන එක මට මගේ පුතා ඉපදුණ දවසේ
ඉඳලා තිබුණු හීනයක්…
ඒ නිසා එයා පුංචි කාලෙදිම ‘ගැහැනිය’ කියන විරුද්ධ ලිංගිකයාට ගෞරව කළ
යුතු බව මම එයාට පුරුදු කළා. ඒක මුලින්ම එයාට අවබෝධ කෙරෙව්වේ
එයාගෙම නංගිගෙන්. පුතා පුංචිම කාලේ “නංගී කොහෙද බලන්න පුතේ, නංගී
මොකද කරන්නේ බලන්න පුතේ, නංගිට මේ තේ එක දෙන්න පුතේ” වගේ
දේවල් එයාට හෙමිං හෙමිං පුරුදු කළා. ගෑනු දරුවෙකුට තේ එකක් හදලා අතට
දෙන එක පුතෙකුට මදිපුංචිකමක් නෙවෙයි කියලා ඒ දේවල්වලින් එයා
තේරුම්ගත්තා.
තව ටිකක් ලොකු වෙනකොට “නංගිව පරෙස්සමෙන් එක්කරගෙන එන්න පුතේ,
නංගිට කුඩේ ගිහිං දෙන්න පුතේ” වගේ පුංචි පුංචි වැඩ රාජකාරි එයාට
පැවරුවා. පිරිමි දරුවෙකුට සාපේක්ෂව ගැහැනු දරුවෙකුට වැඩි ආරක්ෂාවක්,
රැකවරණයක් අවශ්‍ය බවත් ඒ දේවල්වලින් එයා තේරුම්ගත්තා.
ඒ වගේම මම එයාට පුංචි කාලෙම පිරිසිදුබව පිළිවෙල තදින්ම කියලා දුන්නා.
තමන් ජීවත්වෙන පරිසරය වගේම තමන්ගෙ ශරීරයත් පිරිසිදුව තියාගන්න,
නියපොතු කොටට කපන්න, කොණ්ඩේ රැවුල පිළිවෙලට කපලා නඩත්තු කරන්න,
මාසෙකට සැරයක් මුහුණට ගෙලට ස්වභාවික සත්කාරයක් කරගන්න, ඉකිළි

කිහිළි පිරිසිදුව තියාගන්න විදිය මම එයාට කියලා දුන්නා. මම හිතන්නේ
ගෙදරක තාත්තා හිටියත් නැතත් මවකට පුළුවන් පුතෙකු කුඩා කාලෙදිම ඉතා
හොඳින් මේ හැමදේම කියා දෙන්න. මොකද පිරිසිදුබව, පිළිවෙල, හොඳ ගතිගුණ,
බුද්ධිමත්බව දවසක එයාගේ පෞරුෂයට වගේම පෞද්ගලික ජීවිතයටත් ඉතාම
වටින ආභරණ බවට පත්වෙනවා.
ඉතින් අද මගෙ පුතා වයස අවුරුදු විසිහයක, අඩි හයකට වඩා උස මහත
ලස්සන දරුවෙක්. එයා හරි ලස්සනට ඇඳලා, පිළිවෙලට කොණ්ඩේ රැවුල කපලා,
සුවඳ ගහගෙන උදේට රැකියාවට යනවා දැක්කාම ඇත්තටම මට හරිම සතුටුයි.
මොකද මගේ හීනවල හිටියෙ එහෙම පුතෙක් නිසා.
පුතා උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙන කාලෙ ගොඩක් වෙලාවට හිටියේ
පිටරට. එහෙම නැත්නම් කොළඹ බෝඩිම්වල. ඉතින් ඒ නිසා ගෙදරින් පිට හිටපු
එයාගෙ කෑමබීම සහ නින්ද ගැන මගෙ සැමියා හරියට වද වුණා.
“දරුවෝ එක්ක කතා කරාම තමයි එයාලගේ අදහස්, බලාපොරොත්තු,
අඩුපාඩු, දුක සතුට, ප්‍රශ්න අපට දැනගන්න පුළුවන් වෙන්නේ මැණිකෙ.
