මම කළු නිසා මං පොත පෙන්නන්න ළඟට එනවටත් පන්තිභාර මිස් කැමති වුණේ නෑ
“උපතින් ලැබුණු පාට නිසා සමාජේ සෙල්ලක්කාර, බොරුකාර මිනිස්සුන්ගේ ඇල්ම බැල්ම වැඩිය
නොවැටෙන්න තරම් මං වාසනාවන්ත වුණා”
“මං වගේ කළු හමක් තියෙන කාන්තාවන් කිසිම දවසක ලස්සනයි කියලා සළකපු නැති ලෝකයකයි මං හැදී
වැඩුනේ. ඒත් අදින් පස්සේ ඒ ආකල්පය අවසාන වෙයි කියලා මං හිතනවා.”
මෙහෙම කිව්වේ ‘සොසොබිනී’. ඒ 2019 වසරේ විශ්ව රූ රැජින විදියට ඇය
කිරුළු පැළඳුවාට පස්සෙයි. සොසිබිනී ටුන්සි (Zozibini Tunzi) කියන්නේ කළු සමක්
ඇති දකුණු අප්‍රිකානු තරුණියක්. විශ්ව රූ රැජින තරඟ ඉතිහාසය තුළ එතෙක්
කළු සමක් සහිත තරුණියක් ජයග්‍රහණය කර නොතිබූ නිසා ඒ ජයග්‍රහණය
සොසිබිනීට විතරක් නෙවෙයි මුළු ලෝකයටම අලුත් මාතෘකාවක් වුණු
වෙලාවකයි ලෝකෙටම ඇහෙන්න ඇය එහෙම කිව්වේ.
ඉතින් මේ හදිස්සියේ මට සොසිබිනීව මතක් වුණේ පසුගියදාක අපේ රටේ
තරුණියක් මුහුණුපොතට එකතු කරලා තිබුණු හරි අපූරු කියමනක් නිසා.
ඇයගේ වචනවලින්ම කිව්වොත් ඒක මෙහෙමයි.
“මගේ අම්මා උපතින්ම සුදු හමක් උරුම කෙනෙක්. ඇයගේ පරම්පරාවේ හැමෝම සුදුයි. ඒත් මට ලැබුණේ
තාත්තාගේ පාට. ඒ කියන්නේ කළු. ඒ නිසා මට නිතර නිතරම හරි සංවේදී සිදුවීම්වලට මුහුණ දෙන්න
සිද්ධවුණා.”
ඇය එතැනින් පස්සේ එකපෙළට සඳහන් කරලා තිබුණේ තමන්ගේ සමේ වර්ණය
නිසා ඇයට මුහුණපාන්න වුණු සංවේදී සිදුවීම් පෙළක් ගැන.
“අම්මත් එක්ක ගමනක් යන හැමදාකම සෙනඟක් ඉස්සරහා අම්මේ කියලා කතා කරද්දී ඒ ඇත්තටම ඔයාගෙම
අම්මද කියලා සමහරු මගෙන් ඇහුවා. ඒ අස්සේ මාව පෙන්නලා මං හදාගත්ත ළමයෙක්ද කියලා අම්මගෙන්
අහපු අයත් හිටියා. ඒ නිසා මං ගොඩාක් තැන්වලට ගියේ මගේ පාටට හිටපු තාත්තා එක්ක.”
පුංචි සන්ධියේ ඇයට පාසලේදිත් එවැනි සංවේදී සිදුවීම් බොහෝමයකටම
මුහුණදෙන්න සිදුවුණාලු.
