ඇඟේ යකඩ කෑල්ලක් එල්ලගත් පමණින් උන් ‘ගැන්ස්ටර්ලා’ වෙනවනම් මුලින්ම කතරගම දෙවියන්ගේ පැත්තට හැරෙන්න ‘පිටකවරේ’ ගීතය ලියූ අත්තිඩියේ පුඤ්ඤරතන හිමි
‘මේ අහසට පොළොවෙන් නගින්නේම
එක දුමාරයයි…
උඹ ලෝකෙට කවුරු උනත් උඹ මතක
සුමානයයි…
අපි යකාට බයද බං සොහොන අපේ
විමානයයි…
ඔය කොකාට වාරය නම් තිත්තයාට
දෙවාරයයි…’
ඔය ඉහතින් කිව්වේ මේ දවස්වල වෙනසක් නැතුව ලොකු පොඩි කාටත් මිමිණෙන ගීතයක පද පේළි ටිකක්. ඒ වචන ටික තියෙන්නේ ‘සකුරා ලෙජන්ඩ්ස්’ සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පී රොබී ජේ ගායනා කරන ‘දුමාරේ’ කියන අලුත්ම ගීතයේ. ‘අමු සිංදු’ කියන ගීත කලාව අපේ රටේ මිනිස්සුන්ගේ හදවත් අස්සට කා වද්දපු අපේ ‘අත්තිඩියේ හාමුදුරුවෝ’ තමයි මේ අපූරු ගීතයත් ලියලා තියෙන්නේ. උන්වහන්සේව කවුරුත් දන්නේ ‘අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ’ කියන අමු සිංදුව ලියපු හාමුදුරුවෝ විදියට. එච්චර රහට ගීත ලියන මේ අත්තිඩියේ හාමුදුරුවෝ කවුද කියලා දැනගන්න බොහෝදෙනෙක් උනන්දු වෙන බව දැක්ක නිසාම අපි හිතුවා උන්වහන්සේට කතා කරන්න. උන්වහන්සේ මේ වෙනකොට වැඩවාසය කරන්නේ විදෙස් රටක. ඉතින් මෙතැන් පටන් දිගහැරෙන්නේ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලෝස් ඇන්ජලීස් නුවරවාසී, ශ්‍රාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, ප්‍රවීණ ගේයපද රචක අත්තිඩියේ පුඤ්ඤරතන හිමි නැත්නම් කවුරුත් දන්න විදියට කිව්වොත් ‘පිටකවරේ’ සිංදුව ලියපු අත්තිඩියේ අපේ හාමුදුරුවොත් එක්ක සිදුකරපු ඒ කතාබහ.
*ඔබවහන්සේ ලියපු අලුත්ම ගීතය තමයි ‘දුමාරේ’. අපි එතැනින්ම කතාබහ පටන්ගමු නේද?
රොබී ජේ විසින් ගායනා කරන අනුරාධ අබේසිංහ සංගීතවත් කළ ‘දුමාරේ’ ගීතය ලියැවෙන්නේ ඉතා මෑත කාලයක. ‘පිටකවරේ’ ගීතයෙන් පසුව පැවති සෞන්දර්යාත්මක හිඩැස ඌණපූරණය කිරීමක් වශයෙන් ටිකක් අමුතු ආරක ගීතයක් රචනා කිරීමේ දැඩි උවමනාවක් මට තිබුණා. එහි ප්‍රතිඵලයක් විදියටයි මා අතින් දුමාරේ ගීතය ලියැවුණේ. මං කාව්‍ය භාෂාවේ ‘අනුප්‍රාස’ රසයට දැඩිව ඇලුම් කරන්නෙක්. එකසමාන ශබ්ද රිද්මයක් ඇති වචනාර්ථ එකිනෙකට සමීපව අමුණා ගීතයක් රචනා කිරීම එතරම් ලේසිපහසු කටයුත්තක් නෙවෙයි. සාර්ථක ගේයපද නිර්මාණයක් කියන්නේම රචකයාගේ අද්විතීය භාව විමෝචනයක්. සරල පද මාලාවක් හරහා වුවත් සමාජයේ අප නොදකින පැතිකඩක් ඉතා සියුම්ව හුවා දැක්වීමට පුළුවන් නම් එවැනි ගීත සමාජය බොහෝම ඉක්මනින් වැළඳගන්න බව පේන්න තියෙනවා. මං හිතනවා දුමාරේ ගීතයත් එවැනිම ආරේ ගීතයක් කියලා.
