නවතම ප්‍රවෘත්ති

කොළඹ විනිසුරු පුටු සියල්ල කාන්තාවන්ට

ශ්‍රී ලංකා අධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගවිනිසුරුවරයායි. 1801 වසරේ සිට මේ දක්වා එම ධුරය ඉසිලූ ශ්‍රී ලාංකිකයින් ගණන 48කි. එහෙත් මේ දක්වා අගවිනිසුරු ධුරයට කාන්තාවන් පත්වූයේ දෙවතාවක් පමණි. 1801 සිට 1972 දක්වා අගවිනිසුරන් සිටියේ ‘සිලෝන්’ රාජ්‍යය වෙනුවෙනි. ඒ කාලයෙහි සිටි අග්‍රවිනිශ්චයකාරවරයින් ගණන 33කි. ශ්‍රී ලංකා නාමය යටතේ ධුරයට පත් වූ පළමුවැන්නා ජී.පී.අමරසීල සිල්වා අග්‍රවිනිශ්චයකාරවරයායි. ඔහු ධුරයට පත්වූයේ 1973 වසරේදීයි. ඉන් වසර 38 කට පසු මෙරට අගවිනිසුරු ධුරය ලැබූ පළමු කාන්තාව ලෙස ශිරානි බණ්ඩාරනායක පත්වූයේ 2011 වසරේදීය. ඒ මෙරට 43 වන අගවිනිසුරු ලෙසිනි. නැවතත් කාන්තාවක එම ධුරයට පත්වූයේ ධුර කාල හතරකින් පසුවයි. ඒ, වසර 13ක් ඉක්මවා ගිය තැනයි. ඇය මුර්දු නිරූපා බිඳුෂිණී ප්‍රනාන්දු ය. අධිකරණයේ මුල් පුටුව කාන්තාවකට හිමිවීම සුවිශේෂි අවස්ථාවක් වන අතර අනෙක් අතට ශතක දෙකකට වැඩි ඉතිහාසයේ ඇය මෙම තනතුර හොබවන දෙවැනි කාන්තාව වන්නීය.

මෙරිල් ප්‍රනාන්දු සහ බර්මිල් ප්‍රනාන්දු යුවළට දාව මුර්දු නිරූපා බිඳුෂිණී ප්‍රනාන්දු ඉපදුණේ මොරටු පුරේය. වේල්ස් කුමරි විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවක වූ ඈ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වූයේ ඒ කාලයේම නායකත්ව ලක්ෂණ පෙන්වමිනි. ඊට අමතරව නිවාස නායිකාවක ලෙස ද කටයුතු කර තිබෙන ඇය දක්ෂතම විවාද කරන්නිය ලෙසද ඇගයීමට ලක්ව ඇත. දක්ෂතම ශිෂ්‍යාව ලෙසද වරක් සම්මානයට පාත්‍ර වූ ඇය විදුහලින් ඉවත්ව වසර ගණනක් ගත වී තිබියදී ද එහි කීර්තිය ඉහළ නැංවීමට අද සමත්ව තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලැබූ මුර්දු නිරූපා බිඳුෂිණී ප්‍රනාන්දු නීති විද්‍යාල අවසන් වසර විභාගය සමත් වූයේ ඉහළම දක්ෂතා දක්වමිනි. එහි ප්‍රථම ස්ථානය දිනූ ඈ ශ්‍රීමත් ලලිතා රාජපක්ෂ අනුස්මරණ කුසලානය සහ ඒ.බී.කුරේ අනුස්මරණ කුසලානය යන ද්විත්වයටම හිමිකම් කීවාය. ලන්ඩන් කිංග්ස් විද්‍යාලයෙන් නීතිපති උපාධිය ලැබූ මුර්දු ප්‍රනාන්දු නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූයේ 1985 වසරේදීය. 1997 දී නියෝජ්‍ය සොලිසිටර්  ජනරාල් ධුරයට පත් ඇය 2014 දී අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයට පිවිසියාය. ඇය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වූයේ 2018 වසරේදීයි.

