මහ කොටියෙක් මග එනතෙක් මහසෝන් බලකාය බලා සිටි හැටි!
මුලතිව් උපන් ශකිලා කුඩා කල පටන් අධ්‍යාපනයට, ක්‍රීඩාවට හා කලාවට දක්ෂ තැනැත්තියක වූවාය. පවුලේ ආර්ථික දුෂ්කරතා හෙතුවෙන් උසස් අධ්‍යාපනය අතරමග නවතා දමන ඇය ඊළාම් අධිකරණයේ රැකියාවට යන්නීය. පසුව ඊළාම් අධිකරණයේ රැකියාව කරන අතර රජයේ හෙදි පුහුණුවට අයැදුම් කරන ඈ හෙද පුහුණුව සඳහා යාපනය හෙද විදුහලට ඇතුළත් වූවාය. නමුත් මේ අතරතුර රිවිරැස මෙහෙයුම හේතුවෙන් යාපනය හෙද විදුහල තාවකාලිකව වසාදැමෙන අතර ඇය නැවතත් සිය ගම්මානයේ පදිංචියට පැමිණෙන්නීය. මේ අතර තුන්වන ඊළාම් යුද්ධය ආරම්භ වන 1996දී මුලතිව් යුද හමුදා කඳවුර එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට නතුවිය. රැකියාව අහිමි වී සිටින ශකිලා ඊළාම් මාධ්‍ය අංශයේ රැකියාවකට එක්වන්නේ මේ අතරයි. එම රැකියාව නිසා ඇයට යුදමය පුවත් ද වාර්තා කිරීමට සිදුවේ. මේ අතර යුද හමුදා මහසෝන් බලකාය (දිගුදුර හමුදා) කොටි අඩවියට ඇතුළු වී එල්ලකළ ප්‍රහාරයකින් එල්.ටී.ටී.ඊ. ගුවන් නායක ශංකර් මරණයට පත්වේ. අද එතැන් සිට…
“කර්නල් ශංකර්ගේ මරණය සිද්ධවුණ තැනට අපිට යන්න ලැබුණෙ සිද්ධිය වෙලා ගොඩ වෙලාවක් ගියාට පස්සේ. මොකද ප්‍රහාරය එල්ල වුණ ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සන්නද්ධ ඒකකයෙන් විශාල සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරලා තබුණා. අපිට ආරංචි වුණ හැටියට කිසිම සැකකටයුතු දෙයක් හමුවුණේ නැහැ. ඒකත් එල්.ටී.ටී.ඊ. එකට ලොකු ප්‍රශ්නයක්. කොහොමහරි මාධ්‍යවේදීන් විදියට අපි බලන්න ගියා. කැබ් රථයකට තමයි ප්‍රහාරය එල්ල වෙලා තිබුණෙ. කැබ් එක, ක්ලේමෝ ප්‍රහාරයේදී විසිවෙන උණ්ඩ වැදිලා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුණා. වාහනයේ කර්නල් ශංකර්ට අමතරව රියැදුරු හා ආරක්ෂකයා ඉඳලා තියෙනවා. තුන්දෙනාම ඒ ස්ථානයේදීම මිය ගිහින්.”
ක්ලේමෝ බෝම්බය හමුදා භාවිතයේදී හඳුන්වන්නේ Side Charger (පැති බෝම්බය) ලෙසයි. පෘෂ්ඨයක එක් පැත්තක යකඩ බෝල දහස් ගණනක් සවි කරන අතර පිපිරවීමේදී පෘෂ්ඨයේ ඉදිරිපසට දහස් ගණනක යකඩ බෝල විසිරීම සිදුවේ. සාමාන්‍යයෙන් ප්‍රහාරයකදී සවි කරනුයේ එක් ක්ලේමෝ බෝම්බයක් පමණි. ශංකර්ට ප්‍රහාර එල්ල කිරීමේදී ක්ලේමෝ බෝම්බ 4ක් පමණ සවිකර තිබූ බව කියැවේ. එලෙස කර ඇත්තේ කිසිඳු ගැලවීමකට ඉඩ නොතබාය.