නැත්නම් දරුවෝ ගල් වෙනවා. ඒකාකාරී ජීවිතවලට හුරුවෙනවා. කොටින්ම
කෙල්ලෙක්වත් ඉන්නවද නැද්ද කියලා අපි අහන්න එපැයිනෙ අපේ දරුවාගෙන්”
කියලා ඔහු නිතරම කියනවා.
එකපාරක් කොළඹ බෝඩිමේ ඉඳලා පුතා ගෙදර ආපු දවසක නිහඬව කුස්සියේ
වැඩ කරන ගමන් මම මේ තාත්තාගෙයි පුතාගෙයි කතාවක් අහගෙන හිටියා.
ඔන්න ඉතින් එයාගෙ තාත්තා මෙහෙමයි එයාට කතා කරේ.
“දැං තමුසේ කොහොමද කෑවෙ බීවේ කියනවා මට..?”
“කෑවා ඉතිං…”
“කෑවා තමා. කොහොමද මොනවාද කීයටද?”
“වැඩිපුරම රයිස් ඇන්ඩ් කරි. ඊටත් වඩා ෆ්‍රයිඩ් රයිස්. දවසට වේල් දෙකයි.
මයිලො එකක් නං බොනවා දවසකට. Office ගියාම නං අපට ලින්ක් එකක්
එනවා කෑම තියෙන තැන් කීපයක් එක්ක. අපට කැමති තැනකින් ඕඩර්
කරගන්න පුළුවන්… වැඩිපුරම බර්ගර්, පීට්සා හට්, කේඑෆ්සී වගේ තැන්වලින්
තමා එවන්නෙ…”
තාත්තාගෙ මූණ හොඳම නෑ…

“නිදියන්නෙ කීයටද?”
“එහෙම වෙලාවක් නෑ. යුනි එකේ වැඩ Office වැඩ ඔක්කොම කරලා ඒ අතරේ
පැය හතරක් හෝ පහක් නිදියනවා.” එයා කියනවා.
“එතකොට වතුර කොච්චර බොනවාද?”
“වතුර නං දවසට ලීටර් හතරක්වත් බොනවා… Office එකේ වතුර බෝතල්
අපට ගෙනියන්නත් දෙනවා…”
දැන් තාත්තා තව එක එක දේවල් අහනවා. බෙල්ල කළු වෙලාද බලනවා. අත
අරන් පල්ස් බලනවා. අන්තිමට මෙහෙම කියනවා.
“තමුසෙ අද හවස හත වෙද්දි කාලා ඉවර කරන්න ඕනෙ. හෙට උදේ හත
වෙනකම් කන්න බොන්න බෑ. හෙට හයට අපි වැඩට යන වෙලාවට එන්න
ඕනෙ අපි එක්ක යන්න ලේ එකක් බලන්න…”
ඉතින් කරදඬු උස මහත් වුණත් තරුණ දරුවන්ගේ කෑමබීම ගැන, නින්ද ගැන
සැලකිලිමත් වෙන්නම ඕන. නැත්නම් වැරදි ආහාර, ව්‍යයාම නැතිකම සහ අවම
පැය හයකවත් නින්දක් නැතිකම නිසා දරුවො ලෙඩ වෙන්න පුළුවන්.
ඒ වගේම තමයි බොහෝවිට පුතෙක් තමන්ගේ ප්‍රේමයේදී කොතැනදි හරි බිඳුනට
පස්සේ ටිකක් කතා කරන්න අතිශය තීරණාත්මක තැන්වලදි හිතේ තියෙන
පීඩනය මුදා හරින්න, සමහර තීරණ හරිද කියලා දැනගන්න, පාපොච්චාරණය
කරන්න අම්මව හොයාගෙන එනවා.
ඒ විදියට බිඳුන තැනකදී පුතෙක්ගේ හිත හදන්න, නිවන්න පුළුවනුත් අම්මෙකුට
විතරයි.