“ඒ ළමයා කළුයි. එයා ඉස්සරහා පේන්න තියන්න හොඳ නෑ. එයා පිටිපස්සේ තියෙන පේළියකට දාන්න ඕනේ
කියලා සැරයක් මිස් කෙනෙක් තව මිස් කෙනෙක් එක්ක කතාවෙනවා මට ඇහුනා. තවත් සැරයක්
උත්සවයකට නාට්‍යයක් කරන්න වෙලා ඒකෙ ප්‍රධාන චරිතේ මට ලැබිලා තියෙන මොහොතක අවසාන
පුහුණුවීම්වලදි මාව කළුයි ගැළපෙන්නේ නෑ කියලා මිස් කෙනෙක් කිව්වා. ඉතින් එදා මට උත්සවේ වෙලාවේ
නාට්‍යයේ රඟපානවා වෙනුවට පිටිපස්සට වෙලා ඒක බලන්න වුණා. තව පාරක් මං තුනේ පන්තියේ
ඉන්නකොට පන්තිභාර මිස්ට දරුවෙක් ලැබෙන්න හිටියා. ඒත් එක්ක මං පොත පෙන්නන්න ළඟට එනවට පවා
මිස් අකමැති වුණා. ඒ වගේමයි කොච්චර හොඳට වැඩ කළත් පොඩි වයසට මට හරියට බැන්නා. ඒ දේ
තේරුම් අරගෙන අම්මා මාව ඒ කාලෙම වෙන පන්තියකට දැම්මා. එහෙම නොකරන්න සමහරවිට මට
කැම්පස් යන්න බැරිවෙන්න පවා ඉඩ තිබුණා.”
පාසලේදී විතරක් නෙවෙයි මල් හීසර වැදෙන භද්‍ර යෞවනයේදී පවා මේ
තරුණියට සමේ පැහැය ප්‍රශ්නයක් වුණු තැන් අනන්තවත් තිබිලා.
“හා හා පුරා කියලා හිත ගිය පළවැනි පිරිමි ළමයා ඒ කෙල්ලගෙ හදවතේ පාට මූණෙත් තිබුණ නම් කියලා
යාළුවෙක්ට කියපු කතාවක් මට ආරංචි වුණා. පස්සේ මං හොඳටම ඇඬුවා. අඬලා බැරිම තැන අම්මට කියලා
නයිට් ක්‍රීම් අරගෙන ඒවා ගෑවා. ඇයි මාව සුදු කළේ නැත්තේ, ඇයි ඔයාගේ පාට ඔයා මට දුන්නේ නැත්තේ
කියලා තාත්තත් ඉන්න තැන අම්මගෙන් අඬ අඬා ඇහුවා.”
එදා ඇයගේ 18 වැනි උපන්දිනය තිබුණු දවස. ඉතින් එදා ඇයගේ අම්මා එදා ඇයට
හරි අපූරු නිසදැසක් ලියලා දීලා. ඒක තමයි මේ පහළින් තියෙන්නේ.
‘ඇහැළ මසට පිරෙන
දහඅට වැනි උපන්දිනේ…
හඬ රුව හැඩ ඇති
හදවත ලස්සන මගේ දුවට
මුවින් නොකීවත්
හැමදාම ආදරෙයි මගේ දුවේ…’
එදා තමා ඇය උපතින් ඇයට ලැබුණු පාට ගැන වෙනස් විදියට හිතන්න අරන්
තියෙන්නේ.
“අම්මා නිසදැස මට දීලා හැමදාම කියපු කතාවක් කිව්වා. මූණෙ පාට ගැන හිත හිත වදවුණු මට අම්මා
හැමදාම කිව්වේ හදවත ලස්සන කරගන්න, එතකොට ඒ ලස්සන මූණෙන් පේනවා කියලා. වෙනදා ඒක
එච්චර ගණන් නොගත්තට මොකද එදා ඉඳන් මමත් හිතුවා මූණේ පාට මට වැඩක් නෑ හදවත තමා
ලස්සන වෙන්න ඕන කියලා. හැබැයි අපේ අම්මා නම් කළු පාටට කැමතියි. කොහොම හරි එදා ඉඳන් මමත්
කළු කියන්නේ ලෝකයේ තියෙන වාසනාවන්තම වර්ණය කියලා හිතන්න පුරුදු වුණා.”
කළු පාට ලෝකේ වාසනාවන්තම වර්ණය වුණේ කොහොමද කියන එකට
ඇයගේ ළඟ තිබුණු උත්තරය තමයි මේ.
