News

පශු වෛද්‍යවරුන් වෘත්තීයමය සටනකට සැරසෙති

ජලභීතිකා මර්දන වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට ඉදිරිපත්ව ඇති කැබිනට් පත්‍රිකාව වහා අහෝසි නොකළ හොත් 26 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග අරඹන බවට රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

2018 අප්‍රේල් 1 වැනිදා සිට ජලභීතිකා මර්දන වැඩසටහන භාරව තිබුණේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටය. නව කැබිනට් පත්‍රිකාව මගින් එම කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශයට පවරා ගැනීමට යෝජනා කොට තිබේ. ජලභීතිකා මර්දන වැඩසටහන සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට පෙර එය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ වසර 65ක කාලයක් ක්‍රියාත්මකවිය.

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති ජගත් ජයසේකර පවසන්නේ තමන් රාජකාරි කරන දෙපාර්තමේන්තුව භාර ඇමැති පී. හැරිසන් මෙම කටයුත්තේදී මැදිහත් වන ප්‍රමාණය සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමට පත්විය නොහැකි බවයි.

එහෙයින් මෙම කැබිනට් පත්‍රිකාව සම්පූර්ණයෙන් හකුළා නොගතහොත් 26 වැනිදායින් පසුව කෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට එක්වීමට කැමැත්ත පළ කොට තිබෙන බවද ජගත් ජයසේකර පෙන්වා දෙයි.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදීය. පේරාදෙණි සරසවි පශු වෛද්‍ය පීඨයේ ආචාර්යවරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.

තුෂාර උඩවත්ත