දම් රැජිනි, වැලි රැජිනි, මැණික් කැටේ, කූඹියෝ… මේ ඕනෑම බස් එකක් රුපියල් විසිදාහයි නයනි සඳරේඛා
මේ ටිකේ ටීවී එකක් පත්තරයක් බැලුවත් ෆේස්බුක් එකේ යූටියුබ් එකේ සැරිසැරුවත් අහන්න දකින්න ලැබෙන ප්‍රසිද්ධම වචනයක් තමයි ‘CLEAN SRI LANKA’ කියන්නේ.
දැනට සති තුනකට විතර උඩදි ඒ වැඩසටහනට සමගාමීව මෝටර් රථ දෙපාර්තමේන්තුව මෙන්ම පොලිසිය මැදිහත්වෙලා බස් රථවලත් ත්‍රීරෝද රථවලත් බාහිර අලංකරණයට සවිකරලා තිබුණු අමතර උපාංග ඉවත්කිරීමේ වැඩපිළිවෙලක් පටන්ගත්තා. ඒ මගී ආරක්ෂාව ගැන හිතලා. ඒත් එක්ක ඒ සම්බන්ධව සමාජයේ සෑහෙන ලොකු කතාබහක් නිර්මාණය වුණා. ඉතින් සමහරෙක් ඒ තීරණයට ඉහළින්ම කැමති වුණත් තව සමහරෙක් ඊට දැඩිව අකමැත්ත ප්‍රකාශ කළා. කොහොමහරි මේ මොහොතේදිත් ඒ ප්රශ්නය නිශ්චිත අවසානයකට ඇවිත් නෑ.
මොඩිෆයි බස් රථ කියපු හැටියෙම අපිට මතක් වෙන්නේ ‘දම් රැජිනි’ කියන බස් එක. එතැනින් පටන්ගත්තම වැලි රැජිනි, කූඹියෝ, මැණික් කැටේ, රෝස පැටික්කී, මායාවී වගේ ලස්සන ලස්සන නම් තියෙන හරි අපූරුවට නිර්මාණය කරපු මොඩිෆයි බස් සෑහෙන ප්‍රමාණයක් අපේ රටේ තියෙනවා. හැබැයි අපි මේ මොඩිෆයි බස් රථ ගැන කියමින් යන්නේ CLEAN SRI LANKA කියන මුලින් කී වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වෙන මොඩිෆයි බස් කතන්දරේ වගතුග ගැන කියන්න නම් නෙවෙයි. මේ සූදානම එවැනි මොඩිෆයි බස් රථ නිසා ආදායම් මාර්ගයක් සකස් කරගත් තරුණියක් ගැන හරි අපූරු කතාවක් කියන්න. ඇය තමයි කෑගල්ලේ, කොටියාකුඹුරේ පදිංචි නයනි සඳරේඛා.
“මං පුංචි කාලේ ඉඳන් වාහනවලට හරි ආසයි. බස්වලට තමයි ගොඩාක්ම ආසවුණේ. මීට අවුරුදු කීපයකට කලින් බස් මොඩිෆයි කරන්න ගත්තට පස්සේ බස් ගැන තිබුණු ඒ ආසාව තව වැඩිවුණා. මං විවාහවෙන්න කලින් මූල්‍ය ආයතනයක වැඩ කළේ. විවාහවුණාට පස්සේ ගෙදර නිකන් ඉන්න එකේ හස්බන්ඩ්ට හයියක් වෙන්න කියලා මොකක්ම හරි ආදායමක් එන දෙයක් කරන්න ඕන හිතුවා. හැබැයි මට කරන්න දෙයක් ඔලුවට ආවෙම නෑ.”
ඔන්න ඊටපස්සේ තමයි බස් ගැනත් තිබුණු ආසාව හින්දා නයනි ඒ පැත්තෙන් යමක් කරන්න හිතලා තියෙන්නේ. ඉතින් එහෙම හිතපු ඇය අන්තිමේදි අපේ රටේ තියෙන ප්‍රසිද්ධ මොඩිෆයි බස් රථ හදන්න පටන් අරගෙන.
“මුලින් කාඩ්බෝඩ්වලින් හදලා බැලුවා. ඒ හදද්දි මට තේරුනා උත්සාහ කළොත් ඒ වැඩේ කරන්න බැරි නෑ කියලා. ඊටපස්සේ ෆෝම් බෝඩ් කියලා ප්ලාස්ටික් බෝඩ් වර්ගයකින් බස් හැදුවා. හදලා මොඩිෆයි කළා. උදාහරණයක් විදියට දම් රැජිනි බස් එක හැදුවා කියලා හිතන්න. ඒකේ තියෙන ස්ටිකර්, ලයිට් සිස්ටම්, සවුන්ඩ් සිස්ටම්, හෝන්, සීට් ප්‍රමාණය වගේ හැමදෙයක්ම මං හදපු එකෙත් තියෙනවා. දම් රැජිනිත් එක්ක බලද්දි මං හදන බස් එක වෙනස් වෙන්නේ ප්‍රමාණයෙන්ම විතරයි. අනෙක් හැමදේම මගේ එකෙත් කිසිම වෙනසක් නැතුව තියෙනවා. රිමෝට් එකෙන් තමයි බස් එක වැඩ කරන්නේ.”