“කොහොමහරි ශංකර්ගේ මරණය ගැන ප්‍රවෘත්ති නිවේදනය කරන එක එල්.ටී.ටී.ඊ. එකටත් ප්‍රශ්නයක් වෙලා තිබුණෙ. පුදුකුඩිරිප්පු එල්.ටී.ටී.ඊ. අධිආරක්ෂක කලාපයක්. එතැන ඉඳලා යුද හමුදා ආරක්ෂක වළල්ලට කිලෝමීටර 40-50ක වගේ දුරක් තිබුණා. ඒ නිසා මේ ප්‍රවෘත්තිය කියනවා කියන්නෙ එල්.ටී.ටී.ඊ. සංවිධානයට උඩ බලාගෙන කෙළ ගහනවා වගේ වැඩක්. මොකද ප්‍රවෘත්තිය කිව්වම මිනිස්සු අනිත් පැත්තට ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා කිලෝමීටර 50-60 ක් ඇතුළට ඇවිත් ගහලා යනකම් මොනවද කළේ කියලා. ඒ නිසා මුලින්ම කර්නල් ශංකර් සතුරු ප්‍රහාරයකින් මැරුණා කිව්වාට අනිත් විස්තර වැඩිය කිව්වෙ නැහැ. මරණයේ අවසන් කටයුතු තිබුණෙ මුලතිව් තේවිපුරම්වල. අවමංගල්‍යයට අපිත් ගියා. සංවිධානයේ නායක මට්ටමේ අය එන නිසා ලොකු ආරක්ෂාවක් යොදලා තිබුණා. මළගෙදරට ආපු එල්.ටී.ටී.ඊ. ප්‍රධානින්ගේ මුහුණවල්වල දකින්න තිබුණෙ ඒ අය ලොකු පීඩනයකට පත්වෙලා ඉන්නවා කියන පණිවිඩය. ප්‍රසිද්ධියේ කවුරුත් කතා නොකළාට තැන් තැන්වලට එකතු වුණ අය මරණය ගැන එක එක දේවල් කිව්වා. හැමෝගෙම පොදු අදහස තිබුණෙ ඇතුළෙ කෙනෙක්ගේ උදව් නැතිව මේ වගේ ප්‍රහාරයක් එල්ල කරන්න බැහැ කියලා” යැයි ද පැවසුවාය.
කෙසේ නමුත් එල්.ටී.ටී.ඊ. යුද පරාජයෙන් පසුව එල්.ටී.ටී.ඊ. නායක මට්ටමේ සාමාජිකයකු ලියුම්කරුට හමුවිය. ඔහු සඳහන් කළේ ප්‍රහාරය එල්ල වූ පුදුකුඩිරිප්පු-ඔඩ්ඩිසුඩාන් මාර්ගයේම කොටි නායක ප්‍රභාකරන්ගේ ආරක්ෂිත නිවස ද වූ බවයි (යුද පරාජයෙන් පසුව මෙම මහල් හතරක භූගත නිවස හමුදාවට හමුවිය). එමෙන්ම ප්‍රභාකරන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක වළලු හතරක් තිබුණු බවත්, ප්‍රහාරය එල්ල වූයේ තුන්වන ආරක්ෂක වළල්ලේදී බව ද පැවසීය. ඒ තත්ත්වය මත ප්‍රභාකරන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වූ බව ද පැවසීය. එමෙන්ම එම මාර්ගයේ එදින ප්‍රභාකරන් ද ගමන් කිරීමට නියමිතව තිබුණු බවද ඔහු පැවසීය.
නැවතත් හඬ අවදි කළ ශකිලා.