“තාත්තාගෙන් ලැබුණු පාට නිසා සමාජේ සෙල්ලක්කාර, බොරුකාර මිනිස්සුන්ගේ ඇල්ම බැල්ම වැඩිය
නොවැටෙන්න තරම් මං වාසනාවන්ත වුණා. හදවත ලස්සන යාළුවෝ කවුද කියලා මං අඳුනගත්තා. ඒ වගේ
හුඟාක් හේතු නිසා මට කවුරු හරි කළු කෙල්ල කියද්දි වෙනදා දැනුණේ නැති සතුටක් දැනෙන්න ගත්තා. මේ
වෙද්දි මම ලෝකේ තියෙන හැම පාටකටම වැඩියෙන් කළු පාටට පුදුම ආදරෙයි.”
මේ විදියට ‘පාට ප්රශ්නය’ නමින් පෝස්ට් එකක් තමාගේ ෆේස්බුක් පිටුවේ
පළකිරීම ගැන සමහරු විවිධ අදහස් පළකරලා තිබුණා. හැබැයි ඇයට එහෙව්
අදහසක් ආවේ දෙරණ නාලිකාවේ ගියපු එක රූපවාහිනී වැඩසටහනක් හින්දලු.
“මෑතකදි මං දෙරණ නාලිකාවේ ගියපු ‘ඇය’ ප්‍රෝගෑම් එක බැලුවා. එදා ප්‍රෝගෑම් එකේ කතා කළේ
අපේ රටේ ගොඩාක් අය වදවෙන සමේ පාට ප්‍රශ්නේ ගැන. සුදු අය ලස්සන නම් කළු අය කැතද, ඒත්
එක්කම ආලෝකයක් කියලා දෙයක් තියෙනවා කියලා දැනගන්නේ අඳුර නිසා නෙවෙයිද වගේ ගොඩාක්
දේවල් ඒකෙ කතා කළා. ඉතින් මටත් හිතුණා මමත් පාට ප්‍රශ්නෙට මුහුණ දුන්නු විදිය ගැන කියලා
පෝස්ට් එකක් දාන්න. සමාජයට ඒකෙන් මොකක් හරි ගන්න දෙයක් ඇති කියන අදහසින් තමා මං එහෙම
කළේ.”
පෙනුම සුදට නැති බොහෝමයක් තරුණියන් සමාජයෙන් සැඟවී සිටීමට උත්සාහ
කරන බවත් ප්‍රසිද්ධ රහසක්. ඒ හැමෝටම තමයි ඇගෙන් මේ උත්තරය.
“මං හිතන්නේ කළුයි කියලා හැංගෙන එක මෝඩ වැඩක්. මොකද සමේ පැහැය කියන්නේ කොහොමටවත්
කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වය තීරණය කරන සාධකයක් නෙවෙයි. නිකන් හිතන්න මේ වෙද්දි
ලෝකෙම ආදරේ දිනාගත්ත කළු මිනිස්සු කොච්චර ඉන්නවද? 2019 විශ්ව රූ රුජින වුණු සොසිබිනී ටන්සි,
නෙල්සන් මැන්ඩෙලා, බැරැක් ඔබාමා, ක්‍රිස් ගේල්, උසේන් බෝල්ට්, සුසන්තිකා ජයසිංහ. මේ වගේ
ගොඩාක් අය ඉන්නවා. මම හිතන විදියට කවුරු වුණත් සමේ පැහැය ගැන නොසිතා තමන්ගේ ගමන
ගියොත් සුදු ද කළු ද නොහිතා මිනිස්සු ආදරය කරන්න, ගෞරව කරන්න ගනීවි.”
