ජනපතිට – අගමැතිට මැතිවරණ කොමිසමෙන් ලිපියක්
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේදී කඩිනම් විසඳුමකට එළැඹෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයාට අගමැතිවරයාට සහ දේශපාලන පක්ෂ නායකයින්ට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.
ඊයේ (16) දිනයේදී එම ලිපිය යොමු කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
පසුගිය 11 වනදා මැතිවරණ කොමිෂන් සභාවේදී පැවති දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමකදී එළැඹි තීන්දු තීරණ ඇතුළත් සාකච්ඡා සටහන් ද එම ලිපියට අමුණා ඇති බවයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිධාරියෙකු සඳහන් කළේ.
දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හතරක් පිළිබඳව සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
එම විකල්ප ක්‍රියාමාර්ගවලින් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුව කටයුතු කිරීම වැදගත් වනු ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂ නායකයින්ට යවා ඇති එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.
ඒ අනුව පළාත් සභා මැතිවරණය සමානුපාතික මනාප ක්‍රමයට පැවැත්වීම, මිශ්‍ර සමානුපාතික ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය අනපනත් කඩිනමින් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ දේශපාලන පක්ෂ නායකයින්ගේ අවධානය යොමු කර තිබෙනවා.