“ප්‍රහාරය එල්ල වුණ සැප්තැම්බර් 26 කියන්නේ තිලිපන් සැමරුම දවස. තිලිපන් කියන්නේ 1987 දී ඉන්දියානු හමුදාවට විරුද්ධව යාපනය නල්ලූර් ප්‍රදේශයේ උපවාසයක් කරලා නිරාහාරව මියගිය යාපනය එල්.ටී.ටී.ඊ. දේශපාලන ප්‍රධානියා. එයා වෛද්‍ය ශිෂ්‍යයෙක්. එතැනින් පස්සේ එයා මැරුණ දිනයට එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයේදී සැප්තැම්බර් 26 දා රජය නිදහස් දිනය සමරනවා වගේ තිලිපන් සැමරුම පවත්වනවා. එහෙම තිබුණ තිලිපන් සැමරුම් උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට එද්දි තමයි කර්නල් ශංකර් ගමන් ගත්ත වාහනය ඉලක්ක කරලා ප්‍රහාරය එල්ල කරලා තිබුණෙ.”
යුද්ධය අවසන් වීමෙන් පසුව ශංකර්ට ප්‍රහාරය එල්ල කරන ලද්දේ තමන් බවට යුද හමුදා විශේෂ බලකාය (SF) ප්‍රසිද්ධියේ ප්‍රහාරය පිළිබඳව තොරතුරු ද හෙළිදරව් කරන ලදි. එමෙන්ම ප්‍රහාරයට සම්බන්ධ වූ ආනන්ද නම් දිගුදුර මෙහෙයුම් සාමාජිකයෙකු ලියුම්කරුට හමුවිය. ඔහු සඳහන් කළේ තම කණ්ඩායම ප්‍රහාරය එල්ල කිරීමට යාමට පෙර එම ප්‍රදේශයට පැමිණි දිගුදුර මෙහෙයුම් (LRRP) කණ්ඩායමක් විසින් දින ගණනාවක් ඔත්තු බලා තිබුණ බවයි. ඔවුන් විසින් දින ගණනාවක් මාර්ගයේ ගමන්ගත් වාහන නිරීක්ෂණය කර එල්.ටී.ටී.ඊ. නායකයන් ගමන් ගන්නා වාහනවල විස්තර ලබාදී තිබූ බවයි. තිලිපන් සැමරුම් උත්සවය සඳහා එල්.ටී.ටී.ඊ. ප්‍රධානීන් පැමිණෙන බැවින් ප්‍රහාරය සඳහා එදින තෝරාගත් බව ද පැවසීය. සැමරුම් උත්සවය පාසලක පැවැත්වීමට නියමිතව තිබූ බව ද ගම්වාසීන් පෙරදින සැරසිලි කරමින් සිටියදී දිගුදුර මෙහෙයුම් නිලධාරියා සරමකින් සැරසී ගම්වාසියෙකු ලෙස පාසල ආසන්නයට ගොස් ඔත්තු බලා ආපසු පැමිණ තිබූ බව ද ඔහු පැවසීය. ක්ලේමෝ බෝම්බය අටවා තිබියදී සාමාන්‍ය මට්ටමේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් එම මාර්ගයේ කොතෙක් ගියද තම ඉලක්කය ප්‍රභාකරන් හෝ ඉහළ නායකයෙකු බැවින් ප්‍රහාරය එල්ල නොකළ බව ද හෙතෙම පැවසීය. ප්‍රහාරය එල්ල කිරීම සඳහා යාමට දින ගණනාවක් ගතවුණ ද ආපසු පැමිණීම සඳහා ගතවූයේ එක් දිනක් බව ද පැවසීය. ප්‍රහාරය පිළිබඳව කඳවුරේ සෙසු සාමාජිකයන්ට විස්තර කරන විට ඔවුන් ද වික්ෂිප්තව අසා සිටි බව ද පැවසීය.
මහසෝන් බලකායේ ප්‍රහාරයෙන් පසුව එල්.ටී.ටී.ඊ.ය මොනවද කළේ? ලබන සතියට…
සනත් ප්‍රියන්ත