බොරැල්ලේ රථවාහන OIC අනතුරට ලක් කළා යැයි මහින්දානන්දගේ පුතා අත්අඩංගුවට
බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පලා යෑමේ සිදුවීම සම්බන්ධයෙන් එම ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගෙන ඇතැයි පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුතා මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පළාගිය ඩිෆෙන්ඩර් රථයේ රියදුරු හා ලියාපදිංචි හිමිකරු පොලීසියට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඊයේ(24) දින අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරකට ලක් කර පළාගිය ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තිබී ඊයේ සොයා ගැනීමෙන් අනතුරුව මොවුන් දෙදෙනා ද පොලීසියට බාරවී ඇත.
සි.සි.ටිවී.දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී බත්තරමුල්ල පැලවත්ත පැගෝඩා ගාඩ්න් හි අංක 727 දරණ ස්ථානයේ ගාල් කර තිබියදී එම ඩිෆෙන්ඩර් රථය පොලීසිය විසින් සොයා ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 ක් වු රියදුරු වශයෙන් සේවය කළ රත්නායක මුදියන්සේලාගේ නවිදු ඔමේෂ් රත්නායක නැමති පොතුඅරාව, තලංගම උතුර, මාලඹේ යන ලිපිනයේ පදිංචිකරුවෙකි.
WP.FZ 9143 යන ඩිෆෙන්ඩර් රථයේ හිමිකරුවා ලෙස වයස අවුරුදු 27 ක් වු රංචිගොඩ ආරච්චිගේ විසිත ශ්‍රී විජේසේකර නැමති, ගාලුපාර, කොළඹ 3 යන ලිපිනයේ පදිංචි තරුණයෙක් ද පොලීසියට බාර වී ඇත.