“නීති වෘත්තියේ සිටින සියලු කාන්තාවන්ට සහ නීති වෘත්තියට හෝ තමන් කැමති වෙනත් ඕනෑම ක්ෂේත්‍රයකට පිවිසීමට බලාපොරොත්තු වන සෑම අයෙකු වෙනුවෙන්ම මේ ජයග්‍රහණයේ වටිනාකම මම හඳුනාගන්නවා. මේ සන්ධිස්ථානය මට පමණක් නොවේ. සමානාත්මතාව වෙනුවෙන් සටන් කළ, බාධක බිඳ දැමූ සහ නොපසුබට උත්සාහයේ බලය විශ්‍වාස කළ සැමදෙනාට මෙය අයිතියි. මගේ ගමන මට කලින් සිටි සියලුදෙනාගේ කැපවීම නිසා ලැබූ ප්‍රතිඵලයක්.”

අගවිනිසුරුවරිය බවට පත්වීමෙන් පසු ඇය පැවසුවේ එලෙසිනි. අගවිනිසුරු ලෙස පත්වීමෙන් පසු ඇය කළ කතාව ඉතා විශිෂ්ට බව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති, ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් කියයි.

“ඇය පැවසුවා අධිකරණය කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන යුද හමුදා සෙබළු කියලා. මීට කලින් කිසිවකු එහෙම හඳුන්වාදීමක් කරනවා මං අහලා නෑ. ඒ වගේම ඇය කියනවා පාර්ලිමේන්තුව ලබා දෙන නීතිය අපේ පලිහ බව. එය භාවිත කරමින් පුරවැසියන් රැකීම අපට අයිති බවයි එතුමිය සඳහන් කළේ. අධිකරණය කීවාම ඒකට අයිති වෙන්නෙ අධිකරණය පමණක් නොවේ. නීතිපති දෙපාර්තමේන්තුව, නීතීඥයින් ආදී සියල්ල ඊට අයත්. ඉතින් ඒ ප්‍රකාශය මං බෙහෙවින් අගය කරනවා. නීති විද්‍යාලයේ විදුහල්පති වුණු මගේ ප්‍රධානියා එතුමියයි. ඉතින් මේ ප්‍රකාශය මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැමෝම අතරට ගෙනියන්න මං බලාපොරොත්තු වෙනවා. මිනිසුන්ගේ අයිතිවාසිකම් රකින්න ඉන්න සොල්දාදුවන් තමන් කියන හැඟීම ඔවුන්ට ලබාදෙන්න ඕනෙ. ඒ කතාව එතුමිය කරද්දී මමත් එතැන හිටියා. මට ඒක හදවතටම දැනුණා. අනිත් දේ තමයි අපේ වෘත්තියේ බහුතරය දැන් කාන්තාවන්. එහෙත් ඉදිරියට යාමේ දී ඒ අයට බොහෝ ගැටලු තියෙනවා. උදාහරණයක් විදියට පෞද්ගලිකව වෘත්තීය කරන නීතීඥවරියක ප්‍රසූත නිවාඩු ලැබුවාම ඇයට ඒ කාලසීමාවේ ආදායම් අහිමි වෙනවා. මේ පත්වීම හරහා දැනට වෘත්තියේ යෙදී සිටින කාන්තාවන්ට ඉදිරියට යාම සඳහා අභිමානයක් වගේම අභිප්‍රේරණයක් ලැබෙනවා. ඒ වගේම තවත් විශේෂ කාරණයක් තියෙනවා. එතුමිය තමයි ඒ වෙනකොට හිටපු ජ්‍යේෂ්ඨතම විනිශ්චයකාරවරිය. ඉතින් ඇගේ පත්වීම හරහා නීතියේ බලය පිළිබඳ යම් පණිවිඩයක් යනවා. පුද්ගලානුබද්ධ නොවී ක්‍රමවේදයක් යටතේ පත්වීම සිදුවූ බව පෙනී යාමට එය හේතුවක්. ඒකත් බෙහෙවින් වටින බව මා විශ්වාස කරනවා.”

