පුළුවන් නම් ඊළඟ දවසේ මාව බලන්න එද්දී රතු රෝස පැළයක් අරගෙන එන්න…
“ඔන්න දවසක්දා දිව්‍ය ලෝකයේ දේව සභාව රැස්වුණාලු. ඊටපස්සේ දේව
සභාවේ ප්‍රධානියා වුණ ශක්‍ර දෙවියෝ හැම දෙවිකෙනෙක්ටම කිව්වලු මේ
ලෝකයේ සතුට කියන දේ හංගන්න පුළුවන් තැනක් හොයලා කියන්න කියලා.
ඒත් එක්කම එක දෙවිකෙනෙක් නැගිටලා කිව්වලු අපි මුහුද යට සතුට හංගමු
කියලා. තව දෙවිකෙනෙක් කිව්වලු සතුට හංගන්න හොඳම තැන අහස
කියලා. අන්තිමට ඔය කිසිම උත්තරේකින් සෑහීමකට පත්නොවුණ ශක්‍ර
දෙවියෝ මිනිස්සුන්ගේ හදවත් තුළම සතුට හංගන්න තීරණය කරාලු. එදා
ඉඳන් දුප්පත් පොහොසත් භේදයක් නැතුව කාගෙ කාගෙත් ළඟ සතුට
හැංගිලා තියෙනවලු. ඒ සතුට හොයාගෙන ජීවිතය විඳින වගකීම තියෙන්නේ
මිනිස්සු අතේමලු.”
මීට අවුරුදු ගාණකට කලින් මම පුංචි දැරිවි කාලෙ අපේ තාත්තම්මා මට කියලා දීපු කතාන්දරයක් ඕක.
පසුගිය දවසක කොළඹ රාජගිරියේ අලුත් පාරේ පිහිටි වික්ටෝරියා වැඩිහිටි නිවාසයට ගියපු වෙලාවක
ආපහු සැරයක් මට ඔය කතාව මතක් වුණා. වැඩිහිටි නිවාසයක් කියලා නම්දැරුවට මොකද ඇත්තටම එතැන
හිටියේ වැඩිහිටියෝම විතරක් නෙවෙයි. ආබාධිත උදවියත් බොහෝ පිරිසක් හිටියා. එයාල දකිද්දී මට
හිතුණේ, අර පුංචි කාලෙ මං අහපු කතාන්දරේ ඒ අයටත් අනිවාර්යයෙන්ම කොහේදිහරි ඇහිලා ඇති කියලයි.
ඉතින් ඒ සතුටු මුහුණවල් දකිද්දී වාට්ටු අතරේ පුංචි සවාරියක් යන ගමන් මේ අය එක්ක කයිවාරුවක්
ගහන්න ඇත්නම් කියලා මට හිතුණා. වික්ටෝරියා වැඩිහිටි නිවාසේ අධ්‍යක්ෂකතුමාගේ අවසරයත් ඒකට
ලැබුණු නිසා ඇතුල්වීමේ දොරටුවේ ඉඳලා නොනවත්වා කොරිඩෝවා දිගේ ඇවිදගෙන යද්දී මට
තුන්මංහන්දියක් මුණගැහුනා.
එතැනින් ඉදිරියට ගියොත් තුන හතර වාට්‍ටුත් වම්පසට ගියොත් දෙකේ වාට්ටුවත් දකුණපස තිබෙන්නේ
එකේ වාට්ටුව බවත් පැහැදිලි කළේ මගේ සහායට ආපු සාත්තු සේවිකාවක්. ඇය කියපු ඉසව් ඔස්සේ හැල්මේ
දුවපු මගේ ඇස් එකවර නතර වුණේ එකේ වාට්ටුවේ ඇඳක් මත පායලා තිබුණ හඳක් වගේ සිනාවක් ළඟ. ඒ
හිනාවේ හිමිකාරී, පනස් හැවිරිදි චමිලා එක්කයි මම මුලින්ම කතාබහට මුල පිරුවේ.
“මට වයස අවුරුදු 3 1/2 දී පෝලියෝ හැදුණා. ඒත් එක්කම පුංචි කාලෙදිම
මට මගේ පාද අහිමි වුණා. ඊටපස්සේ අවුරුදු ගාණක් යනකන් අම්මායි
තාත්තයි පුළුවන් විදියට මාව බලා කියාගත්තා. බැරිම තැන තමයි මීට අවුරුදු
35කට කලින් මාව මේ නිවාසෙට භාරකළේ. එදා ඉඳන් අද වෙනකන් මේ
නිවාසේ තමයි මගේ ගෙදර. මුලදී නම් අම්මායි තාත්තායි නිතරම වගේ ආවා
මාව බලලා යන්න. ඒත් දැන් එහෙම එන්න ඒ අය ජීවතුන් අතර නැහැ.”