අපිට මේ කතාව කියන ඇයත් අද මුළු රටේම ආදරය, ගෞරවය දිනාගත්
තරුණියක්. ඇය තමයි ගායන ශිල්පිනී විශාරද කල්පනා කාවින්දි. කළු කෙල්ලක්
නිසා බොහෝමයක් සමාජයීය ප්‍රශ්නවලට මුහුණ දුන්නත් අද ඇය කවුරුත්
ආදරය කරන කළු කෙල්ලක් වෙලා. රටේ ජනප්‍රිය තලයේ ගායන ශිල්පිනියක්
වෙලා. පුංචි තිරයේ අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වෙන දෙරණ නාලිකාවේ
දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ නිදි නේනා, හැමදාම ඔය දෑස වැනි ගීත ගයන්නෙත්
මේ කල්පනා.
“මේ වෙනකොට මගේ ගීත ගණනාවක් ජනප්‍රියයි. ඒ වගේම ටෙලිනාට්‍ය තේමා ගීත ගණනාවක්ම මං
ගායනා කරලත් තියෙනවා. 2018 අවුරුද්දේ ටෙලිනාට්‍ය තේමා ගීත අංශයේ හොඳම ගායිකාවට හිමි
සම්මානයත් මට ලැබුණා. මං දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාව මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වේදිකාව
තමයි ගායන දිවියේ ලොකුම හැරවුම් ලක්ෂය වුණේ.”
*පසුගියදා ඔබ ගායනයෙන් අපේ රටටත් ලොකු ජයග්‍රහණයක් අරන් දුන්නා?
“ඔව්. පසුගියදා ඉන්දීය කාශි සංසද් මහෝත්සවය මගින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පුරාවට ක්‍රියාත්මක
කළ රාගධාරී ගායන තරඟාවලියේ මම ජයග්‍රහණය කළා. හින්දුස්ථානි සංගීතය උපන් රටේ ඉන්දියානු
සංගීත ශිල්පීන් එක්ක කරට කර තරඟ කරලා ගත්ත ඒ ජයග්‍රහණය ගැන ලොකු සතුටක් තියෙනවා.
අවුරුදු 19 – 40 වයස් කාණ්ඩයයි මං නියෝජනය කළේ.”
*දැන් නම් කල්පනා ගායිකාවක් විතරක්ම නෙවෙයි?
“ඔව් ඔව් ඉඳලා හිටලා රඟපානවා. කළු, අම්මි, ඇරඹුම, ගිලිහුණු වගේ ඒකාංගික ටෙලිනාට්‍ය කීපයකම මං
ප්‍රධාන චරිතය කළා. ඇත්තෙන්ම ඒ අවස්ථාව ලැබුණෙත් මගේ පාට නිසා.”
කල්පනාගේ ෆේස්බුක් පෝස්ටුව මේ වෙනකොටත් දහස් ගණනින් සංසරණය
වෙනවා. ඒ ගැන ඇයට තියෙන්නේ ලොකු සතුටක්ලු. ඒ සතුට මැද්දෙන්ම
කල්පනා කතාබහට සමුදුන්නේ මේ මොහොතෙත් පෙනුම ගැන වදවෙන
කාන්තාවන් ගැන හිතලා හරි අපූරු කතාවක් කියන ගමන්.
“මුලින් කියපු විදියට සමේ පැහැය උඩ කෙනෙක් මනින්න බෑ. සුදු වගේම කළුත් ලස්සනයි. ඒ හින්දා සමේ
පැහැය අනුව මිනිස්සුන්ට සළකන එක නතර කරන්න සමාජය පුරුදුවෙන්න ඕන. ඒ වගේම සමාජය විසින්
අපිව දරාගනියි, අගය කරයි කියලා හැම වෙලාවේම බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා සමාජය ඒක
නොකළත් තමන්ගෙ හමේ පාට ගැන දුක්වෙන්න උවමනාවක් නෑ. ඔබ මොකක්හරි හේතුවක් නිසා කැපිලා
පේනවනම් ඒ හේතුව තමන්ගේ ගමනට ආශිර්වාදයක් කරගන්නේ කොහොමද කියලා හිතන්න. එතකොට
තවදුරටත් ඒ හේතුව නිසා අපිව පීඩාවට පත්කරන්න කාටවත් බෑ.”
රුවන් එස්.සෙනවිරත්න