*හැබැයි කවුරුත් ඔබ වහන්සේව දන්නේ ‘පිටකවරේ’ ගීතයේ පදරචකයා හැටියට. ඒ වගේ ගීතයක් ඔබවහන්සේ අතින් ලියැවුණේ කොහොමද?
ඔව්, සන්ජීව් ලෝන්ලියෙස් විසින් ගයන පිටකවරේ ගීතය මගේ ගේය නිර්මාණ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් ඇති කළ නිර්මාණයක්. මම භික්ෂුවක් වශයෙන් සමාජයේ විවිධ උපසංස්කෘතීන් සහ සමාජ කුලකයන් ඉතා සමීපව ඇසුරු කරලා තියෙනවා. කන විදපු, කොණ්ඩෙ පාට කරපු, ටැටූවක් ගහපු, කරාඹුවක් දාපු කොල්ලෙක් කෙල්ලෙක් දිහා සමාජය දකින ඍණාත්මක දෘෂ්ටි කෝණය හා ඔවුන් පිළිබඳ සමාජය දරන ආකල්පය පසෙකින් සිට මම සමීපව අධ්‍යයනය කර තිබෙනවා. කොල්ලෙක් හෝ කෙල්ලෙක් ඇඟේ යකඩ කෑල්ලක් එල්ල ගත් පමණින් උන් ‘ගැන්ස්ටර්ලා’ හැටියට සළකලා චරිත සහතික ලියනවා නම් අපි මුලින්ම හැරෙන්න ඕන කතරගම දෙවියන්ගේ පැත්තට. මේ ලෝකේ සදාකාලික කළු චරිතවත් සදාකාලික සුදු චරිතවත් නෑ. මිනිහෙකුගේ බාහිර ස්වරූපය දුටු පමණින් නිගමන තීන්දු නොදී ඔවුන් සතු මානව සාරාර්ථ ජීවිතයට බද්ධ කරගන්න උත්සහා දැරිය යුතුයි කියන යෝජනාව තමයි එහෙම බලද්දී පිටකවරේ ගීතය හරහා ලබාදීලා තියෙන්නේ.
*ඒ ගීත දෙකට අමතරව ඔබවහන්සේ ලියපු තව ජනප්‍රිය ගීත තියෙනවද?
මගේ මතකයට අනුව දැනට මං ගීත පනහකට ආසන්න සංඛ්‍යාවක් ලියා ගී නිර්මාණ වශයෙන් එළිදක්වා තිබෙනවා. ඒවා ජනප්‍රිය ද නැද්ද යන්න මට පැවසිය නොහැකි දෙයක්. ජනප්‍රිය කියන ලේබලයට වඩා මම වඩාත් ප්‍රිය කරන්නේ අර්ථවත් ගේය නිර්මාණකරණයක නියැලෙන්න. ජනප්‍රිය හැමදේම අර්ථවත් නැහැ වගේම අර්ථවත් හැමදේම ජනප්‍රියත් නැහැ. මේ යථාර්ථය හොඳින් අවබෝධ කරගෙනයි මම නිර්මාණ කරන්නේ. මවිසින් රචනා කළ ගී නිර්මාණ බොහෝමයක්ම තිබෙන නිසාවෙන් සියල්ලන්ගේම පහසුව පිණිස අත්තිඩියේ පුඤ්ඤරතන නම් මගේ Facebook පිටුවට ගොඩවැදී හෝ නැතහොත් Attidiye Pugngnarathana නම් මගේ YouTube චැනලයට ගොඩ වැදී ඒ ගී නිර්මාණ රසවිඳින මෙන් අප ඔබට ඇරයුම් කරනවා.
*මං ඇහුවොත් මේ ලිවීමේ මුල කොතැනද කියලා?