තමන්ගෙම කියා මේ ලෝකේ කිසිවෙක් නොමැතිකම, කුඩා කලම පාද අහිමිවීම වගේ දුක්වෙන්න හේතු
ලැයිස්තුවක් චමිලාගේ ජීවිතයෙත් තිබුණා. හැබැයි ඒවා එකින් එක මතක් කරලා දුක්වෙන්න තරම් කාලයක්
ඇයට තිබුණේ නැහැ.
“අපි හැමෝටම මේ ලෝකේ හැමදේම එකම විදියට ලැබෙන්නේ නැහැ. ඉතින්
ඒ නියමයට අනුව පෝලියෝ රෝගය නිසා මට මගේ පාද අහිමි වුණා. ඒත්
මට සතුටු වෙන්න පුළුවන් මගේ අත් දෙක හරි තියෙනවනේ කියලා. ඒ අත්
දෙකෙන් මං ආසා දේවල් කරලා මම සතුටු වෙනවා. මම ඕගන් වාදනය
කරනවා. මාව බලන්න කවුරුහරි ආවොත් මම ඕගන් එකෙන් ගීත වාදනය
කරලා එයාලට පෙන්වනවා. ඒ අය ඒ ගීත ආසාවෙන් රස විඳිද්දී ඒ දිහා
බලලා මම සතුටු වෙනවා. ඒ විදියට නිතර ඕගන් වාදනය කරපු නිසා වැඩිහිටි
නිවාස අතර තිබුණ සංගීත තරඟවලටත් සහභාගි වෙන්න මට අවස්ථාව
ලැබුණා. ඒවගෙන් ජයග්‍රහණ පවා ලබන්න හැකිවුණා.”
ඇය එහෙම කිව්වේ ඇයට පිටුපසින් මේසයක් මත එක පෙළට තිබුණ ඇගේ සම්මාන මට පෙන්වන ගමන්.
“ඕගන් වාදනයෙන් විතරක් නෙමෙයි කවපෙත්ත විසිකිරීම වගේ ක්‍රීඩාවලිනුත්
මම ජයග්‍රහණ ගොඩක් අත්කරගෙන තියෙනවා. තත්පරයක්වත් මම නිකන්
ඉන්නේ නැහැ. ඉඩක් ලැබෙන හැමවෙලාවකම මැහුමක් හරි ගොතනවා.”
චමිලා ඇස් හීනි කරලා දත් බොල්ලෑව පාලා මාත් එක්ක හිනාවේගෙනම හිටියා. චමිලාගේ හිනාව ඇගේ
ඉස්සරහින් හිටපු විමලාටත් බෝවෙලා තිබුණා. චමිලාට සමුදීපු මම විමලා ළඟට ගියේ ඒ හිනාවේ රහස
මොකක්ද කියලා ඇගෙන්ම අහලා දැනගන්නයි .
“ඔයා අහලා තියෙනවද ජැපනීස් එන්සෙපලයිටීස් කියලා ලෙඩක් ගැන?”
විමලා ඒ විදියට අහද්දී මම කළේ ඔව් කියන්න හිස දෙපසට වනපු එක. ඊටපස්සේ රෝද පුටුවේ වාඩිවෙලා
හිටපු ඇගේ ගානට මමත් නැමුනේ ඇගේ කතාවට පහසුවෙන්ම සවන්දෙන්න හිතාගෙනයි.
“ඒ ලෙඩේ හැදුණම කවුරු වුණත් වැඩි කාලයක් ජීවත්වෙන්නේ නැහැ. හැබැයි
ඔයා දන්නවද දන්නේ නැහැ ඒ ලෙඩේ හැදිලා අදටත් ජීවත්වෙන එකම කෙනා
මම කියලා. මගෙන් පස්සේ තමයි අලුත ඉපදෙන ළමයින්ට මේ රෝගය
නොවැළඳෙන්න බෙහෙත් විදින්න පවා පටන්ගත්තේ. එහෙම බැලුවොත්
ඇත්තටම මම මැරිලා ඉපදුණ කෙනෙක්.”
විමලා කියපු විදියට ඇය නුවර ප්‍රදේශයේ යමක්කමක් තිබුණ පවුලක කාන්තාවක්. ඒ විතරක් නෙවෙයි
හොඳ රැකියාවකට පවා උරුමකම් කියපු ඇයට අවසානේ ඒ හැමදේටම සමුදෙන්න සිද්ධ වුණේ
ජැපනීස් එන්සෙපලයිටීස් රෝගය නිසයි.