දුවලට වගේම පුතාලටත් ඇහුම්කන් දෙන්න ඕනෑ වෙන්නේ අන්න ඒ නිසයි. ඒ
නිසා නිතරම පුතාලව කතාවට එකතු කරගන්න. කවුරු ජීවිතේට ආවත් ගියත්
නොවැටී ඉන්න පුළුවන් විදියට ඒ හිත් පරෙස්සම් කරගන්න කියලා දෙන්න. මතු
උපදින දරුවන්ට හොඳ අම්මෙක් වගේම හොඳ තාත්තෙකුත් බිහිවෙන්නේ තවත්
අම්මෙකුගේ තීක්ෂණ නුවණින්මයි. ඉතින් ඒ අම්මා ඔයා වෙන්න.
සුදු මැණිකේ පිටරටක ජීවත්වෙන නිසා අපේ ගෙදර දැන් ඉන්නේ සැමියත් මමත්
පුතත් කිටීත් බව්වො දෙන්නත් විතරයි. මම ඉරිදට සතියටම ඇතිවෙන්න දවල්
කෑම බල්ක් කුකිං කරනවා. උදේට අපි තුන්දෙනාම කන්නේ නෑ. රෑට පුතාට වැඩ

වැඩි දවස්වලට මම පොඩි දෙයක් ඇවිත් හදලා දෙනවා. එතකොට එයයි මමයි
කුස්සියේ කතා කර කර ඉන්නවා.
මම හොඳටම මහන්සි වෙලා ඉන්න වෙලාවකත් මේ දේ කරන්නේ එයා නිසාමයි
කියලා එයාට තේරුන හැමවෙලාවකම එයා මගෙන් අහන්නේ “ඔයාට කරදරයිද
මාව?” කියලා.
කොච්චර මහන්සි වෙලා හිටිය වෙලාවක වුණත් පොල්ගහක් වගේ උස එයා දිහා
බලලා මම කියන්නේ “නෑ පොඩ්ඩක්වත් නෑ” කියලා. “ඔයා මෙහෙම හරි මේ
රටේ, මේ ගෙදර, මේ වෙලාවට හරි මා එක්ක ඉන්න එක මට සතුටක්”
කියලා…
“ඔයා දවසේ වැඩි වෙලාවක් හිටගෙන ලෙඩ්ඩු එක්ක හරි හරියට මහන්සි
වෙනවනේ. ගෙදර ඇවිල්ලත් තාම ඒ ඇඳුමෙන් උයන්නේ මම නිසානේ. මට
අවුල් වගේ. මට පුළුවන් මොනවා හරි හදාගන්න. ඔයා යන්න…” කියලා
එතකොට පුතා කියනවා.
“පුතේ ගැහැනියක් ගැන ඔය තියෙන ආකල්පය මිල කළ නොහැකි එකක්. මට
ආඩම්බරයි ඔයා ගැන. දවසක ඔයාගේ බිරිඳටත් මෙහෙම වෙන්න. ඒක
පුදුමාකාර ගුණයක්…” මම එයාට කියනවා.
එයා නිතරම කැමති කතා කරලා ඕනම දෙයක් විසඳනවාට. නිතරම කියන්නේ
“අම්මි මේ ලෝකෙ කිසිම කෙනෙක් වෙනස් කරන්න බැහැ බැනලා රණ්ඩු
කරලා සැර කරලා… හෙමිං ආදරෙන් වෙලාව අරං කතාබහ කරලා විතරයි
කෙනෙක්ව අපට හොඳ මනුස්සයෙක් කරන්න පුළුවන්” කියලා.
ඒ වගේම එයා කියනවා සමහර වෙලාවට “මම උගන්වන්නේ මට වඩා හුඟක්
ලොකු අයට. ප්‍රමාදවීම්, අමතකවීම්, අතපසුවීම් ඕනේතරම් වෙනවා. සමහරවිට
මම පාඩම ආයෙ කියලා දෙනවා. අපි හෙමිං කතා කරනවා. ජීවිතේ
තියෙන්නේ අම්මි සතුට සහ ආදරය ළඟ” කියලා.
ඉතින් ඒ විදියට හිතන පුතෙක් හදපු එක ගැන මට තියෙන්නේ නිරාමිස සතුටක්.
ජනාලි මදුරසිංහ