මම කුඩා කල පටන්ම කවියට ගීතයට දැඩි රුචිකත්වයක් දැක් වූ හිමිනමක්. මම හිතනවා එය සසර පුරුද්දක් වන්නට ඇති කියලා. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සංස්කෘත විශේෂවේදී උපාධිය හැදෑරූ හිමිනමක්. සංස්කෘත සාහිත්‍ය කියන්නේම අපාර වූ සාගරයක්. මගේ ගේය කාව්‍ය නිර්මාණකරණයට සංස්කෘත සාහිත්‍ය හැදෑරීම ප්‍රබල බලපෑමක් කළ බව කියන්න පුළුවන්.
*ඔබවහන්සේගේ ගීතවල තියෙන ඒ වචන සහ අදහස ගැන කවුරුත් කතා කරනවා?
මම බොහෝම සමාජශීලී භික්ෂුවක්. තරුණ සමාජයේ නිර්මාණ මම ඉතාමත් ළඟින් ඇසුරු කරනවා. ලංකාවේ තරුණ රැප් ගායකයින්ගේ ගීත නිර්මාණ පවා මම නිතර අහනවා. ඒවායේ වචන භාවිතාව, එළිවැට එළිසමය සමඟ ව්‍යාංගාර්ථ, වාච්‍යාර්ථ, උපමා රූපක ආදිය නිර්මාණයට හසුකරගෙන ඇති ආකාරය මම සියුම්ව අධ්‍යයනයකොට තිබෙනවා. ඒ හැමදේටත් වඩා හාත්පස සමාජයෙන් අවශෝෂණය කරගත් පොහොසත් වාග්කෝෂයක් මට තිබෙනවා. ඒ නිසා මම ලියන බොහෝමයක් වදන් මිනිස්සු හිත්වලින් වැළඳගෙන ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.
*ඇත්තටම මේ විදියට රහට ලියන්නේ කොහොමද?
මම ගීතයක් නිර්මාණ කිරීමට පෙර මම තෝරාගන්නා වස්තුවිෂයට ආත්මීයව කිමිදෙනවා. තව කෙනෙකුට දැනෙන විඳින අත්දැකීමක් මම මගේ කරගෙන ඒ අත්දැකීම සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීමට වචන සමඟ දැඩි සටනක නියැලෙනවා. මම හිතනවා ඒ නිසා තමයි ගොඩාක් අය මම ලියන ආරට මෙතරම් ලෙන්ගතුවෙලා ඉන්නේ.
*ඇත්තටම ගීත ලියලා ඔබවහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොනවද? ප්‍රසිද්ධියද?
ඇත්තටම ගීත ලියලා මම අමුතුවෙන් බලාපොරොත්තු වෙන දෙයක් නැහැ. මම හුදෙක්ම ලබන්නේ මානසික සතුටක්. අස්වැසිල්ලක්. අනෙක් කාරණය තමයි මම මහා කවියෙකු හෝ මහා පද රචකයෙකු නෙවෙයි. අප ඉගෙනගෙන තිබෙන සංස්කෘත ශ්ලෝකයක් තිබෙනවා. එහි සඳහන්වෙන්නේ කාව්‍ය ශාස්ත්‍ර වැනි විෂයන් ඇසුරු කිරීමෙන් උගතුන්ගේ වියතුන්ගේ කාලය ගෙවී යන බවත්, නූගතුන්ගේ කාලය අනුන්ට නින්දා පරිභව කිරීමෙන් ගෙවී යන බවයි. ඉතින් ඔය දෙවර්ගයෙන් මම ඉන්න උත්සහා කරන්නේම පළමු කැටගරියේ.
*ගොඩාක් අවස්ථාවල ජනප්‍රිය ගීතවල එළියට එන්නේ ගායකයා පමණයි. එහෙම අවස්ථාවලට ඔබවහන්සේත් ඕනෑතරම්ම මුහුණදීලා ඇති. ඒ සම්බන්ධයෙන් ඔබවහන්සේගේ අදහස මොකක්ද?