නයනි නිර්මාණය කරන බස් එකක් දිගින් අඩි එකහමාරක්ලු. ඒ වගේම උස අඟල් හයක්ලු. පළල අඟල් පහක්ලු. ඇය බස් එකක් නිර්මාණය වෙනුවෙන් අඩුම සතියක කාලයක් ගන්නවලු. ඒ බස් එක දවසින් දෙකෙන් හදලා නිමකළත් එහි අලංකරණය නැත්නම් මොඩිෆයි කරන වැඩේ හිතන තරම් ලේසි නොවන හින්දා.
“මුලදිම විනෝදාංශයක් විදියට ආරම්භ කළත් දැන් මේක මගේ රැකියාව. 2022 පටන්ගත්තේ. ඒ කියන්නේ දැන් අවුරුදු 3ක්. මේ වෙනකොට මං දම් රැජිනි, වැලි රැජිනි, මැණික් කැටේ, කූඹියෝ, මායාවි, මැණික් අප්සරාවි, නෙළුම් කුමාරි, සීගිරි, විසේ කුරුට්ටා වගේ අපේ රටේ තියෙන ප්‍රසිද්ධ මොඩිෆයි බස් හැම එකම හදලා තියෙනවා. දැනට බස් 100ක් වගේ හදලා ඇති.”
*මේ හදන බස්වලට ඉල්ලුම තියෙනවද?
“කිව්වට විශ්වාස කරයිද දන්නෑ ඒ හදපු බස් සියල්ලම විකිණුනා. මේ වෙනකොට මාසෙකට බස් 4 – 5ක් විකුණගන්න මට පුළුවන්. බස්වලට ආස පොඩි දරුවෝ මේ රටේ ඕනතරම් ඉන්නවා. එයාලට උපන්දිනේට, අවුරුදු කාලෙට, නත්තලට තෑගි දෙන්න මගෙන් බස් මිලට ගන්නවා. බස් හිමිකරුවනුත් ඔවුන්ගේ බස් එකම මට කියලා හදාගන්නවා. ප්‍රතිචාරත් හොඳයි.”
*නයනි මුලින්ම හදපු බස් එක මතකද?
“ඔව්. මුලින් හැදුවේ ඉසුක කියලා මාතර කොළඹ දුවන බස් එකක්. ඒක ගත්තෙත් එහි හිමිකරුම තමයි.”
මුලින්ම නයනි හාර පන්දාහට බස් විකුණුවත් දැන් ඇය නිර්මාණය කරන බස් රථයක් රුපියල් 19500ක මුදලකට වගේ විකුණන්න පුළුවන්ලු. ඒ නිසා දැන් ඒක හොඳ ආදායම් මාර්ගයක් බවයි ඇය ‘ධරණී’ට පැවසුවේ.
“මුලින් මෙච්චර දුරක් එන්න ලැබෙයි කියලා හිතුවේ නෑ. ඒත් උත්සාහයයි උනන්දුවයි නිසාම නොහිතපු දුරකට එන්න ලැබුණා.”
නයනි විවාහවෙලා ඉන්නේ ප්‍රසාද් මදුසංක බණ්ඩාරත් එක්ක. ඔහුගෙනුත් බස් හදන වැඩේට ලොකු සහයෝගයක් ලැබෙන බවයි නයනි කිව්වේ.
“හස්බන්ඩ් බස් ඩිසයින් කරන්න, ලයිට් හදන්න එහෙම සහාය වෙනවා. එයත් මං කරන වැඩේට හරි කැමතියි. මං මේ වැඩේ පටන්ගද්දිම එයා තමයි නිතරම ඔයාට පුළුවන් කියලා උනන්දු කෙරුවේ.”
‘CLEAN SRI LANKA’ වැඩසටහනට සමගාමීව බස් රථවල අලංකරණයට සවිකරලා තියෙන අමතර උපාංග ඉවත් කිරීමේ වැඩපිළිවෙල ගැනත් ඇයගෙන් අහලා බලන්න හිතුණේ ඒ තත්ත්වය ඇය සිදුකරගෙන යන ව්‍යාපාරයටත් යම්කිසි බලපෑමක් හින්දා.
“(සිනාසෙමින්) ඇත්තටම දුකයි. මං නම් පෞද්ගලිකව ඒකට කැමතිම නෑ. පාරේ දුවන බස්වලට ඒ නීතිය ගෙනාවට කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් විනෝද චාරිකා යන්න තියෙන මොඩිෆයි බස් හොඳට ලස්සනට තියෙන්න ඕන කියලයි මට හිතෙන්නේ.”
නයනිගේ වයස තවමත් අවුරුදු 29යි. ඇය ඉන්නේ කෑගල්ල, අවිස්සාවේල්ල පාරේ කොටියාකුඹුර කියන ගමේ. පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි ඇරුනම අයියයි අක්කයිලු. මේ වෙනකොට අපේ රටෙන් විතරක් නෙවෙයි, විදෙස් රටවලින් පවා ඇයට බස් ඕඩර්ස් එනවලු. එහෙම කියපු නයනි කතාබහ අවසානේ ඇගේ කතාව කියවන කාට වුණත් වැදගත්වෙයි කියලා මෙහෙම කතාවකුත් කිව්වා.
“අපි හැම කෙනෙක් ළඟම මොකක් හරි දක්ෂතාවක් තියෙනවා. හැබැයි ඒකෙන් වැඩක් ගන්නේ ටිකදෙනයි. ඉතින් ඔබත් ඔබේ තුළ තියන ඒ දක්ෂතාවය පුළුවන් ඉක්මණට අඳුනගත්තොත් අනිවාර්යයෙන්ම ඔබ දිනනවා. මගේ අත්දැකීමෙන් එහෙම කියන්නේ.”
නයනි – 0768659013
රුවන් එස්.සෙනවිරත්න