ලොව පුරා කාන්තාවන් සම්බන්ධව පවතින පසුගාමී මත මේ වනවිට පහල යමින් පවතී. එහෙත් ඉහළ තනතුරු වෙත ළඟාවීමේදී ඔවුන්ට මුහුණදීමට වන අභියෝග සාපේක්ෂව ඉහළය. උදාහරණයක් ලෙස ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ විනිසුරු මඩුල්ලට කාන්තාවක මුල්වරට පත්වූයේ 1995දීය. එහි සභාපති ධුරයට කාන්තාවක පළමුවරට පත්වූයේ 2006 වසරේදීයි. අද වනවිට ද එහි විනිසුරන් 15 දෙනා අතර කාන්තාවන් සිටින්නේ සිව්දෙනෙකු පමණි. ඒ අතින් ගත් විට ශ්‍රී ලංකාව සැලකිය යුතු ඉදිරිගාමී ලක්ෂණ පෙන්වා තිබේ. පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කළේ කොළඹ ප්‍රධාන අධිකරණ සියල්ලේම පාහේ මුල් පුටු කාන්තාවන්ට හිමිව ඇති බවයි. අධිකරණයේ ඉහළම තනතුර වන අගවිනිසුරු ධුරය කාන්තාවකට හිමිවිය. ඊට අමතරව පසුගිය දිනවල සිදු වූ ස්ථාන මාරුවීම් සමඟ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලෙස තනුජා ලක්මාලි පත්වූවාය. කොටුව මහෙස්ත්‍රාත් ලෙස නිලුපුලී ලංකාපුර ද ගල්කිස්ස මහෙස්ත්‍රාත් ලෙස චතුරිකා ද සිල්වා ද පත්කර තිබේ. මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ධුරය දරන්නේ ලෝචනී අබේවික්‍රමයි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසන්නේ ශ්‍රී ලංකා අධිකරණයේ කාන්තා නියෝජනය ඉහළ ගොස් ඇති බවයි.

“විනිසුරුවරුන්ගෙන් බාගෙට බාගයක් දැන් ඉන්නෙ කාන්තාවන්. ඉහළ උසාවිවල තමයි යම් අඩුවක් තියෙන්නෙ. ඒක ශ්‍රී ලංකාවේ විතරක් නෙමේ ලෝකයෙම පාහේ තියෙන පොදු තත්ත්වයක්. කෙසේ වෙතත් නීති ක්ෂේත්‍රය සැලකුවාම කොළඹින් පිට අධිකරණවල කාන්තාවන් බොහෝ ඉදිරියෙන් සිටිනවා. කොළඹ ගත්තම නඩු කතා කරන කාන්තාවන් සාපේක්ෂව අඩුයි. ඒත් නීතිපති දෙපාර්තමේන්තුවේ තත්ත්වය ඊට වෙනස්. රජයේ නීතිඥවරියන් බොහෝදෙනෙකු එහි සිටිනවා. ජනාධිපති නීතීඥවරු ගත්තත් එතැන කාන්තාවන් අඩුයි. වෘත්තියේ ඉහළට යාමේදී කාන්තාවන්ට තියෙන ඉඩ අඩුයි වගේම ඒක නිවැරදි කළ යුතු වෙනවා. ඉතින් එහෙම පසුබිමකදී වත්මන් අගවිනිසුරුතුමියගේ පත්වීම වැදගත්. එතුමිය නීතිපති දෙපාර්තමේන්තුවේ වසර ගණනක් රාජකාරි කරලා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් විදියට වැදගත් තීන්දු ගණනාවකුත් දීලා තමයි මේ තැනට ඇවිත් ඉන්නෙ. නීති පීඨය ගත්තත්, නීති විද්‍යාලය ගත්තත් දැන් කාන්තාවන් වැඩියි. ඒත් වෘත්තියට ඇතුළු වුණාට පසුව ඉන් බහුතරය බොහෝවිට පෞද්ගලික හේතු මත සක්‍රීයව වෘත්තියේ යෙදෙන්නෙ නෑ. අතීතයේදී රජයේ ආයතනවල කාන්තා පත්වීම් සඳහා ප්‍රතිරෝධයකුත් තිබුණා. ඒත් මේ වෙද්දී ඒක දකින්න නෑ. කාන්තා නියෝජනය ගත්තම රටේ අනෙකුත් ක්ෂේත්‍රවලත් ගැටලු තියෙනවා. උදාහරණයක් විදියට ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ මුල් අසුන්වලට තවමත් කාන්තාවන් පත්වෙලා නෑ. එහෙත් වෙනත් රටවල පොලිස්පතිවරියන් එහෙම පත්වෙලා තියෙනවා. ඇතැම් ආයතනවල බඳවාගැනීමේ පටිපාටිය හරහාම කාන්තාවන් අසාධාරණයට ලක්වෙනවා. ඒ ගැනත් අවධානය යොමුවීම වැදගත්.”

රෂ්නිකා ලියනගේ