“මට ලොකු අරමුණක් තිබුණා මගේ රැකියාවෙන් ඉහළට යන්න. ඒත් ඒ
හැමදේම වෙනස් වුණා. මුලදී මාව බලා කියාගත්තේ මගේ අම්මා. අම්මා නැති
වුණාට පස්සෙයි මම මේ නිවාසෙට ආවේ. දැන් මගේ අරමුණ බණක් දහමක්
කරගෙන පාඩුවේ සතුටින් ජීවත්වෙන එක. මම මල් වවන්න ගොඩක් ආසා
කෙනෙක්. මාව බලන්න කවුරුහරි ආවොත් මට මල් පැළයක් අරගෙන එනවා.
ඔයාටත් පුළුවන් නම් ඊළඟ දවසේ මාව බලන්න එද්දී ලස්සන රතු රෝස
පැළයක් අරගෙන එන්න. ලස්සනට පිපිලා තියෙන මල් දකිද්දී මට දැනෙන්නේ
පුදුමාකාර සතුටක්.”
ඇගේ ඒ පුංචි ඉල්ලීම හිතේ මුදුනෙම සටහන් කරගන්න ගමන් තවත් අඩහෝරාවක් විතර වාට්ටු කිහිපයකම
මම කරක්ගැහුවා. ඒ අතරතුරේදීයි තුනේ වාට්ටුවේ ශ්‍රියානිව මට මුණගැහුණේ.
“පූරුවේ කරපු පවකට මේ ආත්මේ ආබාධිත වෙලා උපදින්න ඇති. එහෙම
වෙලත් හොඳ මනසක් ඇතුව මේ වගේ තැනක ජීවත්වෙන්න පිනකුත්
කරගන්න ඇති. ඉන්න හිටින්න තැන් නැතුව මේ ලෝකේ කී දෙනෙක් පීඩා
විඳිනවද. අපිට මෙහෙම හරි ඉන්න තැනක් තියෙනවා. ඒ ඉන්න ගමන් මැහුම්
ගෙතුම් කරලා පොත් පත්තර කියවලා අපි දවස ගෙවනවා. මැහුම් ගෙතුම්
විකුණලා ලැබෙන මුදලින් තමයි බේත්හේත්වලට වියදම් කරගන්නේ.”
ඒ විදියට චමිලාට, විමලාට වගේම ශ්‍රියානි ඇතුළු වැඩිහිටි නිවාසෙ සියලුදෙනාට සතුට සොයා යන්න
වැඩිහිටි නිවාසෙ පරිපාලනය හරහාත් විශාල සේවයක් ඉටුවෙනවා. ඒ බව මට හොඳින්ම වැටහුණේ මගේ
සවාරිය අවසානයේ වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂක ජගත් කෝදාගොඩ මහතා සමඟ සිදුකරපු
කතාබහේදීයි.
“මේක වික්ටෝරියා වැඩිහිටි නිවාසය කිව්වට වැඩි ප්‍රමාණයක් ඉන්නේ
ආබාධිත පිරිස්. 120ක් විතර ඉන්න ආබාධිත පිරිස් අතර විවිධ මානසික
මට්ටම්වල අය ජීවත්වෙනවා. ඒ හැම කෙනෙක්ටම අවශ්‍ය දේ එකවර දෙන්න
අපිට බැහැ. නමුත් අපි නිතරම උත්සාහ කරනවා ඒගොල්ලොන්ගේ සතුට
වෙනුවෙන් අපිට පුළුවන් උපරිමය කරන්න. ඒ වෙනුවෙන් වෛද්‍ය වැඩසටහන්,
සංගීත වැඩසටහන් වගේම විශාල වැඩසටහන් ප්‍රමාණයක් අපි මේ වෙද්දි
ක්‍රියාත්මක කරලා තියෙනවා වගේම ක්‍රියාත්මක කරගෙන යනවා. මේක රජය
විසින් වෙනම සභාවක් මගින් ක්‍රියාත්මක කරගෙන යන වැඩිහිටි නිවාසයක්.
ඊට අමතරව ස්වේච්ඡා සංවිධානවලිනුත් ආධාර ලැබෙනවා. ඉතින් ඒ දේවල්
එක්ක නිවාසේ ජීවත්වෙන පිරිස්වල සතුට වෙනුවෙන් අපිට පුළුවන් උපරිමය
කරන්න උත්සාහ කරනවා.”
නෙත්මි තෂාරා