ගායකයෙක් බිහිවන්නේම හොඳ ගේයපද නිර්මාණයක් හරහා. නමුත්, අද වනවිට අපි දකිනවා ගීතය ජනප්‍රිය වූ විගස ඇතැම් ගායකයින් ඒ සාමූහික හැඟීම අමතක කරනවා. ඇතැම් ගායකයින් ප්‍රසිද්ධ මාධ්‍යයන් ඉදිරිපිට ගීත රචකයාගේ නම පවා කීමට මැලිවෙන අවස්ථා මම දැක තිබෙනවා. එය ගී නිර්මාණකරුවෙකුගේ උද්යෝගය අඩපණ කරන්නක්. ගීතය ජනප්‍රිය වූ පසුවත් අඩුමතරමේ ගීතය රචනා කළ රචකයාට සුළුවෙන් හෝ ගෞරවයක් දිය නොහැකි නම් එවැනි නිර්මාණකරුවන්ට නිර්මාණ කිරීම පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතුයි.
*සිවුරේ ඉඳන් ගීත ලියද්දි ප්‍රේමය වගේ මාතෘකා ගැන කතා කරන එක කැපද?
අද සමාජයේ අතැම් දෙනා නිතරම ප්‍රශ්න කරන දෙයක් තමයි ඔබත් ඔය මගෙන් විමසන්නේ. සිවුරේ ඉඳන් ප්‍රේම ගීත ලිවීම කැප ද අකැප ද යන්න විමසීමට වඩා මගේ යෝජනාව නම් ඉතිහාසයට මදක් එබී බලන කියන එකයි. ලංකාවේ ගේයපද රචනයේ නියැලෙන උගත් වියත් කිසිඳු භික්ෂුවක් ප්‍රේමය සම්බන්ධව ඕලාරික අදහස් ගීත හරහා සමාජගතකොට නැහැ. එතෙක් මෙතෙක් භික්ෂුවක් විසින් ප්‍රේමය සම්බන්ධව ලියූ යම් ගීතයක් වේ නම් ඒ හැම ගීතයකම ධර්මයත් සියුම්ව තවරා ජීවන යථාර්ථය පහදාදීමට උත්සාහ දරා ඇති බවක් තමයි පෙනෙන්නේ. කලාව බිහිවන්නේම බුදුදහම ඇසුරු කරගෙන. පන්සල සහ භික්ෂුව තරම් කලාව සාහිත්‍ය පෝෂණය කළ වෙනත් සංස්ථාවක් අද අපට සොයාගන්න පුළුවන්ද? ඒ නිසා මගේ මතය නම් ලාංකේය භික්ෂුවගෙන් ව්‍යුක්තව කලාව ගැන කතා කිරීම විහිළුවක් යන්නයි.
*ඔබවහන්සේ ලියපු ගීතයක් ගායනා කරනවා අහන්න ආසම ගායකයෙක් ගායිකාවක් ඇති?
ගායකයා චාමර වීරසිංහ. ගායිකාව විශාරද නන්දා මාලනී මහත්මිය.
*‘දුමාරේ’ ගීතයෙන් පස්සේ තව අලුත් ගීතයක් එහෙම එන්න තියෙනවද?
ඔව්, දුමාරේ ගීතයෙන් පසුව අලුත් ගීත කිහිපයක්ම එළිදැක්වීමට නියමිතව තිබෙනවා. එයිනුත් ආසන්නතම ගීතය රෙගේ ගීතයක්. ලබන මාසේ වනවිට එය අපට දැකගන්නට ලැබේවි. එය ගායනා කරන්නේ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ ෆැන්ටා සහෝදරයා විසින්. ඉන්පසුව සහන් ප්‍රබුද්ධ විසින් ගැයෙන ‘හිමගිර හිසට වැටුණත්’ ගීතයත්, අසංඛ ධනංජය විසින් ගැයෙන ‘තුන්තිස් පැයක් නොව සසරක් පුරාම’ ගීතයත්, විදූෂා රාජගුරු ගයන ‘වරක් නොවේ මියැදී සියවතාවක්’ ගීතයත් එළිදැක්වීමට නියමිතව තිබෙනවා. ඒ අතර නවක ගායකයෙක් වන පසන් ජේ විසින් ගැයෙන මව්ගුණ ගීතයකුත් එන්න තිබෙනවා.
රුවන් එස්.සෙනවිරත්න